නැකතට අනුතගවීම බෞද්ධ අපට කැපද ?

රඹුක්කන වල්ගම ශ‍්‍රී වර්ධනාරාමාධිපති, නවසීලන්තයේ ප‍්‍රධාන සංඝ නායක, වල්ගම මුනින්දවංස නාහිමිපාණන් වහන්සේ

‘‘නක්ඛත්ත යක්ඛභූතානාං
පාපගගහ නිවාරණා
පරිත්තස්සානු භාවෙන
සද්‍රසොත්ති භවංතු තෙ’’

ශ‍්‍රද්ධාවන්ත සත්පුරුෂ බුද්ධිමත් බෞද්ධ පින්වතුනි, පින්වතියනි, මෙම මේ ලිපිය මගින් ඔබගේ අවධානය යොමු කරන්නේ නැකතට අනුගත වීම බෞද්ධ අපට කැපද ? යන්නයි. මේ කාරණාවට නිසි පිළිතුරක් දීමට පෙරාතුව මේ පිළිබඳව ඊට අදාළ තවත් කාරණා කීපයක් මෙහිදී සාකච්ඡුා කළ යුතුව තිබෙනවා.

නියාම ධර්ම, කර්ම, හේතු – ඵල ධර්ම, අන්ත දෙක වැනි ප‍්‍රධාන ධර්ම කොටස් පිළිබඳව පැහැදිලි කිරීමක් පළමුව සිදු කොට ඒවා හා සසඳා බලා නැකතට අනුගතවීම අපට කැපද ? යන්න තීරණය කළ යුතුයි.

නියාම ධර්ම

‘නියාම’ යන වචනය අපට ඇසෙත් ම යම්කිසි නියමයක්, නියතයෙන් ම සිදුවීමක් පිළිබඳ හැඟීමක් හෝ අදහසක් ඇති වෙනවා. ඔව්, එක හරි. ලෝකයත්, ලෝක සත්ත්වයාත් ඇතිවීම හෝ පහළවීම පිළිබඳ යම්කිසි නීතියක්, ක‍්‍රමයක්, නැහොත් න්‍යායක් තිබිය යුතුයි. ‘නියාම ධර්ම’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඒ කාරණා බව අප විසින් හොඳන් මතක තබා ගත යුතුයි. ඒවා පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට මෙහිදී අවකාශයක් නැහැ.
නියාම ධර්ම පහ නම් මෙසේයි. එනම්, බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යනුවෙනුයි. අප ජීවත් වන මේ භූගර්භය මත පහළ වන සෑම ප‍්‍රාණියෙකු ම මේ කාරණා පහ අනුව පහළ වෙනවා. අප‍්‍රාණවාචි වස්තුවලට චිත්ත නියාමය පමණක් අයත් වන්නේ නැහැ.

මීළඟට අප දැන ගත යුතුයි මේ නියාම ධර්ම මත පිහිටා පහළ වන සත්ත්වයා හා සියලූම වස්තූන් පහළ වෙනවා පමණක් නොව එය විනාශ වනතුරුම එහි චිරස්ථිතිය සඳහාත් එම කරුණු පහ ඒ සත්ත්වයාට හෝ වස්තූන්වලට බලපාන බව. ලොව සියලූ සවිඥාන වස්තූන් අවිඥාණ ස්වභාව ධර්මයාගේ බලපෑමට යටත්ව ම පහළ වෙනවා. නියාම ධර්ම අතර ‘ධම්ම නියාම’ යනුවෙන් හතරවන අංකයට වැටී ඇත්තේ ස්වභාව ධර්මය යි.

කර්ම

බුදු සමයෙහි උගන්වන කර්මයට ලැබී ඇත්තේ නියාම ධර්ම අතර තුන්වන ස්ථානය යි.

‘‘කම්මං සතෙත විභජති – යදිදං හීනප්පණීයතාය’’කර්මයාගේ බලපෑම හේතුවෙන් සත්ත්වයා දුප්පත් – පොහොසත්, ලස්සන – අවලස්සන, මෝඩ – පණ්ඩිත ආදී තත්ත්වයන්ට බෙදෙනවා. ඒ කර්මයාගේ ප‍්‍රබල, දුබල තත්ත්වය අනුවයි. ඒ නිසා ‘සියල්ල සිදුවන්නේ කර්මයෙන් ’ යැයි තීරණය කළ නොහැකියි. එහෙත් සෑම තැනකදී ම කර්මයත් එක් පැත්තකින් බලා සිටින බව අප විසින් මතක තබා ගත යුතුයි.

මෙහිදී කර්මය පිළිබඳ කරුණු ස්වල්පයක් ම විසින් ඉදිරිපත් කරනු ලැබුවේ, මෙලොව එළිය බලන සතා උපදින වෙලාවට නකත් තරුවල බලපෑමක් තිබේද යන්න මතක් කරදීමටයි. දස මසක් මවගේ කුස තුළ හැදී වැඞී සිටන සත්ත්වයාට ඒ කුස තුළ ආලෝකයක් බාහිර ලෝකයේ වාතයක් හෝ ලැබෙන්නේ නැහැ. එහෙත් ඔහු බිහිවන මොහොතේ ආරම්භ වන හුස්ම ගැනීම, අත – පස සෙලවීම, ඇඬිම වැනි ක‍්‍රියා එතැන් පටන් ඔහු මිය යන තෙක්ම සිදුවෙයි.

මේ අයුරින් උපදින මිනිසාට හෝ සත්ත්වයාට ඉර – හඳ තාරකාවල යම්කිසි බලපෑමක් ඇති වෙනවාද යන්න මෙහිදී අප විසින් සලකා බැලිය යුතුයි. ඇත්ත වශයෙන් ම ඒ ග‍්‍රහ වස්තුවල බලපෑමක් අපේ ජීවිතවලට තිබෙනවා. එම ග‍්‍රහ වස්තුවල බලපෑම එක් එක් සත්ත්වයාට වෙන වෙන ආකාරයෙන් බලපානවා. හිරු එළිය වැඩිවීම හෝ සඳ එළිය වැඩිවීම, නැතහොත් පිනිබෑම, අව්වේ කරවීම බලපාන්නේ දෙදෙනකුට දෙයාකාරයකිනුයි. හතර දෙනකුට හතර ආකාරයකිනුයි. මේ බලපෑම තමා නක්ෂත‍්‍රය කියලා කියන්නේ. ඉර, හඳ, තාරකාවල බලපෑම සෑම වස්තුවකට ම සාධාරණයි. එසේ ම විවිධාකාරයි.

හේතුව හා ඵලය

බෞද්ධාගමික ඉගැන්වීම්වලට අනුකූලව ලොව සියල්ල සිදුවන්නේ යම්කිසි හේතුවක් මුල්කරගෙනයි. හේතුවක් නැතිනම් ඵලයක් ද නැහැ. හේතුව වවුද, ඒක හේතු වස්තු විරලයි. යමක් හෝ යමෙක් පහළ වීමට හේතු කිහිපයක් බලපාන බව බුදු සමයේ හේතු – ඵල වාදයෙහි පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් මිනිසාගේ පහළ වීමට ප‍්‍රධාන කාරණා තුනක් ඉවහල් වන බව බෞද්ධ පොතපතෙහි මෙසේ සඳහන් වෙනවා. ඒ,
‘‘මාතාව උතුනී හෝති – මාතා පිතුන්නං සංගමොහොති – ගන්ධබෙබාපි පච්චු පට්ඨිතො හොති ’’ යනුවෙනුයි.

‘‘මාතාව උතුනී හෝති’’ යනුවෙන් සඳහන් වන්නේ මව දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසු තත්ත්වයක සිටිය යුතු බවයි. එබඳු සුදුසු මවක් සමග සංගමය සිදුවිය යුතුයි. එයිනුත් කටයුත්ත සම්පූර්ණ වන්නේ නැහැ. එහි පිළිසිඳ ගැනීම සඳහා සුදුසු ගන්ධබ්බයෙක්, එනම් සත්ත්වයෙක් පැමිණ සිටිය යුතුයි. එවිට සත්ත්වයා මව්කුස පිළිසිඳ ගන්නවා.

මෙය ලොව තිබෙන ප‍්‍රධානත ම හේතුව සහ ඵලය යි. මිනිසාගේත් සත්ත්වයාගේත් සියලූ හොඳ නරක ක‍්‍රියාවන් හැම එකකට ම හේතුවක් තිබිය යුතුයි. අද මා මේ බණ කතාව කියන්නේ යම්කිසි හේතුවක් ඇතිවයි. අහේතු අප‍්‍රත්‍ය කිසිම දෙයක් ලෝකයෙහි නැහැ.

නැකත සහ නැකතට අනුගතව කටයුතු කිරීමත් එක්තරා හේතු ඵල ධර්මයක් වශයෙන් සඳහන් කළ හැකියි. එනම් යම්කිසි හේතුවක් නිසයි යම් කටයුක්තක් සඳහා නැකැත් හදන්නේ. එහි ප‍්‍රතිචාර දුටු අයයි එය දිගටම කරගෙන යන්නේ. මොනද ඔවුන් දුටු යහපත් ප‍්‍රතිඵල කියා යමෙකුට ප‍්‍රශ්න කළ හැකියි. එහෙත් එය ඇසට පෙනෙන දෙයක් නොවෙයි. ඒ නිසා එහි ප‍්‍රතිඵල පිළිබඳව යම් විස්තරයක් කළ නොහැකියි.

අප ජීවත් වන මේ ලෝකයේ සිදුවන දේවල්වලින් අපට පෙනෙන්නේ ඉතා ම ස්වල්ප කොටසක් පමණයි. ඉතා විශාල ප‍්‍රමාණයක් අදෘශ්‍යමාන ලෝකයේ පවතිනවා. අපට නොපෙනෙන නිසා එය නැතැයි කිවොත් එය නිවැරදි නැහැ. ඒ නිගමනය වැරදියි. අපේ ජීවිතය අපට පේනවාද ? නැහැ. පෙනෙන්නේ යම් යම් අංගඋපාංගවල ක‍්‍රියාකාරීත්වය යි.

ඔබ මේ ගැන හිතන්න. ඔබේ නිවසේ හෝ රෝහලේ ඔබේ ඥාතියෙක් රෝගාතුරුව සිටිනවා. ඔබ ඔහු සමග කතාකර කර ඉන්නවා. එවිට ම රෝගියා මිය යනවා. ඒ රෝගියාගේ ශරීර කූඩුව තුළ සැඟවී සිටි ආත්මය එම කූඩුව අතහැර යනවා. ඔබ දැක්කාද ? අන්න අර දොරකඩින් ගියා, අර ජනේලයෙන් ගියා කියලා කියන්න පුළුවන් ද ? කිසිසේත් නොහැකියි. කවරෙකුටත් එය කියන්න බැහැ.(ඒත් රහතන් වහන්සේලාට පුළුවන්) ඒ පුද්ගලයා එතැනින් කොහාට හෝ ගිය බව ඔබ දැක්කේ නැති නිසා ‘එයා කොහෙවත් ගියේ නෑ’ කියන්න ඔබට පුළුවන් ද ? බැහැ. ඔහු කෙහේ හරි ගියා.

ඇතැම් දේ අපේ ප‍්‍රකෘති ඇසට නොපෙනුණාට විකෘති ඇසට ඒවා පේනවා. ඒ කියන්නේ රූපවාහිනී, ගුවන් විදුලි යන්ත‍්‍ර වැනි තාක්ෂණික මෙවලම්වලට පේනවා. අපේ සියලූ කතාබහ, නැටුම් වැයුම් ලොව වායුගෝලයට එක් වෙනවා. ඒ සියල්ල අපට නොපෙනුනාට අප විසින් නිපදවා ඇති ඉහත සඳහන් භාණ්ඩවලින් ඒවා පේනවා. භාණ්ඩ ක‍්‍රියා විරහිත කළා ම ඒ නැටිලි ගැයිලි මොන ලෝකෙකට ගියාද ? ඒක කිසිවෙකුට කිව නොහැකියි.

ඒ ආකාරයට සලකා බැලීමේදී නැකතේ අදෘශ්‍යමාන බලයක්, ශක්තියක් ඇතැයි අපට සිතිය හැකියි. ක‍්‍රි.පු 6 වැනි සියවසේදී මුළුමහත් භාරතයෙන් අඩක් පමණ ජීවත් වූයේ හින්දුවරුනුයි. සුදොවුන් රජතුමාත් හින්දුවරයෙක්. සිදුහත් කුමරුගේ උපත, නම් තැබීම වැනි අවස්ථාවල බමුණන් ගෙන්වා නැකතට කටයුතු සිද්ධ කර තිබෙනවා. ඒ අනුව මේ නැකැත් ක‍්‍රම අනාදිමත් කාලයක සිට පැවත එන ඒවායි.

‘‘එතේන සච්ච වජ්ජේන සොත්ථි තෙ හෝතු සබ්බද්‍ර’’ කී විට එවලේම සුවයක් ලැබුණු බවක් පෙනෙන්නේ නැහැ. ඒ බලය, ඒ ශක්තිය පසුව දැනගත හැකියි.

නැකතින් සිදුකළ හැකි තවත් කටයුක්තක් තිබෙනවා. ඒ මිනිසා කලට වේලාවට නොවරදවා ඉතා සැලකිල්ලෙන් වැඩක් ආරම්භ කිරීම හා ඒ සම්බන්ධයෙන් විශාල චිත්ත ධෛර්යයක් ඇතිවීම හා තිර අදිටනක් සිත තුළ පහළ වීම යන කරුණුයි. නැකතට අනුව වැඩ කිරීම ආත්ම ශක්තියට පසුබිමක් වශයෙන් ද සැලකිය හැකියි.

අන්ත දෙක

ලොව පළමුවෙන් ම පහළ වූ ඉතාමත් වැදගත් අංග දෙක නම් සිරුරට පමණ ඉක්මවා සැපදීම, පමණ ඉක්මවා දුක්දීම යන අන්ත දෙකයි. මේ දෙකම අත්හළ යුතු දෙකක් ලෙස මුලින්ම අපට පෙන්වා දී ඇත්තේ. මීළඟට ගත යුතු දේත් ඒ සමග ම පෙන්වා දී තිබෙනවා. ඒ ‘මැදුම් පිළිවෙත’යි. මැදුම් පිළිවෙත හෙවත් මැදි පිළිවෙතේ ස්වභාවය තරාදියක් වගෙයි. තරාදිය බඩු කිරන වෙලාවටත්, නැති වෙලාවටත් සම මට්ටමේ තිබිය යුතුයි. කොයි මොහොතක හෝ එක පැත්තකට බර වුවහොත්, නැතිනම් පාත් වුවහොත් එතැන යම් වැරදීමක් සිදුව තිබෙනවා.

මෙහිදී මා මෙතරම් කරුණු ඉදිරිපත් කළේ ‘‘නැකතට අනුගතවීම බෞද්ධ අපට කැපද ?’’ යන ප‍්‍රශ්නයට පිළිතුරක් ලබාදීම සඳහායි. මගේ පෞද්ගලික මතය හෝ අදහස වන්නේ ‘‘නැකතට අනුගත වීම කැපය’’ යන්න යි. නැකතට අනුගත වෙනවා කියා අන්තවාදී විය යුතු නැහැ. දොට්ට පිළට යාමට, කෑමට බීමට, නිදා ගැනීමට ආදී සෑම තැනම නැකතට අනුගත වීමක් නැහැ. එය අන්තවාදයක්. අන්තවාදය නම් බුදු දහමට පටහැණියි. ‘‘නැකත්වලට වැඩ කිරීම කිසිම තේරුමක් නැති වැඩක් ’’ ය කියලා යමෙක් කියනවා නම් ඒකත් වැරදියි. එය අන්තවාදී නිගමනයක් වශයෙන් සැලකිය හැකියි.

‘‘නක්ඛතත යක්ඛභූතානාං – නක්ඛතතානි පුරක්ඛත්වා
නක්ඛත්තං පතිමා නෙත්තං – අන්ථෝ බාලං උපවව්ගා
අත්තො අත්තස්ස නක්ඛත්තං – කිං කරිස්සති තාරකා’’

මෙහි තේරුම වන්නේ, ‘තමන්ට නැකත තමන් ම ය. තාරුකා කුමක් කරන්නේ ද? ’ යන්නයි.

‘‘නැකතට හෝ තාරකාවලට කළ හැකි දෙයක් නැත’’ යන අදහසක්එම ගාථා පාඨයෙන් පෙන්නුම් කරයි. එහෙත් ඒ ලෞකික පුද්ගලයාට නොවේ. ලෝකෝත්තර පුද්ගලයාට නැකතින් හෝ තාරකාවලින් ප‍්‍රයෝජනයක් නැහැ.

මෙතනදීත් අපි අන්තවාදී නොවිය යුතුයි. රහත්ඵල ලබන තුරු කෙලෙස් සහිත මිනිසා ළඟ මේ චාරිත‍්‍ර ධර්ම තිබිය යුතුයි. කවර ක‍්‍රියාවක වුව ද යහපත් – අයහපත් ප‍්‍රතිඵල දෙකම තිබිය හැකියි. ඒවා නිසියාකාරව වෙන්කර හඳුනා ගැනීම බුද්ධිමතාට අයත් කාරියක් වශයෙන් සැලකිය හැකියි.

මේ පිළිබඳ තවත් බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල විස්තර කිරීමට මෙහි මීට වඩා අවස්ථාවක් නොමැති හෙයින් මේ කරුණු මෙතැනින් සමාප්ත කරමි.

අවසාන වශයෙන් මේ ගැනත් හිතන්න,

‘‘නාඤෙඤ අඤඤස්ස තාරකො
අත්තාහි අත්තනො නාථො
අත්තාදීපා විහාරථ
අත්ත සරණ අනඤ්ඤ සරණා’’

මේ පාඨයෙන් කියවෙන්නේ, ‘‘තමන්ට තමන් පමණයි’’ යන්නයි. එහෙත් එය සංසාර විමුක්තිය සඳහා යි. සසරින් ගොඩයෑමට සිත යොමු කරන පුද්ගලයාට මේ කිසිවක් අවශ්‍ය නැහැ. ලෞකික ජීවිතයේදී නැකතට අනුගතවීම අකැප යැයි නිගමනය කළ නොහැකියි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Recommended For You

About the Author: Editor