ඕස්ටේ‍්‍රලියාව ශ‍්‍රී ලංකාවේ සේවය කරන තම පුරවැසියන් යළි කැඳවයි

ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ ආධාර මත ක‍්‍රියාත්මක වන සියලූම රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු ජාතික ස්වේච්ඡ සේවකයින්ට වහාම ශ‍්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඕස්ටේ‍්‍රලියානු රජය විසින් පහසුකම් සපයා ඇතැයි ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය නිවේදනය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ විදේශිකයින් බහුලව ගැවසෙන ස්ථානවලට ඕනෑම අවස්ථාවක අන්තවාදී ප‍්‍රහාර එල්ලවීමට ඉඩ ඇති නිසා ඕස්ටේ‍්‍රලියානු රජය මේ තීන්දුව ගෙන ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර ඊශ‍්‍රායලය සහ සෞදි අරාබිය ද මෙරට සිටින තම පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි එම රටවල ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඔවුන් ද උපුටා දක්වා තිබුණේ ශ‍්‍රී ලංකාව තුළ විදේශිකයින් ගැවසෙන ස්ථානවලට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ද සඳහන් කළේ ශ‍්‍රී ලංකාව තුළ විදේශිකයින් ගැවසෙන ඕනෑම ස්ථානයක් ඉස්ලාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් ද අද තම මුහුණුපොතේ සටහනක් තබමින් කියා සිටියේ අති විශ්වාසනීයව ලැබුණු විදේශීය ආරංචියකට අනුව මෙරට සුප‍්‍රසිද්ධ දෙව් මැඳුරකට සහ ගිහි අපෝස්තලික සේවා ස්ථානයකට මේ සති අන්තයේදී පහරදීමේ සැලසුමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

Recommended For You

About the Author: Editor