ජනතාව නොමඟ යවන එක අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා – වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ චීන සංචාරයේදී චීන ගුවන් විදුලියේ සිංහල සේවය විසින් පසුගිය 27 වැනිදා සිදු කළ සම්මුඛ සාකච්ඡව.

ඇමතිතුමනි, විශේෂයෙන්ම දැන ගන්න කැමති චීන ජනතාව මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවත් මේ මොහොතේ ඉතාමත් සංවේදී වෙලා තියෙනවා ශ්‍රී ලංකාව  මේ ආරක්ෂාව සම්බන්ධයෙන්. රජය විදිහට මොන වගේ පියවරක් ද ? දැන් අනුගමනය කරලා තියෙන්නේ කොයිතරම් දුරකට තත්ත්වය සමථයකට පත් කරලා තියෙනවා ද ?

දැන් බොහෝ දුරට කනගාටුවෙන් හා ඉතාමත් සංවේදීව ඉන්නේ මේ අපේ රටේ ඇති වුණු තත්ත්වය සම්බන්ධව. විශේෂයෙන්ම අවුරුදු 10 කට පසුව අපේ අගනගරයේ හා අනෙකුත් ප්‍රදේශ වලට බෝම්බ ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතිං අපි සැබැවින්ම හිතුවේ 2009 පස්සේ ආයෙත් ත්‍රස්තවාදයක් මේ රටේ ඇති වෙන්නේ නැති වෙයි කියලා. ඉතිං ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට මේක අදහගන්න බැරි දෙයක් මේ වගේ දෙයක් වුණා කියන එක. නමුත් මේ වගේ අවස්ථාවක අපි සියලු දෙනාම හදවතින්ම දුක් වෙනවා. විශේෂයෙන්ම අපගේ සහෝදර ජනතාවගේ ජිවිත නැති වීම සම්බන්ධව.

සමාජයේ නොයෙක් මතවාද අදහස් විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ කෝපය හා තරහා අපිට දැනෙනවා.  විශේෂයෙන්ම සමාජ ජාලවල ආණ්ඩුවට තියෙන අප්‍රසාදය පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. දේශපාලඥයෝ වුණාට අපිත් සංවේදී මිනිස්සු අපිටත් හැඟීම් තියෙනවා. අපිට ජනතාවගේ නාඩි හොඳට තේරෙනවා. ඉතිං ඒ තරහ කෝපය මටත් තේරෙනවා. ඒක සාධාරණයි. නමුත් අපි මේ ප්‍රශනය මීට වඩා ඇතුළාන්තයෙන් ඉදිරියට බැලිය යුතුයි. එකක් තමයි අපේ මොන දේශපාලනයක් තිබ්බත් අපි මේ අවස්ථාවේ එකතු වෙන්න ඕනේ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් දිනුවහම වශයෙන් සතුටු වෙනවා.  ලංකාවේ හොඳ නම ආරක්ෂා වෙද්දී අපි සතුටු වෙනවා. ඒ වගේ අපි මෙවන් අවස්ථාවක අපි මොහොතකට හෝ අනිත් සියලු දේවල් පසෙකලා එකතු වෙන්න ඕනේ. මම කරන එකම ඉල්ලීම තමයි අපි සති හතර පහකටවත් එකතු වෙලා මේ ප්‍රශ්නයට අපි ජාතියක් හැටියට මුහුණ දෙමු කියන එක.

”මම කරන එකම ඉල්ලීම තමයි අපි සති හතර පහකටවත් එකතු වෙලා මේ ප්‍රශ්නයට අපි ජාතියක් හැටියට මුහුණ දෙමු කියන එක”

ඊට පසුව මම කියන්න කැමතියි ගිය ඉරිදා ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අපි පිළි ගන්නවා විශාල අඩුපාඩුකම් සිද්ධ වුණා කියලා. නමුත් ඊට පසුව රජය දැඩි ආරක්ෂක පියවරවල් අරන් තියෙනවා. අඟහරුවාදා වන විට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රකාශ කරලා හමුදාවට සම්පූර්ණ බලය අපි ලබා දුන්නා ඒ අවශ්‍ය පියවරවල් ගන්න. හමුදාව සම්පූර්ණයෙන්ම අගනුවර පමණක් නොවෙයි රටේ තියෙන ආන්දෝලනාත්මක තැන් වලට ඒ ආරක්ෂාව ලබා දීලා විශේෂයෙන්ම විශේෂ කාර්යය බලකාය ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදා අංශ සහ පොලීසිය දහස් ගණනක් රටේ ආරක්ෂාව ගැන මේ මොහොතේත්  බලනවා. මේ වෙන කොට නිවාස පනස්දාහක් පමණ සෝදිසි කිරීම් වලට ලක් කරලා තියෙනවා. තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන සැකකරුවන් දැනට හතළිහක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ සැකකරුවන් සියලු දෙනාම අපි හඳුනා ගෙන තියෙනවා. තව ඒ වගේම සංඛ්‍යාවක් අපිට අත්අඩංගුවට ගන්න තියෙනවා.

ඉතිං අපි අවශ්‍ය සියලුම ආරක්ෂක විදි විධාන අපි ගත්ත නිසා තමයි තවත් බෝම්බ පිපිරීම් ඇති වු‍ණේ නැත්තේ. ඉතිං ඒකෙන් මම සාධාරණීකරණයක් කරන්නේ නෑ වුණ දේ සම්බන්ධයෙන්. උන දේ ගැන අපි හදවතින්ම කනගාටු වෙනවා. නමුත් ඊට පසුව ජනාධාපතිතුමා ආරක්ෂක මණ්ඩලය කැඳවලා ගරු අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පියවරයන් සේරම අරගෙන තියෙනවා. මේ වෙන කොට රටේ තත්ත්වය යතා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

අපි දන්නවා සමහර උදවිය මේ තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන බව. විශේෂයෙන්ම බොරු අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා ප්‍රචාරය කරන එක මම හිතන්නේ ඉතාමත්ම කැත නින්දිත වැඩක්. රජයකට බණින එක වෙන වැඩක් අප්‍රසාදය පළ කරන එක වෙන වැඩක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ජනතාව නොමඟ යවන එක සම්පූර්ණයෙන්ම අපි හෙළා දකිනවා. ඊයෙත් මම සමාජ ජාලා ඔස්සේ දැක්කා ඇමරිකන් හමුදාව ලංකාවට ගේන්න යනවා කියලා. මේ හදන්නේ ඉරාකයේ මේ වගේ දෙයක් වුණා ඉරානයේත් සිරියාවේත් වුණා ඉතිං ඒ වගේ ඉස්ලාමීයන්ගේ ත්‍රස්ත ක්‍රියා ලංකාවටත් වෙන්න යනනිසා ලංකාවටත් කඩා පනින්න යනවා කියන එක. ඉතිං ඒ වගේ අසත්‍ය චෝදනා බොරු ප්‍රචාරණය කරන එක තියෙන තත්ත්වය පහත් තත්ත්වයකට ගේනවා කියන එකයි මගේ අදහස. ඉතිං අපි පියවරෙන් පියවරට යන්න අවශ්‍යයි. මම හිතන්නේ අලුත් ආරක්ෂක කණ්ඩායමක් එනවා. දැන් අලුත් ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ අද හෙටම අලුත් පොලිස්පති කෙනෙක් එයි. ඉතිං ඒ විදිහට පියවරෙන් පියවරට මේ ප්‍රශ්නය විසඳීමට ආරක්ෂක විදි විධාන ගන්න අවශ්‍යයි.

”රජයකට බණින එක වෙන වැඩක් අප්‍රසාදය පළ කරන එක වෙන වැඩක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ජනතාව නොමඟ යවන එක සම්පූර්ණයෙන්ම අපි හෙළා දකිනවා”

ඉතිං මේ ත්‍රස්ත සංවිධාන සම්පූර්ණයෙන්ම නැති කිරීමට විනාශ කිරීමට අපි රජයක් වශයෙන් වග බලා ගන්නවා. අපි අතිනුත් අඩුපාඩුකම් වුණා ඒකට සමා වෙන්න. ඒ සමාව ඉල්ලීමෙන් නැති වුණු ජීවිතවලට පණ ලැබෙන්නේ නෑ. ඒ දුක වේදනාව අඩු වෙන්නේ නෑ. මේ ප්‍රශනයෙන් ගොඩ එන්න රජය අහකට දාලා අපි ජාතියක් විදිහට එක් වෙන්න අවශ්‍යයි.

ඇමතිතුමනි, මේ සිද්ධිය සිදු වුණු අවස්ථාවේම චීනය කනගාටුව ප්‍රකාශ කරන ගමන් කීවා ඕනෑම සහයෝගයක් ලබා දෙන්න කැමතියි කියලා. තවත් ජාත්‍යන්තර රටවල් එය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. චීනයෙන් මේ ත්‍රස්තවාදී ගැටළුව මැඩ පැවැත්වීමට ආධාර හෝ යම් උපකාරයක් හෝ බලාපොරොත්තු වෙනවා ද? නැත්නම් ශ්‍රී ලංකා රජය ඒ වගේ උපකාරයක් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ද ?        

අපි චීන රජයට ඉතාමත් ගරු කරමින් හිස නමා ආචාර කරනවා අපි ඒ දුක් වන අවස්ථාවේ වචනයකින් හෝ සහයෝගය ලබා දීමට එක්වීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. චීනය කියන්නේ අපේ සාම්ප්‍රදායික මිත්‍රයෙක්.  විශාල බලවත් රටක්. ලෝකයේ තිබෙන දෙවන ආර්ථිකය තිබෙන්නේ චීනයේ. ඒ වගේම චීන ජනතාව චීන රජය අපේ රටට හරි ආදරෙයි. චීනය අපේ රටේ ආර්ථික සංවර්ධනයට විශාල රුකුළක් වෙලා තියෙනවා. අපගේ ස්වෛරීත්වයට අපගේ රටේ එකමුතුව තියා ගැනීමට විශාල කැපකිරීමක් චීනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ත්‍රස්තවාදී යුද්ධව අවසන් කිරිමට ආයුධ යුධ උපකරණ චීනය අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම  ඉදිරියේදීත් ත්‍රස්තවාදය නැති කිරීමට බුද්ධි අංශ කණ්ඩායම් අවශ්‍ය උපදෙස් අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අනෙකුත් ජාත්‍යන්තර රටවල් රාශියක්ම අපිට එය කිරීමට ඔවුන්ගේ සහය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ සහය උපරිම වශයෙන් ලබා ගෙන ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කිරීමට අපි සම්පූර්ණයෙන්ම වගකීමෙන් කටයුතු කරනවා කිය එක මම ප්‍රකාශ කරන්න කැමතියි.

ඇමතිතුමනි, 2013 වසරේ ආරම්භ කරනා චීන ජනාධිපති සේ ජිං පින් මහතාගේ සංකල්පයක් අනුව එක් තීරයක් එක් මාවතක් වැඩසටහන දැනට රටවල් 68 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී සිටිනවා. ශ්‍රී ලංකාවත් ඉන් එක් රටක්. ශ්‍රී ලංකාවේත් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා මේ යටතේ. දැන් කොයි වගේ මට්ට්මකද තියෙන්නේ මේ වගේ චීනයෙන් ලැබෙන ආධාර යටතේ වන වැඩසටහන්. දැන් අපි දන්නවා කොළඹ නගරයේ සංවර්ධන වැඩසටහන් රැසක් දකිනවා. වරාය ඉි වෙනවා ඒ යටතේ. ඉතිං මේ දේවල් වල ප්‍රගතිය සහ ඔබතුමා මේ දේවල් දකින්නේ කොහොම ද?

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ සේද මාවත නැවතත් දියුණු කරලා විශාල ආර්ථික දියුණුවක්  ආසියානු කලාපයේ රටවල් වලට ලබා දීමට තමයි. එය තමයි එතුමාගේ දර්ශනය. ඊයේ තමයි ඒ වැඩපිළිවෙලේ දෙවන සංවත්සරය පැවැත් වූයේ. ඉතාමත් සාර්ථකව එය සංවිධානය කරලා තිබ්බා. රටවල් රාශියක ජනාධිපතිවරු සැසිය ආමන්ත්‍රණය කළා. මමත් එයට සහභාගී වුණා. එහිදී හැමෝටම පෙනුනා මේ විශාල වැඩපිළිවෙලේ තියෙන මානුෂීය පැත්ත. විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය වැඩි කිරීම දරිද්‍රතාවය අඩු කිරීම චීනය හා සෙසු රටවල් සමඟ සම්බන්ධතාවය වැඩි කිරීම. ඉතිං චීනය වගේ රටක් මෙවැනි අවස්ථාවක ඉදිරිපත් වෙලා ඔවුන් මේ ලබා දෙන මේ විශාල ආධාර ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ප්‍රසංශනීයයි.

”විශාල පාරවල් නගර හදනවාට වඩා මිනිස්සුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට අපි චීන රජය හරහා යම් වැඩපිළිවෙළක් අපිට ගන්න පුළුවන්”

විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවටත් වරාය දියුණු කිරීමට ඔවුන් ආධාර ලබා දීලා තියෙනවා. කොළඹ ඔවුන් වෙනම නකගරයක් බිහි කරනවා. ඊට අමතරව ස්වෛරී රජයන්ට චීන රජයෙන් අපිට ආධාර කරන්න කියලා එක තීරයක් එක මාවතක් ඔස්සේ ඉල්ලීම් කරන්න පුළුවන්.  ඉතිං සමහර රටවල් විශාල ව්‍යාපෘති ඉදිරිපත් කරලා තියෙනවා. පාරවල් හදන්න, නගර හදන්න වගේ ව්‍යාපෘති වගේම සමහර ව්‍යාපෘති තියෙවනවා මිනිස්සුන්ට උදව් කරන්න වගේ ඒවා විශාල මුදල් ප්‍රමාණ යන්නේ නෑ ඒවාට. මම අත්සන් කළා හයිනාන් ප්‍රාන්ත රජයත් සමඟ ඩොලර් මිලියන 50ක් පමණ ඉතිං විශාල මුදලක් නෙවෙයි ඒ ලංකාවේ රබර් වගාව සංවර්ධනය කිරීමට එක තීරයක් එක මාවතක් ඔස්සේ  එන ව්‍යාපෘතියක් එය. ඒ අය ඒ ව්‍යාපෘතියටත් කැමති වුණා. එය අපේ රජයෙන් අපි ඉල්ලීමක් කළේ. එය කෘෂිකර්මයට අදාළ ව්‍යාපෘතියක්. ඉතිං අපි විශාල පාරවල් නගර හදනවාට වඩා මිනිස්සුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට අපි චීන රජය හරහා යම් වැඩපිළිවෙළක් අපිට ගන්න පුළුවන්. මම හිතන්නේ නෑ ඒ සඳහා විශාල මුදලක් යනවා කියලා.

අපිට තවමත් චීන රජය හරහා විශාල ලෙස අධ්‍යාපනයට මුදල් ලැබිලා නෑ. අපි තාම අධ්‍යාපන රටාවේ අවුරුදු 50ක් පමණ පරණ රටාවකට යන්නේ ඉතිං අපිට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට අලුතින් සිතීමට චීනයෙන් දෙන මුදල් යොදා ගන්න පුළුවන්. ඉතිං අපි ආසියානුකරයේ ජාතියක් හැටියට අලුතින් හිතන්න අවශ්‍යයි. ඉතිං මම හිතන්නේ චීනය දෙන ඒ මුදල් වලින් උපකාර වලින් අලුත් ගමනක් යන්න පුළුවන්. මෙය ෂී ජීන් පින් ජනාධිපතිතුමාගේ විශේෂිත වූ වැඩසටහනක්. මෙය එතුමාගේ විශාල සාර්ථක දර්ශනයක් හැටියට මා දකිනවා.

ඇමතිතුමනි, බහුපාර්ශවීය වාදය  ගෝලීය ආර්ථිකය විවෘත කිරීම ඒ වගේම ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ආයෝජකයන් සඳහා බදු සහන ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා හැටියට ඔබතුමා ආර්ථික ක්ෂේත්‍රය පුළුල් කිරීමට මේ ප්‍රතිපත්ති කොයිතරම් දුරට ඉවහල් වෙනවා ද ?

ඇත්ත වශයෙන් එක මනුෂ්‍යයෙක් කුඩා සිරුරක් හිමි මිනිසෙක් වුණත් 1979 විශාල අදහස් තිබ්බ මිනිසෙක් එක තීරණයක් ගත්තා චීනය වෙනුවෙන්. ඒ තමයි චීන ආර්ථිකය විවෘත කරන්න. ඒ දොන් ෂියෝ පින් ජනාධිපතිතුමා. ඒ එක තීරණයෙන් අද වන විට මිලියන 700ක ජනතාවක් දරිද්‍රතාවයෙන් ඔළුව උස්සලා තියෙනවා. ඉතිං අපිත් මේකෙන් පාඩමක් ඉගෙන ගෙන මේ පුංචි පුංචි දේවල් ගැන වෙන් වෙලා රණ්ඩු කරන්නේ නැතුව බෙදෙන්නේ නැතුව අපිත් මේ විශාල තීරණ ගන්න ඕනේ අපේ රට වෙනුවෙන්. අපිටත් චීනයෙන් ඉගෙන ගන්න පුළුවන්. එක පක්ෂයයි චීනයේ තියෙන්නේ. මම කියන්නේ නෑ අපේ රට එක පක්ෂයක් කරන්න ඕනේ කියලා මේකෙන්. රටවල් දෙක මොඩ්ල්ස් දෙකක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඡන්ද අයිතියක් මේ රටේ ජනතාවට නෑ. මාධ්‍ය නිදහස අපේ තරන් නෑ. නමුත් ජනාතාවට ආර්ථික ප්‍රතිලාභ මේ අවුරුදු 25 තුළ ලබා දීලා තියෙනවා. ඉතිං ඒ අයට මිලියන 1000ක ජනතාවකට කන්න බොන්න අදින්න නිවාස පහසුකම් ජල පහසුකම් ලබා දෙන්න අවශ්‍යයි. මේ රටේ ත්‍රස්ත ක්‍රියා නෑ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ නෑ. මේ අයගේ තියෙන්නේ කෙළින්ම ආර්ථික සංවර්ධනය . ඉතිං චීනය දෙන ආධාරත් එක්ක බැලුවහම බටහිර රටවල් වලට හැරෙන්නවත් බෑ. බටහිර රටවලින් මෙවැනි උදව් උපකාර ලැබෙන්නේත් නෑ. බටහිර රටවල් අභිබවා චීන රජය ඇවිල්ලා තියෙනවා.

චීනය දෙන ආධාරත් එක්ක බැලුවහම බටහිර රටවල් වලට හැරෙන්නවත් බෑ. බටහිර රටවලින් මෙවැනි උදව් උපකාර ලැබෙන්නේත් නෑ. බටහිර රටවල් අභිබවා චීන රජය ඇවිල්ලා තියෙනවා.

2025 වන විට ඇමෙරිකාව පරද්දනවා චීනය. විශාලම ආර්ථිකය චීනය වෙනවා. එවිට චීනය ආර්ථිකය අතින් ප්‍රථම ස්ථානයටත් ඇමෙරිකාව දෙවන තැනටත් ජපානය තෙවන තැනටත් එනවා. එතකොට එක් රටයි බටහිර වෙනනේ. තුනෙන් දෙකක්ම ආසියානු රටවල්. ඉන්දියාවත් අපේ අසල්වැසියෝ මිත්‍රයෝ. ඉතිං මගේ ආර්ථික දර්ශනය තමයි විශේෂයෙන්ම ආසියානු කලාපයේ  මේ රටවල් තුන අපි කේන්ද්‍ර කර ගත්තොත් ත්‍රිකෝණයක් කර ගත්තොත් චීනය ජපානය හා ඉන්දියාව අපේ රටට ලේසියෙන්ම ගොඩ එන්න පුළුවන්. ඉතිං ඒක කරන්න ඒ රටවල් කැමතියි. මම මෙහි ජනතාව ව්‍යාපාරිකයින් සමඟ කතා කරද්දී කොයිතරම් ඔවුන් අපේ තේ ක්ෂේත්‍රයට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා ද කියලා පේනවා. ඉතිං අපි එය කිරීමට අපේ පැත්තෙන් අවශ්‍ය දේවල් කළ යුතුයි. ඒ තමයි විනය. විශේෂයෙන්ම දේශපාලනය පැත්තෙන් ඡන්දයකින් පසුව එකමුතුව අත්වැල් බැඳ ගෙන කටයුතු කිරීම, අපේ කියන හැඟීමක් ඇති කිරීම වගේම විනය ගරුක සමාජයක් ඇති කිරීම ඒ වගේම ජාතික ආරක්ෂාව යන ටික අපිට කරන්න පුළුවන් නම් චීනය වගේ රටවලින් උපකාර ලබා ගෙන නැවුම් රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්.  

Recommended For You

About the Author: Editor