වෛරී ප‍්‍රකාශනවලට වැට බැඳීම

”කෙනෙකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකිවුවත් එම නිදහස අනෙකාගේ නාසය ළඟින් කෙළවර විය යුතුය’’ – හැරල්ඞ් ලැස්කි

නීතිඥ සමිත් කල්හාර ලියනගේ විසින් මීට කලකට පෙර සම්පාදනය කරන ලද ලිපියකි. කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා එය අප යළි ප‍්‍රකාශයට පත් කරන්නෙමු – ප‍්‍රධාන සංස්කාරක

වෛරී ප‍්‍රකාශ අපරාධමය වරදක් බවට පත්කිරීමට දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත සංශෝධනය කරමින් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් ද්විත්වයක් පිළිබඳව මේ දිනවල මාධ්‍ය කේෂ්ත‍්‍රයේ හා සිවිල් සමාජයේ ප‍්‍රබල කතාබහක් ඇති වී තිබේ. පසුගිය දිනක මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය අදවන විට දිනෙන් දින කල් යමින් පවතිනු දැකගත හැකිය. මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මාධ්‍ය කේෂ්ත‍්‍රය හා සිවිල් සංවිධාන මීට දැඩි ලෙස විරෝධය පෑමයි. ඒ අනුව අප විමසා බැලිය යුත්තේ සැබැවින්ම වෛරී ප‍්‍රකාශ අපරාධමය වරදක් බවට පත්කිරීම සමාජයට අවැඩදායකද ? නැතිනම් මෙය මවාගනු ලැබූ විරෝධයක්ද ? යන්නයි.

මෙහිදී සියලු දෙනා සාකච්ඡා කරන ප‍්‍රධාන කේෂ්ත‍්‍රයක් වනුයේ මානව හිමිකම් කේෂත‍්‍රයයි. මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනයේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 19 වැනි ව්‍යවස්ථාව මගින් ”බාධාවකින් තොරව සිය මතය දැරීමට, කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලබා ගැනීමට හා දීමට මෙන්ම නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට ද ඇති අයිතිය දක්වා තිබේ. ශ‍්‍රී ලංකාවද මෙම සම්මුතීන් අත්සන් කර පිළිගෙන ඇති අතර 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14:අ ව්‍යවස්ථාව හරහා භාෂණයේ, ප‍්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහස ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනය හරහා හදුන්වා හදුන්වා 14:1 ව්‍යවස්ථාව හරහා තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම ද පිළිගෙන තිබේ. ඒ අනුව බොහෝදෙනා තර්ක කරනුයේ මෙවැනි නීතියක් ගෙන ඒම හරහා මෙම අයිතිවාසිකම් ඛණ්ඩනය වන බවයි.

”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම 15 වැනි ව්‍යවස්ථාව මගින් භාෂණයේ, ප‍්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහසට සීමාවන් කිහිපයක් නිර්මාණය කර තිබේ. ඒ අනුව එම අයිතිවාසිකම් භුක්ති විදිය යුත්තේ ”වාර්ගික හෝ ආගමික සහයෝගීතාවය තහවුරු කිරීම පිළිබද නීතියෙන් නියම කරනු ලබන සීමාකිරීම්වලට යටත්වය''

නමුත් ඉහත අයිතිවාසිකම් කිසිවක් අනුලංඝනීය අයිතිවාසිකම් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම 15 වැනි ව්‍යවස්ථාව මගින් භාෂණයේ, ප‍්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහසට සීමාවන් කිහිපයක් නිර්මාණය කර තිබේ. ඒ අනුව එම අයිතිවාසිකම් භුක්ති විදිය යුත්තේ ”වාර්ගික හෝ ආගමික සහයෝගීතාවය තහවුරු කිරීම පිළිබද නීතියෙන් නියම කරනු ලබන සීමාකිරීම්වලට යටත්වය. එම ප‍්‍රතිපාදන මත පදනම්ව විමසා බැලීමේදී යෝජිත නීතිය එවැනි සීමා කිරීමක් නිර්මාණය කරන නීතියක් ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් තුළ පවා වෛරී ප‍්‍රකාශ තහනම් කළ යුතු බවට දක්වා තිබේ.

ශ‍්‍රී ලංකාව පාර්ශවකාරීත්වය දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 20 වැනි ව ව්‍යවස්ථාව තුළ සහ මෑත කාලීනව ලංකාව අත්සන් කළ සියලු ආකාරයේ වෙනස්කම් තුරන්කිරීම පිළිබද සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව තුළ දැක්වෙන ”වෙනස්කමකට, වෛරයකට හෝ සාහසික ක‍්‍රියාවලට පෙළඹවීමක් සිදුවන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශය පැතිරවීම නීතියෙන් තහනම් කළ යුතුය” යන ප‍්‍රතිපාදනයන් ප‍්‍රතිපාදනයන් එම ප‍්‍රවේශයන් නියෝජනය කරයි.

එසේම, උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 9.283 පරිච්ඡේදය තුළින් යෝජනා කර ඇත්තේ ”පසුගිය දශක හතරක් පහක් තිස්සේ ජනවාර්ගික අසංගතියේ මූලික ප‍්‍රකාශනය වුයේ ද්වේශ සහගත කතා මගින් ජනවාර්ගික, ආගමික ආතතිය සහ අසමගිය වර්ධනය වීම ය. එය වැළක්වීමේ නීති රීති තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුය” යනුවෙනි.

”පසුගිය දශක හතරක් පහක් තිස්සේ ජනවාර්ගික අසංගතියේ මූලික ප‍්‍රකාශනය වුයේ ද්වේශ සහගත කතා මගින් ජනවාර්ගික, ආගමික ආතතිය සහ අසමගිය වර්ධනය වීම ය. එය වැළක්වීමේ නීති රීති තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුය” LLRC

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාවේද සහය ඇතුව සම්මත වූ යෝජනාව තුළ ද ”සුළු ආගමික කණ්ඩායම් සහ වෙනත් සිවිල් සමාජ සාමාජිකයන් මෙන්ම ආගමික ස්ථාන ඉලක්ක කොට ගෙන ගිය ප‍්‍රහාරයන්ට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගැනීමටත්, එවැනි වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා අනාගතයේ එවැනි ප‍්‍රහාර ඇති වීම වැළැක්වීම සඳහා පියවර ගැනීමටත්, යෝජනා කර තිබු අතර එම යෝජනා ඉෂ්ට කිරීමක් ලෙස ද මෙම නීතිය හදුන්වා දිය හැකිය.

එමෙන්ම, යමෙකු වෛරී ප‍්‍රකාශ සිදුකිරීම තුළ සියලුම අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතීන් මගින් පිළිගෙන ඇති ආගමික අයිතිවාසිකම්, භාෂා අයිතිවාසිකම් මෙන්ම සංස්කෘතික අයිතිවාසිකම් ද ඛණ්ඩනයට ලක් වේ. අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස තහවුරු කර ඇති අතර 14:ඉ ව්‍යවස්ථාව මගින් ආගමක් ඇදහීමේ නිදහස ද 14:ඊ ව්‍යවස්ථාව මගින් සංස්කෘතිය භුක්ති විදීමේ සහ භාෂාව භාවිත කිරීමේ නිදහස ද තහවුරු කර තිබේ. ඒ අනුව යමෙකු වෛරී ප‍්‍රකාශයක් සිදුකරමින් තවත් අයෙකුගේ ආගමක්, සංස්කෘතියක් හෝ භාෂාවක් හෙළා දැක අදහස් පළකරන්නේ නම්, එවිට එම ආගමට, සංස්කෘතියට හෝ භාෂාවට අයත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඛණ්ඩනය වේ. එමනිසා එවැනි ප‍්‍රකාශ සිදු කිරීම වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණයක් ද අවශ්‍ය වේ.

විශේෂයෙන්ම ලංකාව වැනි බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික වටපිටාවක් ඇති රටකට මෙවැනි යාන්ත‍්‍රණයක් අත්‍යවශ්‍ය වේ. නිදර්ශනයක් ලෙස ඉන්දියානු නීති ක‍්‍රමය සලකා බලන විට ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19:1 ව්‍යවස්ථාව මගින් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිගෙන ඇති නමුත් 19:2 ව්‍යවස්ථාව හරහා එයට විවිධ සීමා කිරීම් පනවා ඇත. ඊට අමතරව ඉන්දියානු ව්‍යවස්ථාදායකය වෛරී ප‍්‍රකාශ තහනම් කිරීමට විවිධ නීති රාශියක් සම්මත කරගෙන තිබේ. ඒ හරහා ජනවාර්ගික විවිධත්වයක් පවතින ඉන්දියාවේ ගැටලුකාරී තත්ත්වයන් රාශියක් අවම කරගෙන තිබේ.

”අනෙක් අතට දීර්ඝ කාලයක් පුරාවට වර්ණ භේදවාදී ගැටුම් පැවති දකුණු අප‍්‍රිකාව තුළ සමානාත්මතාවය වර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ පනතේ 10:1 වගන්තිය තුළින් වෛරී ප‍්‍රකාශ තහනම් කර තිබේ”

අනෙක් අතට දීර්ඝ කාලයක් පුරාවට වර්ණ භේදවාදී ගැටුම් පැවති දකුණු අප‍්‍රිකාව තුළ සමානාත්මතාවය වර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ පනතේ 10:1 වගන්තිය තුළින් වෛරී ප‍්‍රකාශ තහනම් කර තිබේ. එසේම පුළුල් ප‍්‍රවේශයන් අනුගමනය කරමින් කැනඩාවේ සහ එක්සත් රාජධානියේ වාර්ගිකත්වය පමණක් නොව වර්ණය, කුලය, ආගම, ජාතිය, වාර්ගික සම්භවය, වයස, ස්ත‍්‍රී පුරුෂභාවය, ලිංගික සැකැස්ම හෝ මානසික හෝ කායික දුබලතා මත ඕනෑම සමාජ කොට්ඨාසයක් කෙරෙහි වෛරී ප‍්‍රකාශයක් සිදුකිරීම අපරාධයක් බවට පත්කොට තිබේ. කැනඩාව තුළ මිට ව්‍යාතිරේකයක් ලෙස සත්‍ය ප‍්‍රකාශයක් වීම, මහජන සංවාදයට බදුන් වන කාරණයක් වීම සහ ආගමික පදනම දක්වා තිබේ.

ලංකාවට ද මෙවැනි නීතියක අවශ්‍යතාව දීර්ඝ කාලයක් පුරාවටම දැනෙමින් පැවතුණි. මෑතකදී බේරුවල මුස්ලිම් ජනතාවට එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ මෙවැනි නීතියක් ඇතිකිරීමට විවිධාකාර ප‍්‍රයත්නයන් දියත් විය. නමුත් ඒ කිසිවක් සාර්ථක වුයේ නැත.

” මුහුණු පොතට එක්වන විට ඕනෑම පුද්ගලයෙකු එකඟ වන කොන්දේසි තුළ වෛරී ප‍්‍රකාශ සිදු නොකරන බවට වූ කොන්දේසියක් ද තිබේ. නමුත් එම කොන්දේසි නොතකමින් බොහෝ දෙනා අද වන විට මුහුණු පොත හරහා විවිධ වෛරී ප‍්‍රකාශනයන් නිකුත් කරනු දැකගත හැකිය”

විශේෂයෙන්ම වර්තමානයේදී අන්තර්ජාලය, මුහුණු පොත හරහා විශාල වශයෙන් වාර්ගික, ආගමික භේදබින්නතා ඇති වන ප‍්‍රකාශ නිකුත් වෙමින් තිබේ. මුහුණු පොතට එක්වන විට ඕනෑම පුද්ගලයෙකු එකඟ වන කොන්දේසි තුළ වෛරී ප‍්‍රකාශ සිදු නොකරන බවට වූ කොන්දේසියක් ද තිබේ. නමුත් එම කොන්දේසි නොතකමින් බොහෝ දෙනා අද වන විට මුහුණු පොත හරහා විවිධ වෛරී ප‍්‍රකාශනයන් නිකුත් කරනු දැකගත හැකිය.

වර්තමානයේදී යෝජිත නව නීතිය දෙස අවධානය යොමු කිරීමේදී දණ්ඩ නීති සංග‍්‍රහයට 291:ඇ යනුවෙන් නව ප‍්‍රතිපාදනයන් හදුන්වාදීමට යෝජනා කර තිබේ. එහිදී එම ප‍්‍රතිපාදනය සකස් කර ඇත්තේ ”යමෙකු වචන භාවිතයෙන් කතා කිරීම ලිවීම හෝ කියවීමට සැලැස්වීම හෝ සලකුණු මගින් හෝ වෙනත් ආකාරයකින් පන්තීන් අතර හෝ විවිධ වාර්ගික කණ්ඩායම් හෝ ආගමික කණ්ඩායම් අතර හෝ ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන ක‍්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජාතිභේදවාදී විරසකත්වයක් හෝ වෛරී හැඟීමක් හෝ එදිරිවාදිකමක් චේතනාන්විතව ඇතිකරන්නේ හෝ ඇති කිරීමට තැත්කරන්නේ නම් ඔහුටරැුඇයට අවුරුදු දෙකකට නොවැඩි දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ යුතුය” යනුවෙනි.

නමුත් මෙවැනි නීතිමය සංශෝධනයකින් තොරව වුව ද වෛරී ප‍්‍රකාශ වැළක්වීමට පවතින නීති තත්ත්වය වුව ද ප‍්‍රමාණවත් වීම සහ මෙවැනි නීතින්ගේ ප‍්‍රායෝගික භාවිතය පිලිබඳ පවතින අමිහිරි අත්දැකීම් මෙවැනි නීතියක වටිනාකම අභිබවා අදවන විට ඉස්මතු වී තිබේ.

මීට අමතරව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 135 වගන්තිය ද ඉහත ප‍්‍රතිපාදනය මත සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

නමුත් මෙවැනි නීතිමය සංශෝධනයකින් තොරව වුව ද වෛරී ප‍්‍රකාශ වැළක්වීමට පවතින නීති තත්ත්වය වුව ද ප‍්‍රමාණවත් වීම සහ මෙවැනි නීතින්ගේ ප‍්‍රායෝගික භාවිතය පිලිබඳ පවතින අමිහිරි අත්දැකීම් මෙවැනි නීතියක වටිනාකම අභිබවා අදවන විට ඉස්මතු වී තිබේ. ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 2:1:ඌ වගන්තිය යටතේ වර්තමානයේදී යෝජිත ප‍්‍රතිපාදනය එලෙසින්ම නීතිගත කර ඇති අතර එහි දඬුවම ලෙස දක්වා ඇත්තේ යෝජිත දඬුවමට වඩා ප‍්‍රබල අවුරුදු 5 ට නොඅඩු 20ට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් ලෙසය. ඒ යටතේ ජනමාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් මහතාව අවුරුදු 20ක බන්ධනාගාරගත කිරීමකට The Democratic Socialist Republic of Sri Lanka v. J.S.Tissainayagam (H.C. 4425/2008)  ලක්කළ අතර, දේශපාලඥයෙකු වූ අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගනිමින් ප‍්‍රශ්න කිරීමකට පවා ලක්කරනු ලැබීය.

එසේම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3:1 වගන්තිය මගින් ”කිසිම පුද්ගලයෙකු යුද්ධය පැතිරවීම හෝ ප‍්‍රචණ්ඩත්වයට, එදිරිවාදිත්වයට හෝ වෙනස්කමකට පෙළඹවීමක් ඇතිකරවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් ඇතිකිරීම නොකළ යුතුය” යනුවෙන් දක්වා ඇති අතර එවැනි වරදක් සිදුකිරීම, සිදුකිරීමට තැත් කිරීම, එවැනි වරදකට ආධාර අනුබල දීම සහ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කිරීම පවා වසර 10 කට නොවැඩි කාලයක් බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කළ හැකි වරදක් බව දක්වා තිබේ.

මීට අමතරව දණ්ඩ නීති සංග‍්‍රහයේ 291:අ වගන්තිය මගින් ”යම් තැනැත්තෙකුගේ ආගමික හැගීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමෙකු යම් වචනයක් කීම, ශබ්දයක් කිරීම හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කිරීම, අභිමුඛයේ යම් ද්‍රව්‍යයක් තැබීම සහ 291:ආ වගන්තිය මගින් ” යම් පන්තියක ආගමික හැඟීම් කෙළසීම සදහා ඒකාන්ත හා ද්වේශ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණවලින් එකී පන්තියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කිරීම හෝ නින්දා කිරීමට තැත් කිරීම” අපරාධයන් බවට පත්කර තිබේ.

මේ නිසා මෙවැනි නීතියක් ගෙන ඒම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් නොවුව ද පවතින නීතියක් වෙනත් ආකාරයකින් මතු කිරීමක් බව හදුනාගත හැකිය. මෙතෙක් පැවති මෙවැනි ආකාරයේ නීති දේශපාලන පළිගැනීම් සදහා යොදාගත් සන්දර්භයක මෙවැනි තවත් නීතියක් හදුුන්වා දීමෙන් ප‍්‍රයෝජනයක් නොමැති බව සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් 93 දෙනෙකු සහ සිවිල් සංවිධාන 10ක් ඒකාබද්ධව ප‍්‍රකාශයක් නිකුත් කරමින් දක්වා තිබේ.

”ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද 2015.12.15 වැනි දින අගමැතිතුමාට ලිපියක් යොමුකරමින් මෙම සංශෝධන කෙටුම්පත් ඉවත් කරගන්නා ලෙසත්, ඒ වෙනුවට පවතින අනෙකුත් නීති හරහා විශේෂයෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ ප‍්‍රතිපාදන යොදාගනිමින් වෛරී ප‍්‍රකාශ තුරන් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද 2015.12.15 වැනි දින අගමැතිතුමාට ලිපියක් යොමුකරමින් මෙම සංශෝධන කෙටුම්පත් ඉවත් කරගන්නා ලෙසත්, ඒ වෙනුවට පවතින අනෙකුත් නීති හරහා විශේෂයෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ ප‍්‍රතිපාදන යොදාගනිමින් වෛරී ප‍්‍රකාශ තුරන් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය. එමෙන්ම මෙම නීතියට විරෝධය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ද අදවන විට ඉදිරිපත් වී තිබේ. එම පෙත්සම් දෙක දමිළ ජන සමාජය නියෝජනය කරමින් සුඩර් ඔලි පුවත්පතේ සංස්කාරක අරූන් අරෝකියනාදන් මහතා විසින් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

අනෙක් අතට මෙහි ඇති ප‍්‍රබලතම ගැටලුව වනුයේ පන්තීන් අතර හෝ විවිධ වාර්ගික කණ්ඩායම් හෝ ආගමික කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන ක‍්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජාතිභේදවාදී විරසකත්වයක් හෝ වෛරී හැඟීමක් හෝ එදිරිවාදිකමක් ඇතිකරවන ක‍්‍රියා යන්නෙහි නිශ්චිත සීමාවන් දැකගැනීමට නොහැකි වීමයි. උදාහරණයක් ලෙස පසුගිය පාලන කාලය තුළ දී මෙවැනි නීතියක් ක්රියාත්මක වුයේ නම් බොහෝ දමිළ සහ මුස්ලිම් දේශපාලඥයන්ටත් දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළවුන්ටත් සිදුවනුයේ කල්දේරම් බත රස විදින්නටය. එහි අනෙක් පැත්තට වත්මන් පාලනය තුළ මෙවැනි නීතියක් ක‍්‍රියාත්මක වන්නේ නම් අද සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කථා කරන බොහෝ දෙනාට සිදුවනුයේ කල්දේරම් බත රසවිදින්නටය. එම නිසා මෙහි යටින් දිව යා හැකි සමාජ දේශපාලන බලපෑම ද අප අවබෝධ කරගත යුතුය. මේ පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත්කළ කැෆේ සංවිධානයේ ග අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා දැක්වුයේ ”මේ හරහා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වළදමනු ඇත. තිස්සනායගම්ලා දුසිම් ගණන් බිහිවනු ඇත. එදා මේ සංශෝධන තිබුණා නම් අපි සේරම හිරේ දාන්නේ මේ නීතිය පාවිච්චි කරලා” යනුවෙනි. ඒ හරහා මෙහි ඇති අවධානම් සහගතභාවය මැනවින් වටහා ගත හැක.

චීනයේ ප‍්‍රබල මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වූ පු ශික්යන්ව චීන කොමියුනිස්ට් පක්ෂය විවේචනය කරමින් ලිපි පළකිරීම පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබුවේ වාර්ගික වෛරය ඇතිකිරීමේ චෝදනාව යටතේය. එමනිසා මෙවැනි සිදුවීම් ඇතිවීමේ අවදානමක් පවතින ලංකාවට මෙවැනි නීතියක් කොතෙක් දුරට යෝග්‍ය ද යන්න සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුය.

ලෝක සන්දර්භය දෙස අවධානය යොමුකළ ද මෙවැනි නීතින් ක‍්‍රියාත්මක කිරීම තුළ විවිධ ගැටලූ ඇති වී තිබෙන බව දැකගත හැකිය. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙවැනි නීතියක් පදනම් කරගනිමින් Al-Jazeera නාලිකාව ඇමරිකාව තුළ තහනම් කරනු ලැබීම මෑත කාලීනව විශාල ආන්දෝලනයකට ලක් වූ අතර අවසානයේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තහනම ඉවත් කිරීමට නියෝග කරනු ලැබීය. එසේම චීනය, ඉරානය වැනි රටවල දේශපාලන විරුද්ධවාදීන් සහ අන් මත දරන්නන් මර්ධනය කිරීම සදහා ප‍්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ වෛරී ප‍්‍රකාශ පිළිබද නීතියයි. පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ ප‍්‍රබල මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වූ පු ශික්යන්ව චීන කොමියුනිස්ට් පක්ෂය විවේචනය කරමින් ලිපි පළකිරීම පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබුවේ වාර්ගික වෛරය ඇතිකිරීමේ චෝදනාව යටතේය. එමනිසා මෙවැනි සිදුවීම් ඇතිවීමේ අවදානමක් පවතින ලංකාවට මෙවැනි නීතියක් කොතෙක් දුරට යෝග්‍ය ද යන්න සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුය.

එම නිසා අප පළමුවෙන් සිදුකළ යුතුව ඇත්තේ වෛරී ප‍්‍රකාශ තහනම් කිරීම උදෙසා පවතින නීතින් විධිමත් කිරීමයි. ඉන් අනතුරුව එම නීතින් දේශපාලන වශයෙන් අවභාවිත කිරීමට ඇති ඉඩකඩ වැළක්විය යුතුය. එසේම විශාල වශයෙන් මේ රට තුළ සිදුවන ආගමික වෛරයන් වැපිරවීම් වැළක්වීමට පියවර ගත යුතුය.

නැතිනම් තවත් සිවිල් යුද්ධයකට අප මුහුණ දෙන දිනය වැඩි ඇතක නොවිය හැක. එසේ සිදුනොකර තවත් නීතිමය සංශෝධන ගෙන ඒම පළක් නොමැති ක‍්‍රියාවක් වේ. ඒ බව දක්වමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසුරිය මහතා ප‍්‍රකාශ කළේ ”අපට දැන් අවශ්‍ය වනුයේ නීතිය බලාත්මක කරන ආයතනයන්ගේ සහ නීතිය බලාත්මක කරන ආයතනයන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආඥාවන් ලබාදෙන පුද්ගලයන්ගේ කැමැත්ත පමණයි” යනුවෙනි.

නීතිඥ සමිත් කල්හාර ලියනගේ

Recommended For You

About the Author: Editor