ලෝකයේ ගොඩබිමෙන් 1/3ක් සත්ව ගොවිපලට යටවෙලා !

ගවමස් කිලෝවක් හදන්න ජල ලීටර් 16730 ක් විද්වතුන් 15364 ක් අත්සන් කල අවවාදයක් එළිදකී අඩුවෙන්ම මස් කන්නේ බංගලාදේශය ඇතැම් ලාංකිකයෝ එළවලු කන්නෙත් මස් කියල හිතාගෙන!

අප අසුන්ගෙන සිටින ස්ථානය අසලින් ගලා බසින්නේ සුන්දර මහවැලි නදියයි. ඊට ඔබ්බෙන් දිස්වෙන්නේ පේරාදෙණියේ මල්වත්තයි. වවුලන් ලැගුම් ගන්නට තෝරා ගන්නේ ජලය ඇති ස්ථානයක් අවට ඇති වෘක්‍ෂයන් බව මා අසා තිබේ. ඒ නිසාදෝ ගඟට ඔබ්බෙන් වූ උද්‍යානයේ ගස්වල පැනිමුල් එල්ලුවාක් මෙන් වවුලන් එල්ලී සිටී. අකුණු ගසමින් මොහොතකට පෙර ඇදහැළුණු ධාරානිපාත අන්තර් මෝසම් වැස්සෙන් පසු වවුලන් කලබල වී කෑකෝ ගසමින් ඒ මේ අත පියාඹන්නේ දෛනික නිශාසැරිය අරඹන්නට පෙරහුරුවක් ලබන්නටය.  සිංහල අවුරුදු දිනවලදී සාමාන්‍යයෙන් ලැබෙන අසාමාන්‍ය දිගැති නිවාඩුවකදී, උගතුන් යයි මෙරටින් පමණක් නොව පිටරටින්ද හංවඩුව ගසාගත් මිනිසුන් තිදෙනෙක්, මහවැලි නදිය අසබඩ නවාතැනක අසුන්ගෙන, අර්ථවත් විද්‍යාත්මක අදහස්වලින් සැන්දෑව සිත්තම් කරමින් සිටී. ඇතැම්විට ඔවුන් කොක්හඬලා සිනාසෙන්නේ වවුලන්ගේ කරච්චලයට පවා අභියෝග කරමිනි.

“කුකුල්මස් කිලෝ එකක් හදන්න වතුර ලීටර් 4100 ක් ඕනෑ. ඒත් හාල් කිලෝවක් හදන්න යන්නේ වතුර ලීටර් 2656 යි. ඒත් කුඹුරට බැස්සම නාන මඩටික!! කුකුල් කොටුවේ එච්චර මඩ නෑනේ.”

තිදෙනාම යලිත් සද්දෙට සිනාසෙති. ඒ විද්වත් තර්කය වනාහී වතුර ප්‍රමාණයට සාපේක්ෂව ඇඟේ මඩ තැවරීමද වැඩිවිය යුතු බවයි. එය හුදෙක්ම අවස්ථාවට ගැලපෙන්නට විනෝදාස්වාදය පිණිස පැවසූවක් නිසා සකල ලංකාවාසී විද්වත් ප්‍රජාව අහිතක් නොසිතුව මනාය. ඒ මතින් කිසිවෙකුට කිසිදු අවමානයක් හෝ වෘත්තීමය හෑල්ලුවක් සිදුවන්නේ නැත. මතුපිටින් අප සැවොම සැහැල්ලුවෙන් සිනාසුනද, මගේ යටි සිත කොඳුරමින් බලකර සිටින්නේ මේ කියමන පසුපස යන ලෙසයි.    

දැනට ජීවතුන් අතර නැති හෙන්රි කේ. කෙන්ඩෝල් නමැති විද්‍යාඥයෙකු විසින් 1992 දී  “ඕනෑකමක් ඇති විද්වතුන්ගේ සන්ධානය” (Union of Concerned Scientists) නමින් සංධානයක් සාදා ගත්තේය. අපිට තේරෙන භාෂාවෙන් නම් එම සන්ධානය වනාහී රටතොට සිදුවන දෑ පිළිබඳව ඇස්කන් හැරගෙන බලා සිටිමින් අකටයුතු දෑ දකිනවිට ඉස්සරහට පනින “උණක් ඇති විද්වතුන්ගේ එකමුතුව” යනුවෙන් හැඳින්වූවාට වරදක් නැත. මෙහි සාමාජිකයින් විසින් එක්තරා ලියවිල්ලක් සමාජ ගතකරමින් පවසා සිටියේ, මනුෂ්‍ය වර්ගයා විසින් කරන කියනා දෑ  හා ස්වභාවික ලෝකයේ සිදුවීම් එකිනෙකට පරස්පර බවයි. එය ඕපාදූප ලියවිල්ලක් ලෙස පැත්තකට දමන්නට සමාජයට නොහැකිවූයේ, බහුතරයක් නොබෙල් ත්‍යාගලාභී විද්වතුන් පවා මීට අත්සන් කර තිබූ නිසාත්, තවත් 1700 ක්වූ උගතුන් පිරිසක් එකඟත්වය පළකරන්නට ඉදිරියට ආ නිසාත්ය. ඇඟට දැනෙන යමක් විසිපස් වසරක් පුරා නොකෙරුණ නිසා, 2017 නොවැම්බර් මාසයේදී ලොව පුරා විසිරී සිටින විද්‍යාඥයින් 15,364 කගේ අත්සනින් යුතුව “ලෝකයේ විද්වතුන් ගෙන් මනුෂ්‍ය ප්‍රජාවට කෙරෙන අනතුරු හැඟවීම” නමැති දෙවැනි ලියවිල්ලක්ද ප්‍රකාශයට පත්කරන ලදී. ඒ ඇමරිකාවේ ඔරිගොන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා මහාචාර්ය විලියම් ජේ. රිප්ල් ගේ මූලිකත්වයෙන්ය.

නිවැරදි කලමනාකරනයකදී නම් සිදුවිය යුත්තේ මෙම ජලය පළමුව වගාවන්ට යොදා බෝග නිෂ්පාදනය කිරීමයි. නිපදවෙන ධාන්‍යයෙන් පළමුව මිනිස් හිස් කුස හැකිතාක් සැනසීමයි. මහවැලි ගං ඉවුරේ සිට සැහැල්ලුවෙන් කී කතාවේ ගැඹුර ක්‍රමයෙන් නිරාවරණය වෙමින් තිබේ.

විවේකී සැන්දෑවේදී අසන්නට ලැබුණු කුකුල් මස් කතාවත් සමග “උණක් ඇති විද්වතුන්ගේ” අනතුරු හැඟවීම ලොකු සම්බන්ධකමක් ඇති බව පෙනෙන්නට තිබේ. බැද්දට රිංගා දඩයමක් කරගෙන ඉඳහිට මස් වේලක් අනුභව කල මිනිසා, එහි රසයට ගිජුවී සතුන් බෝකරමින් හා ඇතිදැඩි කරමින් පශු සම්පත් සංවර්ධනය නමින් ව්‍යාපාරයකට අතගැසීම හරහා ගෝලීය පරිසර විනාශයකට මිහිතලය මුහුණදී ඇතිබව තතු දන්නෝ පැවසීම මෙම කතාවේ සැඟවුණු සරල අර්ථය වේ. ජල පරිභෝජනය අතින් කුකුල් මස් නිෂ්පාදනය එසේ වෙත්දී, අනෙක් සත්ව නිෂ්පාදනයන්ගේ ජල අවශ්‍යතාවය ඊට වඩා හුඟක් භයානකය. ගවමස් කිලෝවක් නිපදවීමට ජලය ලීටර් 16,730 ක්ද, ඌරුමස් සඳහා ලීටර් 5470 ක්ද, ගණනය කෙරෙත්දී, තිරිඟු වෙනුවෙන් ජල අවශ්‍යතාවය කිලෝවකට ලීටර් 1440 සහ බඩඉරිඟු සඳහා ලීටර් 1000 ක්ද වාර්තා වීම හරහා පෙනී යන්නේ, සතුන් නම්වූ ‘මාංශ ෆැක්ටරි’ හරහා මිනිසා විසින් ගෝලීය ජල ප්‍රභවයන් හැටට හැටේ නාස්ති කර ඇති බවකි. නිවැරදි කලමනාකරනයකදී නම් සිදුවිය යුත්තේ මෙම ජලය පළමුව වගාවන්ට යොදා බෝග නිෂ්පාදනය කිරීමයි. නිපදවෙන ධාන්‍යයෙන් පළමුව මිනිස් හිස් කුස හැකිතාක් සැනසීමයි. මහවැලි ගං ඉවුරේ සිට සැහැල්ලුවෙන් කී කතාවේ ගැඹුර ක්‍රමයෙන් නිරාවරණය වෙමින් තිබේ.

සත්ව මාංශය රසයි, පෝෂ්‍යදායකයි, ආදී වශයෙන් ගුණ වයනා සමාජයක හිමිකරුවන් වන මස්බුදින ජාතීන් විසින්ම, තම ක්‍රියාකාරකම් හරහා නොදැනුවත්වම වාගේ යම් තැනකට පැමිණ, එහි අවදානමේ තරම දේශනා කිරීමට ඉදිරිපත් වීම දෛවයේ සරදමක් වැනිය. මිනිසා මෙන්ම හැඟීම් දැනෙන ජීවී කොට්ඨාශයක් වන මේ ගොවිපල් සතුන්ව, ගාල් කරගෙන බෝකිරීමෙදී උන්ට අහිමිවන නිදහස, විඳින්නට සිදුවෙන අනේකවිධ වදහිංසා ආදිය ගැන වූ අවනඩුව අසන්නට කෙනෙක් නැත. 1925 සිට ඇමරිකාවේදී මස් පිණිස ඇතිකරන කුකුලෙකුගේ වයස දින 112 ක් සිට මේ වනවිට දින 48 දක්වා අඩුවී තිබේ. ඊට සාපේක්ෂව ජීවිතය අවසන් කරන  බර කිලෝ එකේ සිට කිලෝග්‍රෑම් 2.5 දක්වා වැඩිවී තිබේ. වයස අඩුකිරීම හා ඊට ප්‍රතිලෝමව  බර වැඩිකිරීම විද්‍යාවේ ප්‍රාතිහාර්යයන් යයි මිනිසා උදම් ඇනුවද, ඒ හරහා සුනුවිසුනු වී ඇති සත්ව අයිතීන් ගැන කියාගත නොහැකිව මේ අහිංසකයින් හෙළනා උණුසුම් සුසුම් රැලි මිනිස් වර්ගයාටම සාපයක් වූවාද?      පරිසරය හොඳටම රත්වෙලාය. කලකට පෙරදී ගමේ අවුරුදු උත්සවය වෙනුවෙන් අසන්නට නොලැබුණු අවවාදයක් පවා මෙවර අසන්නට ලැබුණි. හෙවනේ සිට කළහැකි වන්නේ පංච දැමීම, තාච්චි පැනීම, සැඟවුණු අමුත්තා සෙවීම වැනි දෙයක් බව දැන දැනත් බලධාරීන් පැවසුවේ අවුරුදු ක්‍රීඩා කරන්නේ නම් සෙවන සහිත ස්ථාන සොයා ගන්නා ලෙසයි. එසේ කීවේත් අපේම හොඳටම නිසා ඒ ගැන අහිතක් සිතිය යුතු නැත. පරිසරය රත්වූයේ තම නිදහස අහිමිකලවුන්ට එරෙහිව ගොවිපල් සතුන් හෙළනා වේදනා බර සුසුම් නිසාය.

සතුන් මගින් මුදාහරින අංගාරිකාම්ල වායුවත්, වෙනත් ප්‍රභවයන්ගෙන් පිටවෙන මීතේන් වැනි වායූත් ‘හරිතාගාර වායු’ සේ හැඳින්වෙන අතර ගෝලීය උණුසුමට ප්‍රධාන සාධකයක් ලෙස පිළිගැනෙන්නේ වායුගෝලයේ මෙම වායු අන්තර්ගතය ඉහල යාමයි.

සතුන් මගින් මුදාහරින අංගාරිකාම්ල වායුවත්, වෙනත් ප්‍රභවයන්ගෙන් පිටවෙන මීතේන් වැනි වායූත් ‘හරිතාගාර වායු’ සේ හැඳින්වෙන අතර ගෝලීය උණුසුමට ප්‍රධාන සාධකයක් ලෙස පිළිගැනෙන්නේ වායුගෝලයේ මෙම වායු අන්තර්ගතය ඉහල යාමයි. නැව්, ගුවන්යානා ඇතුළු ලොව පවතින සියලු රථවාහන මගින් පරිසරයට මුදාහරින හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් කෑමට ඇතිදැඩි කරන ගොවිපල් සතුන්ගෙන් පිටවෙන බව, විශ්වාස කරන්නටත් අමාරු තරමේ අනාවරණයකි. මුළු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්කල සත්ව ගොවිපල නිසා පිටවන හරිතාගාර වායු ප්‍රතිශතය 18% තරම් ඉහල අගයකි. මිනිසා විසින් සත්ව මාංශ අනුභවයට සීමා පනවා ගතහොත් ඒ හරහා හරිතාගාර වායු මුක්තවීම අඩුවී, 21 වෙනි සියවසේදී මිනිස් සෞඛ්‍යයට ඇති බරපතලම තර්ජනය වන දේශගුණයේ වෙනස්වීමට මඳ සැහැල්ලුවක් ලැබෙන බව තතු දන්නෝ පෙන්වා දෙති.

අනෙක් අතට කරන්නන් වාලේ ඇති නැති හැම කෙනාම කෙරුවත් මස් නිෂ්පාදනය යනු ඉතාමත් අකාර්යක්ෂම ව්‍යායාමයකි. රතුමස් සඳහා නම් මෙය ඉතා බරපතලය. ජලය ලීටර් 16,730 ක් වැයවෙනවාට අමතරව ගවමස් කිලෝවක් හදන්නට ධාන්‍ය කිලෝග්‍රෑම් 25 ක්ද උවමනාය. ධාන්‍ය ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිපලය වන්නේ මිල ඉහල යාමයි. ඒ හරහා පෙලෙන්නේද දුප්පතාමය. සතුන්ට කවන මෙම ධාන්‍යය මිනිසාට දෙන්නේ නම් බිලියන 3.5 අතිරේක ජනතාවකගේ කුස පුරවාලිය හැකිවේ. මුළු ලෝක ජනගහනයත් අද බිලියන 7.5 කි. මේ අතර සෑම මිනිසුන් හත් දෙනෙකුගෙන්ම එක අයෙක් රෑ නින්දට පිවිසෙන්නේ නිරාහාරවය. බිලියන 0.8 ජනතාව ජීවත්වන්නේ කුසගින්නේය. එසේනම් ලංකාවේ ජනගහනය මෙන් 175 ගුණයක් ජනතාවක් පෝෂණය කල හැකි ධාන්‍යය සතුන්ට කවමින් මස් නිෂ්පාදනය කිරීම අකාර්යක්‍ෂම වනවා පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් අපක්‍ෂපාතීද නොවේ. මේ අසාධාරණය තවත් ඉස්මතුව පෙනෙන්නේ භූමි පරිභෝජනය සලකා බලන විටය. අද ලෝකයේ බොහෝ ජනතාවක් ඉන්න හිටින්නට සුදුසු බිම්කඩක්  නැතිව දුක් විඳිත්දී, මිනිසා විසින් සත්ව ගොවිපල උදෙසා මහපොලොවෙන් 30% ක්ම වෙන්කරගෙන හමාරය. ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන ආකාරයට, ගොවිපොළවල් ඇතිකිරීම උදෙසා වනාන්තර එළිකිරීම, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ආවේනික ශාක හා සතුන්ගේ වඳවී යාමට ප්‍රබල හේතුවක් වී ඇත. එනම් ගවයින්, බැටළුවන්, එළුවන් හා ඌරන් එකම ජාතියෙන් රංචු පිටින් බෝ උනත්, මිහිකත සැරසූ ජෛව විවිධත්වය පෑල දොරින්ම නික්ම ගොස් තිබේ.

ලෝක විද්වතුන්ගේ 2017 අනතුරු ඇඟවීම හරහා ඔවුන් මීළඟට ප්‍රශ්න කර සිටින්නේ පරිසරයට මෙතරම් අගතියක් කරමින් පවත්වාගෙන යන මාංශ කර්මාන්තය පාදක වූ සත්ව ගොවිපල හරහා මිනිසා ලබාගත් නිරෝගී සම්පත්තියේ දිග පළල පිලිබඳවය. සතුන්ගේ බර වැඩිකිරීම හා රෝග නිවාරණය උදෙසා ගොවිපල් හිමියන් බහුලව ප්‍රතිජීවක භාවිතා කරති. අපගේ කෑම පිලියල කිරීමේ රටාව අනුව, පැය ගණනක් තැම්බෙන මස් හැළියක ඉතිරිවෙන ප්‍රතිජීවකයක් නැති වුවත්, විදේශිකයින් විසින් රතු පැහැය මැකෙන්නටත් පෙර ලිපෙන් බා ගන්නා මස් කුට්ටියට නම් ප්‍රතිජීවක වලින් නිදහස් යයි එවන් සහතිකයක් දීමට නුපුළුවන.

ඇමරිකාවේ නිෂ්පාදන කරන ප්‍රතිජීවක වලින් 80% ක ප්‍රමාණයක් බොන්නේ මිනිසුන් නොව සතුන්ය. මින් සැලකියයුතු ප්‍රමාණයක් මාංශ අනුභවය හරහා නිරන්තරයෙන්ම මිනිස් සිරුරට ඇතුළුවෙත්දී තව කොටසක් පරිසරයද නිදහස්වී පස හා ජල ප්‍රභවයන් දූෂණය කරයි

ඇමරිකාවේ නිෂ්පාදන කරන ප්‍රතිජීවක වලින් 80% ක ප්‍රමාණයක් බොන්නේ මිනිසුන් නොව සතුන්ය. මින් සැලකියයුතු ප්‍රමාණයක් මාංශ අනුභවය හරහා නිරන්තරයෙන්ම මිනිස් සිරුරට ඇතුළුවෙත්දී තව කොටසක් පරිසරයද නිදහස්වී පස හා ජල ප්‍රභවයන් දූෂණය කරයි. ප්‍රතිජීවක යනු දෙපැත්ත කැපෙන ආයුධයකි. එය නිතර නිතර ඇඟේ දමාගෙන සෙල්ලම් කිරීම භයානකය. සිරුර තුල අදාළ ප්‍රතිජීවකයට ඔරොත්තු දෙන බැක්ටීරියා බිහිවුවහොත්, හදිස්සියකට මේ ආයුධය ක්‍රියාත්මක නොවේ. වසරකට ඇමරිකානුවන් 23000 ක් දෙනා ප්‍රතිජීවක වලට අවනත නොවන බැක්ටීරියා පහරදීම් වලින් මිය පරලොව යන්නේ මේ හේතුවෙනි. මීට අමතරව අධික මාංශ අනුභවය නිසා, විශේෂයෙන් රතුමස් හා පෙර සැකසූ මාංශ නිෂ්පාදන හරහා හෘදරෝග, ආඝාතය, පිළිකා හා දියවැඩියාව වැනි රෝග අවදානමද වැඩිබව වෛද්‍යවරු පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ නිර්දේශ වලට අනුව දිනකට අනුභව කලයුතු මස් ප්‍රමාණය ග්‍රෑම් 80-90 ක් වුවත් පොහොසත් රටවල ඇත්තෝ ග්‍රෑම් 200-250 පහසුවෙන් ගිල දමමින්, අහක සිටින අපත් සමගම මේ මිහිතලය අඳුරු අගාධයක් වෙතට ඇදගෙන යති.

මෙම දත්ත සටහන් අතරට අපගේ පාරිභෝජන වාර්තා රිංගවීමට නොහැකිවීම එක්තරා අන්දමකට වාසනාවකි. කිලෝවක කුකුලෙකුගෙන් බාගයක් කපාගෙන ගෙදර එන බහුතර මධ්‍යම පාන්තික ලාංකිකයාගේ හතර දෙනෙක් සිටිනා පවුල, දෙවේලක්ම බත් සමග මස් කන්නේ ආදර්ශමත් අරපිරිමැසුම් රටාවක් ප්‍රදර්ශනය කරමින්ය. එහෙත් අපගේ කනස්සල්ල ඒ ගැන නොවේ. ගම්දනව් කරා පවා පැතිරෙමින් තිබෙන බැදපු කුකුල්මස් සංස්කෘතිය පිලිබඳවය. විවිධ රසකාරක දවටනයන් ගල්වා ක්‍රිස්පියට පිළිගන්වන මේ මස් කුට්ටියේ ඇතුල හොඳට බැදිලාත් නැත. ප්‍රමානයෙනුත් විශාලය. ඇඟ ලෙඩ කිරීම සඳහා, ඉතිරිවී ඇති ප්‍රතිජීවක කෙසේ වෙතත් , අත කට පුරා බේරෙන තෙල් ටික වුවත් හොඳටම ප්‍රමාණවත්ය. තම ශක්තිමත් ප්‍රචාරණ යාන්ත්‍රනය හරහා මේ කර්මාන්තකරුවෝ රහට වහ වැටුණු ළමා ලපටීන් පමණක් නොව උන්ගේ අම්මා අප්පච්චිලාද රවටාගෙන සිටී. ‘උණක් ඇති විද්වතුන්’ තම දෙවැනි නිවේදනයද ලියන්නට ඇත්තේ, පිටරටවල සිටිද්දී අපටත් වඩා පාට පාටින් මේ නාටකය ඔවුනට පෙනෙන නිසා විය යුතුය.

ශාක පාදක ආහාර වලට ජනතාව ක්‍රමයෙන් මාරුවෙන්නේ නම් 2050 වසර වනවිට ලොවපුරා මිලියන 8 කගේ ජීවිත වාර්ෂිකව බේරෙන බව ඔවුහු පෙන්වා දෙති.

ශාක පාදක ආහාර වලට ජනතාව ක්‍රමයෙන් මාරුවෙන්නේ නම් 2050 වසර වනවිට ලොවපුරා මිලියන 8 කගේ ජීවිත වාර්ෂිකව බේරෙන බව ඔවුහු පෙන්වා දෙති. (එවකට ලෝක ජනගහනය බිලියන 9 පසුකරනු ඇතැයි ගණන් බලා තිබේ). දේශගුණ විපර්යාසය උදාසීන වීම හා මිනිස් ලෙඩරෝග අඩුවීම හරහා ලෝකය ලබාගන්නා වාසිය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ද පනිනු ඇත.

ලෝකයේ තොරතුරු වාර්තා දෙස බලාගෙන මා ලියූවත්, ඔබ කියවූවත් අප දෙපලටම මෙහි සිට කරන්නට ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉතා අල්ප රාජකාරියකි. ඇති හැකි අය තමා යන පීල්ල වැරදි බව දැනගෙන හඬ තැලුවද, අප කලබලවී ආහාර රටා වෙනස් කලයුතු යයි නොසිතුව මනාය. ලොව රටවල් අතරින් අඩුවෙන්ම මස් කන්නේ බංගලාදේශයයි. ඒ එක පුද්ගලයෙක් වසරකට කිලෝ 4 ක් වශයෙනි. ඊළඟට 4.4 ක් කන ඉන්දියාවද, 5.2 ක් අනුභව කරන බුරුන්ඩි දේශයද වේ. ශ්‍රී ලංකාව පහල සිට ඉහලට හතරවෙනියා වී ඇත්තේ වසරකට මස් කිලෝග්‍රෑම් 6.3 පාරිභෝජනය කරමින්ය. මෙය කෑමක් නොව ලෙවකෑමක් දෝ සිතෙන්නේ ලයිස්තුවේ පළමු තැන ගන්නා ඇමරිකාව වාර්ෂික ඒක පුද්ගල මාංශ පරිභෝජනය බංගලි වැසියන්ට වඩා 30 ගුණයකින් වැඩි අගයක් වන කිලෝග්රෑම් 120.2 පෙන්වන නිසාය. පසුගිය ලිපියක පැවසූ පරිදි මෙක්සිකෝවට කලින් තරබාරුකමේ කුසලානය ඇමරිකානුවන් දරා සිටියේ මේ කෑම රටාව නිසා බවට සැකයක් නැත. මෙය වඩාත්ම සනාථ වන්නේ බංගලිදේශය, ස්ථුලභාවය අඩුම රටවල් ශ්‍රේණියේ දෙවනියා වීම මගිනි. නිර්මාංශ බව ඊට උපකාර වූවාට සැක නැත. එහි පළමුවැන්නා ඉතියෝපියාවයි! මාංශය නොව නිර්මාංශයවත් නැති දරිද්‍රතාවය නිසා පළමු තැන හිමිඋනා මිස ඔවුන් නම් හිතාමතා මාංශ අනුභවය මගහරින්නන් නොවේ.

ලංකාවේ අඩු පාරිභෝජනය වුවත් ක්‍රමයෙන් යන්නේ වැඩිවෙන පැත්තටය. 2015 දී වසරකට කුකුල් මස් කිලෝග්‍රෑම් 6.9 කෑ අපි, 2016 දී එය 7.3 ක් දක්වා වර්ධනය කරගෙන තිබේ. ඊට අමතරව කුස තුල හිඳිනා දරුවාගේ පටන් සමස්ත ලපටි ප්‍රජාවට මස් රස හුරුකරන්නට මහත් වෙහෙසක් දරමින් සිටිමු. පරිප්පු හොද්දේ සිට සෝයා බෝංචි පිෂ්ටයෙන් සාදනු ලබන ආහාරයක් දක්වාම මස් රස ආදේශ කිරීමට වෙර දරමින් සිටිමු

ලංකාවේ අඩු පාරිභෝජනය වුවත් ක්‍රමයෙන් යන්නේ වැඩිවෙන පැත්තටය. 2015 දී වසරකට කුකුල් මස් කිලෝග්‍රෑම් 6.9 කෑ අපි, 2016 දී එය 7.3 ක් දක්වා වර්ධනය කරගෙන තිබේ. ඊට අමතරව කුස තුල හිඳිනා දරුවාගේ පටන් සමස්ත ලපටි ප්‍රජාවට මස් රස හුරුකරන්නට මහත් වෙහෙසක් දරමින් සිටිමු. පරිප්පු හොද්දේ සිට සෝයා බෝංචි පිෂ්ටයෙන් සාදනු ලබන ආහාරයක් දක්වාම මස් රස ආදේශ කිරීමට වෙර දරමින් සිටිමු. ටීවීපී (Textured Vegetable Protein) යන නමින් සෝයාබෝංචි පිටි යොදාගෙන 1960 දී කෑමක් නිපදවූ චිකාගෝහි මුලස්ථානගත ආචර් ඩැනියෙල්ස් මිඩ්ලන්ඩ් සමාගමවත් තම නිෂ්පාදනයට “සෝයාමීට්” යයි නම් තැබුවේ නැත. මෙය බහුලව වළඳන ඉන්දියානුවන්වත් එයට සෝයාමීට් නම යොදාගෙන නැත. නමුත් අප එය හපන්නේ මස් බුදිනාවා යයි සිතමිනි. රසකාරක හරහා එයට මස් රසයද තවරාගෙන ඇත. ‘දඩමස් රස’ නමින් අලුත් රසයන් පවා විකාරරූපීයව බිහිකරගෙන ඇත. සතෙකුගේ මසට ඇති ආවේනික රසය හැර, දඩයම හරහාත් එයට රසයක් ලැබේනම් එය වෙඩිබෙහෙත් රස විය යුතුය! 14 වෙනි සියවසේදී 76% ක් ගොවිතැන් කල ලෝකවාසීන්, සතුන් ඇතිකරන්නට පටන්ගෙන පරිසරයත් වනසා, සතුන්ව මරාකමින් තම ශරීර සෞඛ්‍යයත් අඩපන කරගෙන, දැන් නැවතත් කරුණු අවබෝධ කරගනිමින් තිරසාර ගොවිතැනක් හා නිර්මාංශ ආහාරයක් වෙත ක්‍රමයෙන් ආපසු යමින් සිටියදී, අපේ ඇත්තන් කරේ එල්ලාගෙන මස් කන්නට සැරසී සිටී.

පරිසරයට ඇති ආදරය නිසා හෝ තම ශරීර සුවතාවය පමණක් ගැන මතුවෙන ආත්මාර්ථකාමී සිතුවිලි නිසා හෝ පසුගිය වකවානුවේදී මාංශ පරිභෝජන අඩුකිරීමට පොහොසත් රටවල් කටයුතු කර තිබේ

පරිසරයට ඇති ආදරය නිසා හෝ තම ශරීර සුවතාවය පමණක් ගැන මතුවෙන ආත්මාර්ථකාමී සිතුවිලි නිසා හෝ පසුගිය වකවානුවේදී මාංශ පරිභෝජන අඩුකිරීමට පොහොසත් රටවල් කටයුතු කර තිබේ. ඇමරිකාව කිලෝග්‍රෑම් 120.2 (2009) අගයකට පල්ලම් බැස්සේ 2002 වසරේදී 124.8 අනුභව කල පසුය. මේ ආකාරයට අදාළ කාල වකවානුව තුල ලක්සම්බර්ග් 141.7 සිට 107.9 දක්වාද, නවසීලන්තය 142.1 සිට 106.7 දක්වාද, පෙරදී වැඩිම පාරිභෝජකයා වූ ඩෙන්මාර්කය ඉතා කැපී පෙනෙන අයුරින් 145.9 සිට 95.2 දක්වාද, මස් කෑමට අගුල් දමාගෙන ඇත.

මහා පරිමාන සත්ව ගොවිපලවල් අපට නැති නිසා පරිසරය වැනසීමේ ව්‍යායාමයට අප දායක වන්නේ නැතිබව සැබෑවකි. එසේ වුවත් ගහෙන් කඩාගත් ඇටයෙන් අඹරා ගන්නා පිටි ගුලියත් මස් කෑල්ලක් කියා සිතාගෙන හපමින්, කිරි හොද්දේත් චිකන් සුවඳ ඉව කරන්නට ළමා ළපටි උසිගන්වමින් රඟනා විලම්බීත නාටකයන් හරහා අනාගත පරපුරෙහි ශරීර සුවතාවය වැනසීමේ ව්‍යායාමය නම් මෙහි ජයටම කෙරීගෙන යයි. තිත තැබිය යුත්තේ මෙම මිත්‍යා මත වැපිරීමටයි. ‘ඕනෑකමක් ඇති විද්වතුන්ගේ සංගමයක්’ අපටද කඩිනමින් ඕනෑකර තිබේ.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor