නව ලොව කෘෂි දැනුම

‘වස විස නැති ගොවිතැනට වගේම ගෙවතු වගාවටත් අද අපි අතර විශාල උනන්දුවක් තිබෙනවා. ඒත් බොහෝ දෙනකුට අතර තිබෙන මැසිවිල්ලක් තමයි මේ සම්බන්ධයෙන් නිවැරදි දැනුම ඔවුන්ට නැහැ, එය ලබාගන්න විධිමත් ක‍්‍රමවේදයක් නැහැ කියන එක.

අපේ උත්සාහය විද්‍යාත්මක කෘෂිකාර්මික දැනුමින් ඔබව සන්නද්ධ කිරීමයි. මේ පිටුව ආරම්භ වන්නේ ඔබේ කෘෂි විද්‍යා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන්. මේ සඳහා අප තොරතුරු ලබා ගත්තේ, ශ‍්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව’ මගින් ප‍්‍රකාශයට පත් කළ ‘සිතමු විදු දැනුමින්, හදමු රට ගොවිතැනින්’ නම් ග‍්‍රන්ථය මගින්.

නව බීජ

වඩා හොඳ නව මෑ වර්ගයක්

‘මෑ’ කියන්නේ අපේ ආහාර වේලට නිතර දෙවේලේ එක්වන පහත රට එළවළුවක්. ලොකු කුඩා සියලූ දෙනාම මෑවලට විශේෂ කැමැත්තක් දක්වන නිසා ඒ සඳහා හොඳ වෙළෙඳපොළකුත් තිබෙනවා.

ලංකාවේ තෙත්, අතරමැදි හා වියළි කලාපයේ මෑ ප‍්‍රචලිත බෝගයක්. කෘෂිකාර්මික දත්ත වාර්තා කරන ආකාරයට ලංකාවේ හෙක්ටයාර් 7495ක පමණ මෑ වගා කරනවා. එහි වාර්ෂික අස්වැන්න මෙ.ටො. 71.000 ක් පමණ වෙනවා.

ඒත් ගොවීන් අතර මෙන්ම ගෙවතු වගා කරන්නන් අතරත් මෑ සම්බන්ධයෙන් මැසිවිල්ලක් තිබෙනවා. ඒ වඩා හොඳ අස්වැන්නක් වගේම රෝගවලට ඔරොත්තු දෙන මෑ වර්ග ලබාගත නොහැකි බවට.
මේ කතාව ඇත්ත. මෑ ඉතා පහසුවෙන් ලෙඩ රෝගවලට ලක් වෙනවා. විශේෂයෙන් මෑ වැලේ පාමුල කුණුවීමේ රෝගයට ලක් වෙනවා. මේ නිසා වාර්ෂික ඵලදාවෙන් සියයට 10-40 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වෙනවා.
මේ සඳහා ගන්නොරුව කෘෂි පර්යේෂණ ආයතනය විසඳුමක් සොයා ගෙන තිබෙනවා. ඒ වඩා හොඳ නව මෑ වර්ගයක් හඳුන්වාදීම මගින්.
මේ නව මෑ විශේෂය හඳුන්වන්නේ ‘ගන්නොරුව A9 මෑ’ යනුවෙනුයි. මේ නව මෑ විශේෂය වැඩි අස්වැන්නක් ලබා දෙනවා වාගේම ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක ( දීප ව්‍යාප්තව) වගා කළ හැකියි. ඒ වගේම වැල පාමුල කුණු වීමේ රෝගයට ඔරොත්තු දීම නිසා වඩාත් වාසි සහගතයි.

දෙමුහුන් නව මිරිස් ප‍්‍රභේදයක්

‘මිරිස්’ කියන්නේ අපේ ආහාර වේල සමග තදින් බද්ද වුණ දෙයක්. මිරිස් නැතිව අපේ ආහාර පිසින්නෙම නැති තරම්. ඒ නිසාම ලංකාවේ වාර්ෂිකව හෙක්ටයාර 15,000 ක පමණ මිරිස් වගා කරනවා. එමගින් වාර්ෂිකව වියළි මිරිස් මෙ.ටො. 12,000 ක පමණ අස්වැන්නක් ලබා ගන්නවා.

මිරිස් වගාව සැලකෙන්නේ ලාභදායී වගාවක් විදිහට. ඒත් මිරිස් වගාව බොහොම පහසුවෙන් විවිධ ලෙඩ රෝගවලට ලක් වෙනවා. කෘමි හානිවලට ලක් වෙනවා. මේ නිසා මිරිස් අස්වැන්න විශාල වශයෙන් අඩු වෙනවා. මේක ගොවීන්ට දරාගත නොහැකි පාඩුවක්.

මේ අස්වැන්න අඩුවීම සමග ගොවීන් ආනයනික දෙමුහුන් බීජ ලබා ගැනීම සඳහාත් විශාල මුදලක් වැය කරනවා. අවසානයේ සිදුවන්නේ නිෂ්පාදන වියදම ඉහළ ගිහින් ගොවීන්ට ලැබෙන ලාභය අඩුවීම.
මේ ගැටලූවට පිළියමක් ලෙස නව දෙමුහුන් මිරිස් ප‍්‍රභේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. නව විශේෂය හඳුන්වන්නේ M1 මිරිස් ලෙසින්.
මේ නව ප‍්‍රභේදය තුළ පහත සඳහන් වාසි හා විශේෂතා දැකිය හැකියි.

  1. ශ‍්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන එකම දෙමුහුන් මිරිස් ප‍්‍රභේදය වීම.
  2. මිරිස් කොළ කොඩවීමේ සංකීර්ණයට ඔරොත්තු දීම.
  3. ආනයනික මිරිස්වලට වඩා වැඩි සැරකින් යුක්ත වීම.
  4. ආනයනික දෙමුහුන්වලට වඩා වැඩි අස්වැන්නක් ලබාදීම. (හෙක්ටයාරයකට මෙ.ටො. 40 ක් )
  5. වියළි මිරිස් නිෂ්පාදනයට ඇති හැකියාව වැඩිවීම.
  6. බීජ සඳහා යන වියදම අඩුවීම. සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 25,000 ක් පමණ වේ.

රෝග පාලනයට නව ක‍්‍රමවේද

ගොයම් කොපු අංගමාරයට ජෛවීය පළිබෝධනාශකයක්

‘වස විස නැති කෘෂිකර්මාන්තය’ අද අප සලකන්නේ ජාතික අවශ්‍යතාවක් විදිහට. ඒ වසවිස වලින් තොර රටක් බිහි කිරීමෙන් තොරව අපට අනාගත පැවැත්මක් නොමැති නිසා.

මෙහිදී අපේ ප‍්‍රධාන අවධානයක් වී වගාවට යොමු වෙනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ලංකාවේ බහුතරයක් ජනතාවගේ ප‍්‍රධාන ආහාර බත්. ඒ වගේම ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ වී වගාව. ඒ වගේම තමයි පසුගිය කාලය පුරා වැඩිව වසවිස ප‍්‍රමාණයක් භාවිත කළෙත් වී වගාවට. ඒකේ ප‍්‍රතිඵල තමයි අද මුළු රජරටම වෙළාගෙන තිබෙන ‘මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය’.

මේ තත්ත්වය තුළ වී ගොවීන් වගේම බත් ආහාරයට ගන්නා ජනතාවත් රැක ගැනීම රටේ ජාතික අභියෝගයක්. ඒ සඳහා කුඹුර වසවිස වලින් තොර කළ යුතුයි. ගොයම් වගාවට වැළඳෙන රෝග අතර ‘ගොයම් කොළ අංගමාරය’ ප‍්‍රධාන තැනක් ගන්නවා. කොපු අංගමාරය ඇතිවන්නේ දිලීර ආසාදනය වීමෙන්. කොපු අංගමාරය නිසා ළපටි වගේම පරිණත වගාවේ අස්වැන්න විශාල වශයෙන් අඩු වෙනවා.

කොපු අංගමාරය පාලනය සඳහා ‘ජෛවීය පළිබෝධනාශක’ භාවිතය මගින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බව දැන් සොයා ගෙන තිබෙනවා.
වී ශාකය ආශ‍්‍රිතව ජීවත් වන බැක්ටීරියා වර්ග දෙකක් ආධාරයෙන් නිපදවන ‘ජෛව පළිබෝධනාශක’ යෙදීමෙන් ගොයම් කොපු අංගමාරය සියයට 36- 69 දක්වා අතර ප‍්‍රමාණයකින් පාලනය කළ හැකියි.

විසිතුරු මත්ස්‍ය වගාවට දිරියක්

විසිතුරු මත්ස්‍ය වගාව ආර්ථිකමය වශයෙන් සහ ගෘහාශ‍්‍රීතව සිදුවන ජනප‍්‍රිය කර්මාන්තයක්. වර්තමානයේ වේගයෙන් දියුණු වන, ලාභදායී කර්මාන්තයක් බවට ද විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පත්ව තිබෙනවා.

එහෙත් විසිතුරු මත්ස්‍ය වගාකරුවන් නිරන්තරයෙන් මුහුණපාන ගැටලූවක් තමයි විසිතුරු මත්ස්‍යයින්ට වැළඳෙන ‘මයික්‍රො බැක්ටීරීයම්’ ආසාදනය. මේ නිසා කර්මාන්තකරුවන් පමණක් නොවෙයි ගෘහ ආශ‍්‍රිත මත්ස්‍යයින් ඇති කරන්නන් පවා ගැටලූ රැුසකට මුහුණ දෙනවා. මයික්‍රොබැක්ටීරීයම් ආසාදනය සඳහා තිරසර විසඳුමක් මේ වන විට සොයා ගෙන තිබෙනවා. ඒ සඳහා පහත සඳහන් ක‍්‍රම භාවිත කළ හැකියි

1 ක්ලෝරීනීකරණය කරන ලද ජලය භාවිත කිරීම.
2 ටැංකිවලට පෙරහන් යෙදීම.
3 සෞඛ්‍යාරක්ෂිතව ආදාළ ටැංකි පවත්වා ගෙන යාම.

නාගරික ඝන අපද්‍රව්‍යවලින් පස සරු කරමු

ලංකාව වේගවත් නාගරීකරණයට ලක් වෙමින් සිටිනවා. මේ තත්ත්වය හමුවේ උද්ගත වන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ නාගරික ප‍්‍රදේශවල එක්රැස් වන ඝන අපද්‍රව්‍ය විධිමත් ආකාරයෙන් බැහැර කිරීමට ස්ථාන නොමැති වීම. මේ තත්ත්වය අද බරපතළ ගැටලූවක් බවට පත්ව තිබෙනවා.
මේ අතරතුරේදී තවත් ජාතික අභියෝගයක් රට හමුවේ තිබෙනවා. ඒ කෘෂි රසායන පොහොර නිසා උද්වන වන ගැටලූ. රසායන පොහොර ආනයනය සඳහා රජය වාර්ෂික රුපියල් බිලියන ගණනක් වැය කරනවා. මේ පොහොර වගා බිම්වලට යෙදුවිට තවත් සෞඛ්‍ය ගැටලූ රැුසක් ඇති වෙනවා.

මේ අභියෝග දෙකම නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ජය ගත හැකි ප‍්‍රශස්තම විකල්පය බවට ‘නාගරික ඝන අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම ’ සැලකිය හැකියි. කොමිපෝස්ට් පොහොර නිපදවීම හා භාවිතය වර්තමානයේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
ඒ යටතේ නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම රට පුරා බොහෝ පළාත් පාලන ආයතන විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මේ සංකල්පය ඉතා වැදගත් එකක් වශයෙන් සැලකිය හැකියි. පහත සඳහන් වන්නේ මෙම සංකල්පයේ ඇති වැදගත්කම.

  1. කොම්පෝස්ට් නිපදවීම හා භාවිතය වැඩිවීම.
  2. රසායනික පොහොර භාවිතයෙන් පසේ ඇතිවී තිබෙන දුර්වලතා කොම්පෝස්ට් භාවිතයෙන් අවම කරගත හැකි බැවින් පස සරු වීම.
  3. අපද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය අවම වීම.

පොල් සමග කජු හිටවමුද ?

පොල් සහ කජු අපේ ගැමි ජීවිතය සමග පමණක් නොවෙයි නාගරික ජීවිතය සමගත් තදින් සම්බන්ධයි. ඒ ආහාරයක් වශයෙන්. ඒත් ගමේදී නම් පොල් සහ කජු සැලකෙන්නේ එකට වැඩෙන මිතුරු ශාක විදිහට. පොල් වතු වල කජු ගස් බහුල වුණේ මේ සබැදියාව නිසයි.
ඒත් ආර්ථිකමය වශයෙන් හොඳින් කල්පනා කරන විට පොල් සහ කජු අතුරු බෝග වශයෙන් වගා කිරීම ඉතාමත් ලාභදායී වැඩක් බව පැහැුදිලියි.

පොල් සහ කජු අපේ ගැමි ජීවිතය සමග පමණක් නොවෙයි නාගරික ජීවිතය සමගත් තදින් සම්බන්ධයි. ඒ ආහාරයක් වශයෙන්. ඒත් ගමේදී නම් පොල් සහ කජු සැලකෙන්නේ එකට වැඩෙන මිතුරු ශාක විදිහට. පොල් වතු වල කජු ගස් බහුල වුණේ මේ සබැදියාව නිසයි. ඒත් ආර්ථිකමය වශයෙන් හොඳින් කල්පනා කරන විට පොල් සහ කජු අතුරු බෝග වශයෙන් වගා කිරීම ඉතාමත් ලාභදායී වැඩක් බව පැහැදිලියි.

  1. පොල් හා කජු අතුරු බෝග වගාවේදී ඇති මුළු ආර්ථික වාසිය තනි වගාවකට වඩා වැඩියි.
  2. අවශ්‍ය පෝෂක සංඝටක අවශෝෂණයේදී කජු ශාකය පොල් ගස සමග සැලකිය යුතු තරගයක් නොදක්වයි.
  3. පොල් සහ කජු අතුරු බෝග වගාව පසේ ඇති කාබනික සංඝටක මත ද බලපෑමක් ඇති කරන්නේ නැත.
  4. වගාවන් දෙකෙහිම සාර්ථකත්වය සඳහා ක‍්‍රමවත් ශෂ්‍ය විද්‍යාත්මක ක‍්‍රම අනුගමනය කළ යුතුයි.
  5. වැඩුණු පොල් වගාවකට අතුරු බෝගයක් ලෙස කජු වගාව හඳුන්වා දීමේදී, පොල් වගාවේ වසය අවුරුදු 30-35 වීම වඩාත් සුදුසුයි.
  6. පොල් සහ කජු යන බෝග දෙක සඳහා ම නිර්දේශිත පොහොර යෙදීම අත්‍යවශ්‍ය වෙයි. මෙමගින් බෝග දෙකෙහිම අස්වැන්න ප‍්‍රශස්තව පවත්වා ගත හැකියි.

‘තිලාපියා’ විවිධ රසයෙන්

‘වැව් මාළු’ කන්න බොහෝ දෙනෙක් කැමතියි. ඒත් ඉස්සර කාලේ වාගේ අපේ වැව්වල ලූල්ලූ, මඟුරෝ, හුංගෝ, කාවයියෝ දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අද වැව්වල බහුලව වගා කරන්නේ ‘තිලාපියා’ කියන මත්ස්‍ය වර්ගය.

ලංකාවේ වැව්වල අද තිලාපියා මසුන් බහුලව වගා කරනවා. ඒ නිසා තිලාපියා මාළු අලෙවියත් ජයටම සිදුවෙනවා. ඒත් තිලාපියා මසුන් ආහාරයට ගන්න ඇතැම් දෙනා මැලිකමක් දක්වනවා. ඒකට හේතු දෙකක් තිබෙනවා.

1 තිලාපියා මාළුවල මඩ ගඳක් තිබීම.
2 කටු වැඩිවීම.

මේ නිසා තිලාපියා මසුන් සඳහා වන වෙළෙඳපොළ ඉල්ලූම අඩු වෙනවා. මේ තත්ත්වය මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට විශාල හානියක්. ඒ නිසා තිලාපියා භාවිතයෙන් වටිනාකමින් වැඩි නිෂ්පාදන සැකසීම හා මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු කොටස් ඇසුරින් ගොවිපොළ සතුන් සඳහා ආහාර සැකසීම වැනි ක‍්‍රම මගින් තිලාපියා මත්ස්‍ය ඉල්ලූම වැඩිකර, ධීවරයාගේ ආදායම වැඩි දියුණු කිරීම මෙන්ම සාමාන්‍ය ධීවරයා ද හොඳ ව්‍යවසායකයෙකු බවට පත් කිරීම කළ හැකියි.

සාමාන්‍ය මාළු වශයෙන් ආහාරයට ගැනීමට අමතරව තිලාපියා මසුන්ගෙන් පහත සඳහන් ආහාර නිපදවිය හැකියි.
සොසේජස්.
නගට්ස්.
අච්චාරු.
සත්ව ආහාර.

දේශීය අලවලින් රස රැසක්

ලංකාව කියන්නේ දේශීය අල වර්ග රැුසකින් ස්යංපෝෂිත භූමියක්. අපේ පැරැුන්නෝ නියංසායවලදී, පරසතුරු ආක‍්‍රමණවලදී සාගයෙන් මිය නොගොස් පණනළ රැක ගෙන යළි පරසතුරා පරාජය කළේ අපේ සරු, නිසරු පසේ ස්වභාවිකව වැවෙන අල වර්ග කාලා බවයි ඉතිහාසය කියන්නේ.

ඒත් අද අපට දේශීය අල වර්ග සොයා ගැනීමත් ටිකක් අසීරු වෙලා තිබෙනවා. අද ගොවීන් දේශීය අල වගාවට යොමුවන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමයි දේශීය අල සඳහා වන ඉල්ලූම අඩුවීම. ඒත් දේශීය අල වර්ග කියන්නේ වසවිස වලින් තොර ඉතාම ගුණවත් ආහාරයක්. අපි ඒ ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ලංකාවේ දේශීය අල වර්ග 48 ක් පමණ හඳුනා ගෙන තිබෙනවා. ඒ අතර රාජඅල, කිරිඅල, කුකුළල, බතල, කහටඅල, යාපනේ අල, ප‍්‍රධාන වෙනවා.
මේ අල භාවිතයෙන් ආර්ථික වැදගත්කමින් යුතු, පෝෂ්‍ය ගුණයෙන් ඉහළ, ජනප‍්‍රිය ආහාර වර්ග රැසක් නිපදවිය හැකියි.

දේශීය අලවලින් නිපදවිය හැකි ආහාර.
අල ටොෆි, කළු දොදොල්, අල කැඳ, බැඳි අල කට ගැසුම්, පිට්ටු, කට්ලට්.

සැකසුම
තුෂර වල්ගම

Recommended For You

About the Author: Editor