සහරාන් ජීවිතක්ෂයට පත් වූ බව නිසැකව තහවුරු කර ගන්න DNA පරීක්ෂණයක්

මොහොමඞ් සහරාන් නිශ්චිතව මියගිය බව තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ සහෝදරයන් දෙදෙනාගේ, සහෝදරියගේ සහ දියණියගේ DNA සමග පරීක්ෂණයක් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව හෙළි කෙළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

‘‘මොහොමඞ් සහරාන් පිළිබඳව පුවත්පත් කිහිපයක නොයෙකුත් මත පළ කරලා තිබුණා. විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත CCTV දර්ශන ආශ‍්‍රයෙන් සිදුකළ විමර්ශන මත මොහොමඞ් සහරාන් මිය ගිය බවට විමර්ශනයේදී සඳහන් වෙලා තිබෙන බව සඳහන් කළ යුතුයි.

මේ බව තව දුරටත් තහවුරු කරගත හැකි වන්නේ DNA පරීක්ෂණයකින් පමණයි. මේ වන විට සහරාන්ගේ සහෝදරයින් දෙදෙනෙක් කල්මුනේ සයින්දමරදු ප‍්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ජීවිතක්ෂයට පත් වූ බව සැක කරනවා. ඒ වගේම සහරාන්ගේ සහෝදරියක් ද මඩකළපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ DNA සමග සහ මොහොමඞ් සහරාන්ගේ කුඩා දියණියගේ DNA සමග සහරාන්ගේ යැයි සැක කරන සිරුරෙන් ලබාගත් DNA පරීක්ෂා කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටිනවා. මෙම පරීක්ෂණ මගින් අපට අවසාන තීන්දුව නිශ්චිතව ලබා දිය හැකි’’ යැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor