ආගමික අන්තවාදීන්ට රට නැවතත් අතීතයට ඇදගෙන යන්න ඉඩ දෙන්න බැහැ – ඇමති චම්පික රණවක

ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණයේදී ප‍්‍රතිවිරුද්ධ අදහස් දරණ  ආණ්ඩුවේ නොවන අය සමග ද වැඩකරන්න සූදානම්

අපි ජීවිත පරිත්‍යාගයෙන් අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කළ ‘රට රකින – රට හදන’ තේමාව යටතේ රට තුළ ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව පැහැදිලි කෙරෙන විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික මග නමැති මේ ආයතනය කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි. මැතිවරණ තරඟ කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මේ රට ඉතාමත්ම අඳුරු අවස්ථාවකට පත්ව තිබෙන මේ අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව ඒ වගේම සියළුම සමාජ කණ්ඩායම් එකට එකතු කරගෙන මේ අර්බුදය අප විසින් ජයගත යුතුයි කියන හැඟිමෙන් වෘත්තීයවේදී පිරිස් ඒ වගේම  පසුගිය කාලය පුරාම මේ පිළිබඳව සංවාදශීලි වූ පිරිස් ආරක්‍ෂක අංශවල නීති ක්‍ෂෙත‍්‍රවල ඒ වගේම සමාජ කි‍්‍රයාකාරී ක්‍ෂෙත‍්‍රවල හිටපු සෑම ජන කණ්ඩායමකට අයිති පිරිස් අපි මේ වේදිකාවට ආරාධනා කර තිබෙනවා ඉදිරිය බලා යන්න. විශේෂයෙන්ම අපේ ඉල්ලීම දේශපාලන බේදයෙන් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මේ සියළුම දෙනා එක වේදිකාවක, එක ආයතනයකට ඉඳගෙන ජාතික ආරක්‍ෂක මණ්ඩලයට ගිහිල්ලා එක ප‍්‍රතිපත්තියක හිඳගෙන මේ කි‍්‍රයාදාමයට සම්බන්ධ විය යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. එතනදී අපේ පක්ෂය හෝ අපේ ආණ්ඩුවේ කි‍්‍රයාදාමයේ ප‍්‍රතිපත්ති අපි ගාව තියා ගන්න අතරේ අපි ඒ සියල්ලට ඉහළින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණයේදී ඒ ප‍්‍රතිවිරුද්ධ අදහස් දරණ ආණ්ඩුවේ නොවන අය මේ ප‍්‍රශ්නයට වැඩකරන්න සූදානම් බව ප‍්‍රකාශ කරමින් තමයි අපි මේ ආයතනයට එකතු වෙන්නේ.

නිදහසින් පසු මේ රටේ දේශපාලනමය වශයෙන් වූ යුග ගණනාවක් තිබුණා. එකක් තමයි අපි වම – දකුණ හැටියට බෙදිලා මේ රටේ දේශපාලනය කරගෙන ගියා. නමුත් ඒකේ කූටප‍්‍රාප්තිය ජනතා විමුක්ත පෙරමුණ සමාජවාදී පාලනයක් හදන්න කැරැල්ලක් ගැසුවා. ඊ ළඟට 1983 වගේ කාලයක ඉඳන් එතෙක් අතුරු දේශපාලන කි‍්‍රයාවලියක් හැටියට තිබූ දෙමළ දේශපාලන ව්‍යාපාරය ප‍්‍රධාන කි‍්‍රයාවලියක් බවට පත් වුණා. මුළු සමාජයම අවුරුදු ගණනාවක්, දශක ගණනාවක් ඒ වටා භ‍්‍රමණය උනා ප‍්‍රභාකරන් හා ඔහුගේ බෙදුම්වාදී කි‍්‍රයාකලාපය. අද මෙතන ඉන්නවා ප‍්‍රභාකරන්ගේ ඒ ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා උපායශීලීව ඒ වගේම අධිෂ්ඨානයෙන් වැඩකල අපේ ඒ පරිපූර්ණ කි‍්‍රයාකාරීත්වයක් සහිත හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුත් අද ඉන්නවා අපිත් එක්ක මේ ගමන ඉදිරියට යන්න.

ඒ වගේම 83 එම කි‍්‍රයාදාමය එහෙම යන අතරේ මේ 2019 අපේ‍්‍රල් 21 වෙනිදා ඇති වූ ක‍්‍රියාදාමය මගින්  ලංකාවේ දේශපාලනයේ අලූත් මගක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. එය තමයි ආගම මත ගැටුම් ඇතිවීම. වම දකුණ කියන දේශපාලන දර්ශන මත ගැටුම් ඇතිකර ගත්තා. ඊ ළඟට ජන වර්ග අතර බෙදුම්වාදය හා බෙදුම්වාදීන්ට විරුද්ධව යනාදී වශයෙන් ගැටුම් ඇති කර ගත්තා.  දැන් අපි ආගම අතර ගැටුම් ඇතිවෙලා තිබෙනවා. මෙතන මතුපිටින් පෙනෙන විදිහට කෙලින්ම කි‍්‍රස්තියානි භක්තිකයින්ට එරෙහිව ඉස්ලාමීය ත‍්‍රස්තවාදී පිරිසක් කිසියම් සන්නද්ධ කි‍්‍රයාදාමයක් මුදා හැරලා තිබෙනවා. ඒක තමයි මතුපිටින් පේන්නේ. නමුත් මේක අනාගතයේ අපි පාලනය නොකළොත් මේක සියළු ජන කොටස් වෙලා ගත්ත හැම කෙනා හැම කෙනාටම විරුද්ධව ගමන් කරන කි‍්‍රයාදාමයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙය පාලනය කර ගන්න  ඕනෙයි කියන එක අපි ප‍්‍රථමයෙන්ම අවධාරණය කරන්න කැමතිය. ඒ වගේම මේ සිදුවීමත් සමග අපි දන්නවා දේශපාලන දෝෂාරෝපණ කරනවා. අපේ සතුරා හඳුනාගන්නේ නැතිව එකිනෙකාට දොස් පවරනවා.

මට තවම මතකයි එල්.ටී.ටී.ඊ. සංවිධානය දළඳා මාළිඟාවට ගැහුවම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම ගැන නෙමෙයි කතා කළේ අනුරුද්ධ රත්වත්තේ ධූරයෙන් අස්වීම තමයි කට්ටිය කතා කළේ. අන්න ඒ වගේ දේශපාලන දෝෂාරෝපණ අපි කරගත යුතු නැහැ. එක එක්කෙනාට බැණ අඩ ගැහීමෙන් අපේ පරණ ඒ සිදුවීම්, අපේ තිබිච්ච ලිහිල් බාවයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරිය බලා ගමන් කළ යුතුයි.

ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණ කතා, මේක පිටුපස  රජයේ අසුවල් කුමන්ත‍්‍රණය තිබෙනවා කියලා සතුරා හඳුනාගැනීමෙන් වලක්වාලීමට කරන විවිධ කි‍්‍රයාදාමයන් තිබෙනවා. කොටින්ම සතුරාට බුර්කාව පළන්දවලා වෙන සතුරෝ පෙන්වන කි‍්‍රයාදාමයෙන් අපි අයින් වෙලා සතුරා හරියට අපි හඳුනාගත යුතුයි. ඔහුට වෙස්මුහුණු පැළඳවීමට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම විවිධ දර්ශන, සමාජ දේශපාලන විග‍්‍රහ කරලා මේ ප‍්‍රශ්ණය යට ගහන්න හොඳ නැහැ, සුදු හුණු ගාන්න හොඳ නැහැ මේ ත‍්‍රස්තවාදීන්ට. ඒ නිසා අපි හිතනවා මේ ත‍්‍රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තිබෙන සමාජ බලවේග හඳුනා ගැනීමත්, ඒ වගේම ඒ සඳහා කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අපි ඉදිරිපත් කර තිබෙනවා මේ විද්වත් පිරිසත් සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙලක්. සියළු දෙනා එකට එකතු වෙලා කි‍්‍රයාත්මක කරන්න මේකට යෝජනා ප‍්‍රති යෝජනා  ඕනේ කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ලබන 12 වෙනිදාට ඒ පිළිබඳව විවෘත සාකච්ඡාවක් කරන්න ඒ වගේම රටපුරා පළල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.

මෙතනදී මෙහි විශාල ආර්ථික බලපෑමක් මෙහි පෙනෙනවා. සංචාරක ව්‍යාපාරයට, අපි දන්නවා අපේ මහ බැංකුව පසුගියදා නිකුත් කළා මෙහි ආර්ථික බලපෑම. විශේෂයෙන්ම අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් පමණ සංචාරක ව්‍යාපාරයේ ඉන්නේ. ඍජු රැකියා ලක්ෂ 4 ක් වක‍්‍ර රැකියා ලක්ෂ 6 ක් පමණ අනතුරේ වැටිලා තියෙන්නේ. රජය දැන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අයට සහන ලබාදෙන්න. ඒ වගේම ආරක්‍ෂක වියදම් ඉහළ යාම නිසා අපේ අයවැය පරතරයට ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. නමුත් අපි එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම අපේ ආර්ථික වර්ධන වේගයට මෙමගින් බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ආයෝජනවලට බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවට ආයෝජන එන්න තිබෙන ඉඩකඩ අඩුවෙන්න  ඉඩ තිබෙනවා මේ සිදුවීම් එක්ක. ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වෙන්න ඉඩතිබෙනවා. ඒ සියල්ලෙම යම් විෂම චක‍්‍රයක් ආර්ථිකයට එල්ල වෙන්න ඉඩ තිබෙනවා මේ වැඩපිළිවෙලින්..

නමුත් සතුටු දායක පැත්තකුත් තිබෙනවා. උදාහරණයක් හැටියට  කොටස් වෙළඳපලෙන් කිසිම කෙනෙක් විදේශිකයෝ මේ සිදුවීම නිසා මුදල් ආපසු අරගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා අපිට අපේ ආර්ථිකයේ ඇතැම් ක්‍ෂෙත‍්‍ර ගැන අවබෝධයෙන් කටයුතු කරන අය හොඳින් කටයුතු කර තිබෙනවා. අපේ වගකීම මේ පිළිබඳව හොඳ ප‍්‍රතිරූපයක් ජාතික ජාත්‍යන්තරව ගොඩනගන්න. ඒ සඳහා අවශ්‍ය සහ අප සමග සිටින ආර්ථික විද්‍යාඥයින්ගේ සහය අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. අපේ ඒ ක‍්‍රියාවලියේ නියැලෙන පිරිස්වලට. ඒ වගේම අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මේකෙන් පහර වැදිච්ච, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ අයට සහ අනෙකුත් අයට වහාම ආර්ථික සහන පැකේජයක් රජය ලබාදිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. නැත්නම් ඒ අය කඩා වැටුනොත් රටක් කඩා වැටෙන්න ඉඩ තිබෙන නිසා.

ඒ වගේම විශේෂයෙන්ම විසඳුම්වලියක්, යෝජනා ගණාවක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ විසඳුම්වලිය ගැන අපි පුළුල්ව බලන්න  ඕනේ. සමාජ ස්ථර ගණනාවක් මේ කි‍්‍රයාවලියත් සමග ලංකාවේ තිබෙනවා. අපි දන්නවා ලංකාවේ මුස්ලිම් ජනතාව විශාල සාමකාමී සමාජයක් හැටියට හිටියා. පහුගිය කාලයේ ඇති වූ වමදකුණ පිළිබඳ ගැටුම්වලටවත්, ඒවගේම දෙමළ බෙදුම්වාදී ගැටුම්වලින් බැට කෑවා මිසක් එක පාර්ශවයක්වත් ගත්තේ නැහැ මේ රටේ මුස්ලිම් සමාජය. ස්වාධිනව සාමකාමීව සිටියා. නමුත් අපි පෙනෙනවා ඒ සමාජය ඇතුළේ ආර්ථික ප‍්‍රවණතා ගනණාවක් ඇතිවෙලා සමාජයේ ඉන්න යම් පිරිසක් රැඩිකල් ජිහාද්වාදීන් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා ලංකාවේ හේතු, විදේශ රටවල හේතු ආදිය නිසා. ඒ නිසා අපි පළමුවෙන් කළ යුතු දෙය වෙන්නේ මේ සිදුවීමට සම්බන්ධ කෙලින්ම හිංසාවාදී කි‍්‍රයාවන් කිරීම සඳහා සූදානම්ව සිටි ඒ ත‍්‍රස්තවාදී හැඟීම් සහිත ජිහාඩ්වාදී ඒ සටන් කාමී පිරිස් හඳුනා ගැනීමයි. හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ප‍්‍රතිත‍්‍රස්ත ව්‍යාපාරයක් දියත් කිරීමයි. අපි යෝජනා කර තිබෙනවා සියළු ආරක්‍ෂක බුද්ධි අංශ ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලයක් ඇති කරන්න, දැනටමත් එය කර තිබෙනවා. ඒ වගේම හොඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කරලා අපි ජනතාවට නිවැරිදි තොරතුරු ලබාදීලා, ජනතාවගෙන් නිවැරදි තොරතුරු ලබාගෙන මේ කටයුත්ත කරන්න.

මේ ප‍්‍රතිත‍්‍රස්ත ව්‍යාපාරය ඇත්තටම මම හිතන්නේ දෙතුන් සියයක් වැනි ඉතා සුළු පිරිසක් ඉන්නේ, ඒ වගේම සිරියාව වැනි විදේශ රටවල් වලින් පුහුණුව ලබපු. නමුත් මේ රටේ විසි ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඒ නිසා මේ 200 ක් මර්ධනය කරන්න ගිහින් විශාල හානි සිදු කර ගත යුතු නැහැ. ඒ නිසා හරියටම ත‍්‍රස්ත පිරිස් හඳුනාගෙන කි‍්‍රයා කළ යුතුයි.

 ඊ ළඟට අපි දන්නවා මේ කි‍්‍රයාවලියත් සමග, මෙම දෙසීයත් සමග සම්බන්ධිකරණය පිරිස් ඉන්නවා. අපි විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා, සැපයීම් හරහා, සම්බන්ධිකරණය හාරහා ඒ හිංසාකාරී කි‍්‍රයාවන්වලට ගමන් කළේ නැතත් හිතින් ඉඩ දුන්න අය ඉන්නවා. මතවාදීමය වශයෙන් එතන ඉන්න අය ඉන්නවා. වක‍්‍ර කි‍්‍රයාකාරී සහයෝගය දෙන අය එතැන ඉන්නවා. මුස්ලිම් සමාජය තුළ ඉන්න මේ පිරිස ඇත්තටම හඳුනාගෙන   අන්තර්ජාලයේ යම් යම් තැන්වල සැරිසරමින් පිරිස බඳවා ගන්න මේ කි‍්‍රයාවලියට ඒ වගේම මේවා සම්බන්ධිකරණය කරන පිරිස හඳුනාගෙන ඒ ගොල්ලො නිෂ්කි‍්‍රය කිරීමේ වැඩපිළිවෙලක් අපි යෝජනා කර තිබෙනවා.  මේ අයව හඳුනාගෙන මේ අය දරණ ජිහාඞ් මතවාදය සහ ඒ ත‍්‍රස්තවාදයට දෙන අනුබලවලින් මේ අය මුදා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒකත් ඉතා සුළු පිරිසක් මේ මුස්ලිම් සමාජය තුළ ඉන්නේ.

ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානවල 800 කට වැඩි විදේශීය ගුරුවරු උගන්වනවා. මේ ගරුවරු උගන්වන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මද්රාසාවල, ඒ විශ්ව විද්‍යාලවල ඒ වගේම ඒවා තුළින් මොන විදිහේ සිතුවිලි, මොන විදිහේ මතවාද ඇතිවනවාද කියා අපි දන්නේ නැහැ. ඒ වගේම මම හිතනවා ඒ මුස්ලිම් සමාජය ඒ පිළිබඳව කි‍්‍රයා කරයි. ඒ වගේම රජයත් වහාම මේ විදේශී ගුරුවරු පිටත් කළ යුතුයි. මොකද රටේ ඉන්නවා  ඕන තරම් මුස්ලිම් උගතුන්, වියතුන්. මේ කුරාණය පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ඒ ඉස්ලාමීය දර්ශනය පැහැදිලි කරලා දෙන්න මොකද ප‍්‍රශ්න ඇතිවෙන්න කලින් අපි මේ විදේශ ඇඟිලි ගැසීම්වලින් මේක මුදා ගන්න  ඕනේ. අපි දන්නවා මේ ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරයටත් ලොකු පිටබලයක් ලැබුනේ මේ රටට වඩා තමිල්නාඩුවෙන්, කේරලයෙන්. එතකොට ඒ නිසා අපි විදේශීය පිරිස් මෙතනින් ඉවත් කිරීම ඉතා අත්‍යාවශ්‍ය වෙනවා රටේ සාමය ඇති කර ගැනීමට. එතකොට මේ ඉගැන්වීමේ මධ්‍යස්ථාන පාලනය කරන්න  ඕනේ.

විශේෂයෙන්ම විශ්ව විද්‍යාල හැටියට පවත්වාගෙන යනව ඒවා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම යටතේ. ඒ වගේම අනෙකුත් ආගමික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේත් අනෙක් ආගමික ආයතන කරගෙන යනවා වගේ කරගෙන යා යුතුයි. ඒමගින් මේ කුඩා දරුවන් සහ තරුණ පිරිස් මේ රැඩිකල්කරණයට යොමුවීමේ වාතාවරණය පාලනය කර ගත හැකියා කියා අපි හිතනවා. මෙතනදි අපි විශේෂයෙන්ම බටහිර රටවල්වලට වඩා ඉස්ලාමීය රටවල්, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් ඒ රටවල්වල මේක පාලනය කරන්න අනුගමනය කරපු කි‍්‍රයාදාමය නිර් රැඩිකල්කරන ව්‍යාපාරයෙන් පාඩම් ඉගෙන ගන්න  ඕනේ. සම්බන්ධකම් ඇති කරගන්න  ඕනේ. ඇතිකරගෙන ඒ පාඩම් අපේ රටතුළත් අපි කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරන්න  ඕනේ. ඒ වගේම මේ රටේ එක්තරා කාලයක තව්පික් ජමාද් ව්‍යාපාරය, ඊට පස්සේ තව්හිද් ජමාද් ව්‍යාපාරය විසින් අනුක‍්‍රමයෙන් අපේ රටේ මුස්ලිම් ජනතාව තුළ යම් සමාජ බෙදුම්වාදය ඇති කළා. ඒකට සුළු පිරිසක් හසු උනා. ඒ හසුවීම නිසා අපි අතර සමාජමය පරස්පරයක් ඇතිවුණා. ඇඳුමෙන් පැළඳුමෙන් කෑමෙන් – බීමෙන් දැන් ඒ සියල්ල අපි එකට එකතු වෙන්න  ඕනේ. මේ රට මුස්ලිම් අනන්‍යතාවයත් අරක්‍ෂා කරගෙන අපි එකට එකතු විය යුතුයි. සැකයෙන් බලන තත්වයක් ඇති කරන්න හොඳ නැහැ.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකික වෙන්න  ඕනේ. අපි අවධාරණය කරන්නේ ඒකයි. අරාබියක් හදන්න නැතුව ලංකාව ඇතුලේ ආරාබි භාෂාව ඉගෙන ගත්ත, අරාබි ඇඳුම් අඳින අරාබි ගති පැවතුම් තිබෙන පිරිසක් ඇති කර ගන්නේ නැතිව රට අරාබිකරණය කරන්නේ නැතිව නිර්අරාබිකරණයක් කරලා අපි පළමුවෙන්ම ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවක් හදාගන්න  ඕනේ. අන්න ඒ සඳහා අපි ඒ සියළු දෙනාගේම සහය ප‍්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපගේ මුස්ලිම් ජනතාවගෙන් අති විශාල පිරිසක් සමාකාමී ජනතාව. සුළු පිරිසකගේ මේ ප‍්‍රචන්ඩ කි‍්‍රයා මගින් අපි ප‍්‍රකෝප විය යුතු නැහැ. ඒ වගේම අපේ ජනතාවත්, සෙසු ජනතාව විශේෂයෙන්ම කි‍්‍රස්තියානි ප‍්‍රජාව, හින්දු ප‍්‍රජාව, බෞද්ධ ප‍්‍රජාව ඒ අය හැමෝටම ප‍්‍රශ්න මතුවෙලා තිබෙනවා. ජීවත්වීමේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්න, ආරක්‍ෂක ප‍්‍රශ්න, රැකියාවට යාම පිළිබඳ ප‍්‍රශ්න, දරුවෝ පාසල් යැවීම පිළිබඳ ප‍්‍රශ්න, ආගමික ස්ථාන වන්දනා කිරීම පිළිබඳ ප‍්‍රශ්න අද අපි හැමෝටම ඇවිත් තිබෙනවා. අද හැම ආගමකටම. හැමෝටම ඇවිත් තිබෙනවා. ඒ නිසා අපි සියළු දෙනාම ඉවසීමෙන් ආරක්‍ෂක අංශවලට එම කටයුත්ත කරන්න ඉඩකඩ දෙනවා මිසක් නීතිය අතට ගන්න කටයුතු කළ යුතු නැහැ.

අපි උනත් කරන්නේ අපේ ඉන්න අයගේ දැනුම සහ ඒ අයගේ බුද්ධිය අපේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අපේ තිබෙන කැපවීම අපි ඉදිරිපත් කරලා ඒකට සහය ලබාදීම පමණයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දේශපාලන නොවන මහජන ව්‍යාපාරයක් හැටියට ඉදිරියේ කි‍්‍රයාත්මක වෙලා අඛණ්ඩව  මෙම කටයුත්ත කරන්න. මොකද අපි දන්නවා අපේ රටේ ටික දවසක් ගියහම මේ ප‍්‍රශ්න අමතක වෙනවා.  නැවතත් දේශපාලන බේද උස්මතු වෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුත්ත කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය රටවල් අපේ රටේ මේ ප‍්‍රශ්නේ ගැන අපට අත්දැකීම් ගන්න පුළුවන් තැන්වලින් අත්දැකීම් ගන්නත්, අත්දැකීම් නැතිව විවිධ විවරණ කරන විදේශීය නාලිකා, ඒ වගේම විදේශීය ප‍්‍රජාව දැනුවත් කිරීමටත් ඔවුන්ගේ සහය මේ සඳහා ලබාගැනීමටත් අපි කටයුතු කරන බව ප‍්‍රකාශ කරනවා. ඒ අනුව පැහැදිලිව, නිශ්චිතව මේ ත‍්‍රස්තවාදීන් කවුද කියලා ඊ ළඟට ඔවුන්ගේ අත් උදව් කරුවන් සහ සම්බන්ධිකරකයින් කවුද කියලා අන්තර්ජාලය සැරිසරන. ඒ වගේම ආගමික වශයෙන් සිටින අන්තවාදී පිරිස් කවුද කියලා හඳුනා ගැනීමත්, සාමාන්‍ය අපගේ මුස්ලිම් සමාජය අපිත් එක්ක මේ ගමන යන්න රට ඉදිරියට ගෙනයන්න අපි කටයුතු කිරීමයි. 

83 සිද්ධිය අවුරුදු විසිගානක යුද ගැටුමකට ගමන් කළා වගේ මේ සිදුවීම තවත් අවුරුදු විසිගානක, තිස්ගානක යුද ගැටුමකට ගමන් නොකොට අපේ දරුවන්ට සාමකාමී රටක් ඇති කර ගැනීමට අපි සියළු දෙනාම කැපවිය යුතුයි. මම කියන්න  ඕනේ මට අවුරුදු 53 ක් මේ පනස් තුනේදි මම මුලින්ම දැක්කේ 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල. කෙලින්ම බහ තෝරණ වයසෙදි මම දැක්කේ මේ රටේ තරුණ පිරිස් අවි අතට අරගෙන සමාජවාදය පිහිටුවන්න හදපු එක. ඊ ළඟට අපි තරුණයෝ හැටියට දිගින් දිගටම දැක්කේ  එල්.ටී.ටී.ඊ. මිනිස් බෝම්බවලට මිනිස්සු මිය යන එක. සෙබළු මිය යන එක. ජනතාව මිය යන එක. ජනතාව අනාථා වෙන එක, පලායන එක, පිටරට යන එක. ඒ වගේම ඉන්දියාවේ විදේශීය මැදිහත්වීම. ඒ වගේම දකුනේ ඇති වූ කැරැල්ල. මහපාරවල්වල අපි විශ්ව විද්‍යාල සමයේ ඇති වූ එම සිදුවීම. අපි හිතුවා ඒ ඔක්කොම දැන් ඉවරයි කියලා. දැන් අපි ඉල්ලා සිටින්නේ අපේ දරුවන්ට නැවත මේ ලේ වැගිරීම් කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ මේ රට තුළ. ඒ දරුවන්ටවත් භීෂණයෙන් තොරව, ලේ වැගිරීම්වලින් තොරව, අනාථභාවයෙන් තොරව, දුක්ඛිත භාවයෙන් තොරව ඉදිරියට යන්න දෙන්න  ඕනේ.

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේකට ඉදිරිපත් වෙනවා. මොකද අපේ දරුවන්ට හොඳ රටක් හදන්න.  අපි මේ රටෙන් පැනලා යන්නේ නැහැ. විදේශ රටවල පුරවැසිකම් ගන්න යන්නේ නැහැ. මොකද අපි මේ රට හදාගන්න  ඕනේ. අපේ මුළු ජිවිත කාලයේ අපි දැක්කේ ලේ. අපි දැක්කේ අනාථභාවය.  අපි දැක්කේ පලායාම. ඒක අපේ දරුවන්ට ලබාදෙන්න අපි කටයුතු කළ යුතු නැහැ. ඒ නිසා තමයි අපි මේකට කැපවෙලා ඉන්නේ කියන එක අපි නැවත අවධාරණය කරනවා අපේ දේශපාලනය කවරක් උනත්. ඒ වගේම රටේ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටෙන් පැනලා යාම නෙමෙයි විසඳුම. අපි මේකට දෙපයින් නැගී සිටලා අධිෂ්ඨානයෙන් කටයුතු කරලා, සියළු දෙනාම සමගියෙන් කටයුතු කරමු. විශේෂයෙන්ම අපේ මුස්ලිම් ප‍්‍රජාවගෙන් අපි ඉල්ලනවා. සාතිශ්‍ය බහුතර ප‍්‍රමානයක් ඉන්නේ සාමකාමී අහිංසක පිරිස. හැබැයි ඔබ නිෂ්කී‍්‍රය උනොත් අපි සියළු දෙනාම අමාරුවේ වැටෙනවා. සක‍්‍රීයව ඉදිරියට ඇවිල්ලා මේ ත‍්‍රස්තවාදීන් සයින්දමරුදුවලදී හෙළිදරව් කරලා දුන්නා වගේ හැම තැනකදීම ආරක්‍ෂක අංශවලට ඒ තොරතුරු ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සියළුම ප‍්‍රජාවගෙන් අපි නැවත වතාවක් සාමකාමීව අපේ ආරක්‍ෂක අංශවලට මෙය මර්ධනය කිරීමට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දේශපාලනමය වශයෙන් බෙදීම්, දෝෂාරෝපණ ඒ වගේම කම්මැලිකම් එක්ක රටට තවදුරටත් ගමනක් නැහැ. සකි‍්‍රයව අපි සියළු දෙනාම මේ ගමන ගිහින් මේ අපේ දරුවන්ට හොඳ රටක් උදා කරමු යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor