පාසල් මැයි 06 දා යළි ඇරඹේ : කතෝලික පාසල් ගැන තීරණය රදගුරුතුමා සමග සාකච්ඡාවෙන් පසු

2019 දෙවන වාරය සදහා පාසල් ලබන සදුදා (06) විවෘත කරන බවත් කතෝලික පාසල් ගැන රදගුරුතුමා සමග සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුකට එක් වෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට පාසල් සඳහා අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ආරක්ෂක අංශවල නිර්දේශ මත  පාසල් පවත්වාගෙන යන ලෙසට විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළ අමාත්‍යවරයා කතෝලික පාසල් ආරම්භ කිරීමේ දිනය පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද පැවැසීය.

පාසල් ආරම්භ කිරීමෙන් පසුවත් ආරක්ෂක අංශ, පාසල් සංවර්ධන කමිටු, දෙමවුපියන් සම්බන්ධ කරමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවද  අකිල විරාජ් කාරියවසම් මහතා එහිදි පැවැසීය.

පාසැල්වලට ළමුන් ප‍්‍රවාහනය කිරීමේදී ද ආරක්ෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

සති දෙකකට ආසන්න කාලයක් පාසල් වසා තිබීම නිසා අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පැවැසූ අමාත්‍යවරයා අවශ්‍යනම් අගෝස්තු නිවාඩුව අඩු කරමින් හෝ සෙනසුරාදා දිනයන්හි පාසල් පැවැත්වීමෙන් එම කටයුතු ආවරණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor