රටක පොදු නීතිය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි

පසුගිය වසරේ දිනෙක  අන්තර් නගර සීඝ්‍රගමී දුම්රියෙන් මහනුවර යමින් සිටියෙමි. අප වාඩි වී සිටි අසුන් වලට වම් පස අසුන් වල වාඩි වී සිටියේ කළු පැහැ අබායා හැඳ මුහුණු වසාගත් ස්ත්‍රින් දෙදෙනෙකු, වයස 8ක පමණ පරිමි ළමයෙකු කුඩා දැරියන් දෙදෙනකුය.  එක් ස්ත්‍රියක අත මාස 6ක පමණ ළදරුවෙකි. දරුවන් ඉංග්‍රිසියෙන් කථා කළහ. දුම්රිය පිටත්වූ මොහොතේ සිටම හඬන්නට පටන් ගත් ළදරුවා නලවන්නට ගැහැණුන් දෙදෙනාටම  බැරිය. කිරි බෝතලය කටේ ගැසුවද උරන්නේ නැත. මේ පැටියා තන කිරි බොන දරුවෙක්‍ බව වටහා ගන්නට මා හට වැඩි වේලාවක් ගත නොවූ අතර මුහුණු වසා ගෙන තන කිරිද නොදී දරැ පැටියා නලවන්නට පැයක් පමන සිට කරන උත්සාහය  මා හට බලාසිටින්නටම බැරිය.  ඔවුන් සමඟ හෙමිහිට කථා කල මා දරුවා නලවා දෙන්නට ඉල්ලූවෙමි. එවිට ටිකක් බලමු. එයා දැන් නිදා ගනී යයි ඇය කීවාය. එහෙත් දරුවා නැළවුණේ නැත. හුස්ම හිර වන තරමට හඬන දාඩයෙන් තෙත බරිත වී සිටි දරුවාව දෙවන වර ඉල්ලු විට අකමැත්තෙන් මෙන් මා අතට දුන් අතර මා  දරුවාගේ මුහුණ බලා ආදරයෙන් කථා කල විට නැලවී බෝතලයෙන් කිරි උගුරු කීපයක්  උරා බී නින්දට වැටුනි. 
                     

දරුවා නලවා ගන්නට බැරි වූ කාරණාව වටහා ගත් ඇය  බබා ගෙදරදි  මගේ කිරි  බොන්නෙ. මගෙ මූණ බලාගෙන තමයි කිරි උරන්නෙ ඒ අතර හිනා වෙනවා…… ඇයි මුහුණු ආවරණය උස්සල කිරි ටික පොවන්ත්න වත් බැරි යයි මා ඇසූ පැනයට මගේ කනට කර ඇය දුන් පිළිතුර වූයේ මම ඉස්සර මෙහෙම ඇන්දෙ නෑ.  මහත්තයගෙ බලකිරීම නිසයි මෙහෙම අඳින්නෙ. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලබමින් සිටි ඇයව වයස 15 දී වැඩි වයස් ව්‍යාපාරිකයෙකුට ඔහුගේ දෙවන භාර්යාව ලෙස විවාහ කර දෙනු ලැබ ඇත. 

මනුශ්‍යයෙකු ලෙස වන අනන්‍යතාවය හා බැඳුනු මුහුණ හරහා වන ප්‍රකාශනය මාස 6 ක පමණ කිරි දරුවකුට වුව ආරක්ෂාව පිළිබඳ වන සංවේදනයට අත්‍යාවශ්‍ය බව ඉහත සිද්ධියෙන් ඉතා පැහැදිළිව අවබෝධ කර ගත හැකිය. 

ඇය ළමයෙකුව සිටින අවධියේ දෙමාපිය ආදරය, රැකවරණය  අහිමි කර විවාහ කර දීම මඟින් සිඳු කර ඇත්තේ ජීව විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව විවාහයට සූදානම් නැති සහ තම ශරීරය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට තරම් දැණුම නොමැති, බුද්ධිය මුහුකුරා නොගිය  15 වියැති දැරියකව ලිංගික කර්තව්‍යයන් හා දරුවන් හැදීම සඳහා වැඩි වයස් පිරිමියෙකුට භාර කිරීමයි. ඇයට ළමා කාලය අහිමිව ඇත. ළමයෙකු ලෙස ඇයට ලැබිය යුතු සතරවිධ අයිතිවාසිකම් අහිමි කරනු ලැබුවා මදිවට අකමැති ඇඳුම් පැළදුම්, ඇවතුම් පැවතුම්, අඩංතේට්ටං වලට හුරු වීමට ඇයට සිඳුව ඇත. ඇයට ඉදිරියේදී තවත් දරුවන් ලැබෙනු ඇත. ස්වාමිපුරුශයාගේ කැමැත්ත මත තවත් භාර්යා සොයුරියන්ද ලැබෙන්නට පුළුවන. 


අපේ රටේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ වීමේ වයස අවුරුදු 18කි. වයස 18ට අඩු අය  නීතීය ඉදිරියේ ළමුන්ය. ළමයින්ට ළමයින් ලැබීම ඛේදවාචකයකි. ජනගහන විද්‍යාත්මකව බලන විටද දරාගත නොහැකි වන ලෙස ජනගහනය වැඩි වීමට එය එක් හේතුවකි. ළමා  මව්වරුන්ට දරුවෙකුට අවශ්‍ය නිසි රුකවරණය ලබා දීමට නොහැකි අතර එවැනි අයගේ දරුවන් මානසික සංකූලතා වලට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය. මව ව පියාට අයත්  ලිංගික භාණ්ඩයක් හා නිවසේ මෙහෙකාරියක් ලෙස දකින දරුවා සමානාත්මතාවය ඉගෙන ගන්නේ නැත. රටේ අන් අයට වෙනස්ව  තම  අම්මාට,  සොයුරියන්ට කළු අන්දවා මුහුණද ආවරණය කර තිබීම කුතුහලය හා සියල්ල ප්‍රශ්න කරන කුඩා දරුවා සාධාරණීකරණය කර ගත යුතුය. එය  එසේ කර ගන්නේ දේව කැමැත්ත හෝ වෙනයම් කල්පිතයක් හරහාය. මේ අතරම 18 වැනි සියවසේ ව්‍යප්ත කරන ලද වහාබ්වාදී  කපිතයන් මද්රාසා හෝ වෙනයම් ක්‍රමවේද හරහා දරුවාට ලැබෙනේ නම් වයස අවුරුදු අට දහය වන විට පිරිමි දරුවා වහාබි ඒක දේව වාදයට හා  පුරුශෝත්තම වාදයට දැඩිව ගොදුරු වේ. එවැනි පිරිමි දරුවන් තම අම්මාව හා සොයුරියන්ව පහත් කොට සැලකීමටත් ඔවුන්ව මනුශ්‍යයන් හැටියට නොව ගැහැණුන් පමණක් ලෙස දකින්නටත් උගනිති. ගැහැණු දරුවා ගැහැණු කමේ නාමයෙන් මේ සියල්ල දරා ගැනීමට උගනී. එම තත්වය එක්තරා ආකාරයක මොළ ශෝධනයකි.  තම අම්මාට මුහුණ නිරාවරණය කරන්නට, තමා කැමති පැහැයක, මෝස්තරයක ඇඳුමක් ඇඳින්නට අයිතියක් නොමැති බවත් ඇයට  එළියට යන්නට නම් කණ වැල අල්ලන්නවා සේ කුඩා කොළු පැටියෙකු හෝ වෙනත් අයකු සිටිය යුතු බවත් දරුවා  උගනී.  මේ අයුරින් දරුවා කුඩා අවධියේ සිටම ලේ කිරි කර පෙවූ, දසමස් කුස දැරූ අම්මාව තමාට වඩා පහත්ප මානවවෙකු ලෙස සැලකීමට පටන් ගනී. එම දැඩි මමත්ව වාදී ස්වෝත්තමවාදී(ඊගොඉස්ටික්) මානසිකත්වය  සමාජ බෙදුම්වාදයේ බෙදුම් රේඛාව මනසේ නිර්මාණය කරයි. මෙවැනි අය අන් ජාතීන් හා ආගම් සමඟ සහජීවනය ගැන කථා කිරීම ව්‍යාජයකි.

කෙතරම් උසස් අධ්‍යාපනයක් ලදද එය ලබනුයේ ඉහත කී ලෙස කුඩා කල සිටම මොළ ශෝධනය වූ  දරුවෙක් නම් සහ නිතිපතා අන්තර් ජාලය හරහා සහ විවිධ දේශනා හරහා එවැනි දැඩි අන්ත මූලධර්ම වාදී අදහස් ග්‍රහනය කර ගන්නේ නම් එවැන්නා අනෙකා පිළිබඳ සංවේදී නොවේ.

නිල ඇඳුම් හෝ ඒකමිතියක් සහිත ඇඳුම් භාවිතා කරනුයේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ සහ පූජ්‍ය පක්ෂයයි. ඊට අමතරව ගුවන් නියමු වැනි විවිධ රැකියා වල නිරත අයත් විවිධ වැඩ කටයුතු  සඳහා පහසුවටත් එම කර්තව්‍යයේ නිරත අය හඳුනා ගැනීම සඳහාත් විවිධ නිල ඇඳුම් හා ලාංඡන ආදිය භාවිතා කෙරේ. අධ්‍යාපන ආයතනද එසේය. 

ගැහැණු පිරිමි සෑම සත්වයෙක්ම  සෑදී ඇත්තේ මස්, ලේ, සම්, නහර, ඇට, ඇටමිදුලු වලින්ය. අනෙකුත් සත්ව කොට්ඨාශ වලට නොමැති සෘජු කොඳු ඇට පෙළක් හා දියණු මොලයක් මනුශ්‍යයාට ඇත. එවැනි දියුණු මනුශ්‍ය සමාජයේ සාමාන්‍ය  සිවිල් වැසියන් යයි හඳුවන්නේම ඔවුන් නිරායුධ නිල ඇඳුම් නොඅඳින පූජක වරුන්ද නොවන පිරිසක් නිසාමය. ඒ අනුව බලන විට සාමාන්‍ය මහජනයාගේ ඇඳුම්   පැළඳුම් පොදු ලෝක සම්මතයන්ට අනුව විලි වසා ගැනීම හැරෙන්නට කාලගුණික දේශගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වන්නට, ලස්සනට ප්‍රියමනාපව සිටින්නට වැනි අවශ්‍යතා කීපයකටය. මේ අනුව තමා ඇඳ පැළඳ ගත යුතු ආකාරය තීරණය කල යුත්තේ තම රුචි අරුචිකම් හා අවශ්‍යතාව අනුව මිස තමන් අහවල් ආගමික හෝ ජනවාර්ගික  කණ්ඩායමකට අයත් යයි ප්‍රදර්ශනය කරන්නට නොවේ. බැතිමතුන් පිරිත් නූල්, කුරුස යනාදිය පළඳින්නේ පෞද්ගලික රුචි අරුචිකම් මත මිස තමන් අහවල් ආගමේ යයි පෙන්වන්නට නොවේ. බෞද්ධයෝ විහාර මළුවේදී තොප්පි හා පාවහන් නොපළඳිති. ආගමික කටයුතු වලදී බහුතරය සුදු වතින් සැරසෙති. අටසිල් සමාදානයේදී උතුරු සළුව දමති. එහෙත් හැඳ පැළඳ සිටිය යුතු ආකාරය වර්ණය යනාදිය පිළිබඳව නියමයක් හෝ නියාමනයක් පූජ්‍ය පක්ෂය විසින් සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැත.  ක්‍රිස්තියානි කතෝලික ආගම් වලද එසේමය. 

පන්සිල්, දස පනත වැනි ගිහි ශික්ෂාවන් කඩන අයට විවිධ දණ්ඩන පැනවීම හෝ පන්සල් පල්ලි වලට කැඳවා එසේත් නැත්නම් පූජක පක්ෂය ඔවුන්ගේ නිවෙස් වලට ගොස් එවැනි ශික්ෂාවන් රකින ලෙස නියෝග කරන්නේ හෝ නැත. එසේ කරන්නේ නම් එම තත්ත්වය ආගමික පොලීසියක මුහුණුවර බව නොකිවමනාය. ගිහියන්ගේ ඇඳුම් පැළදුම් යනාදිය ඔවුන් විසින් නියාමනය කරන්නේ නම් එයද  එවැනි තත්වයකි. ඉරානය, ඇෆ්ගනිථානය වැනි රටවල් වලද පවා දැනට වසර තිහ හතලිහකට පෙර එවැනි අන්ත වාදී තත්වයක් තිබුණේ නැත.

18 වැනි සියවසේදී දේශනා කරන ලද වහාබ් සංකල්පයන් අනුගමනය කරමින් අන්ත ඒක දේවවාදය හරහා ජන සමාජයන් ඒකමිතික කිරීම 20 වැනි සියවසේ දී ආරම්භ විය. පසුව ඉස්ලාමික් ස්ටේට් සංකල්පයන් ද ලොව පුරා ප්‍රචලිත වන්නට විය.

ලොව පළමු මරාගෙන මැරෙන මෙහෙයුම 1944 දෙවන ලෝක යුධ සමයේ සිදු වූ අතර ඉන්පසුව මරාගෙන මැරෙන ප්‍රහාර ආරම්භ කරනුයේ 1987 දී එල් ටී ටී ඊ සංවිධානයයි. ඔවුන්ගේ ප්‍රහාර ලංකාවට හා කීපයක් ඉන්දියාවට  සීමා විය. මරාගෙන මැරෙන ප්‍රහාර කරුවන් ලෙස පුහුණු කරන්නට තෝරා ගනු ලැබුවේ ඥාතීන් ඝාතනය වීම, සමූහ දූෂනයට ලක් වීම වැනි  කිසියම්  බරපතල  අසාධාරණයකට ලක්වූ පුද්ගලයන්ය. ඔවුන්ට වසර කීපයක පුහුණුවක්ද ලබා දීමෙන් පසුව කළු කොටි ලෙස ඉලක්ක සඳහා යවනු ලැබිණි. එවැනි අයගේ මුළු ගණන 239 ක් විය. එහෙත්  ලෝකයේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන හා කටයුතු කරන එවැනි අයගේ සංඛ්‍යාව මෙතෙකැයි කියා කියන්නට නොහැක. එයට හේතුව ඔවුන් විශාල සංවිධාන ලෙස පමණක් නොව අන්තර් ජාලය හරහා ද මොල ශෝධනය වී තනි තනිව හෝ කුඩා කුඩා කණ්ඩායම් ලෙස ද කටයුතු කරනු ලැබීමයි. අනෙක් අතට විශාල ව්‍යාපාර, තෙල් සල්ලි, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා වෙළදාම, කළු සල්ලි, අති ප්‍රබල  දේශපාලකයන්  මෙකී ත්‍රස්ත ව්‍යාපාර සමඟ බද්ධව ඇත. එනිසා මර්ධනය ලෙහෙසි නැත. 

මෙතෙක් ලොව බිහිවූ ඉස්ලාමීය නොවන ත්‍රස්තවාදී ව්‍යාපාර බිහි වීමට හා ව්‍යප්තියට දේශපාලනික හේතු කාරනා පාදක විය. එහෙත් ඉස්ලාමීය ත්‍රස්තවාදය බොහෝ විට ඒක දේව විශ්වාසයක් හා බැඳුණු ස්වොත්තම වාදය දඩමීමා කරගෙන වර්ධනය වී තිබේ. වෙනත් ජනවර්ග බහුතරය සිටින රටවල ද ඉස්ලාමය අදහන ජනයාව ඉතා සූක්ෂම ලෙස වෙනස්ම ජන කොටසක් ලෙස සිටින තත්වයට පත් කර වෙනම සිටීමේ  අවශ්‍යතාවය අවධාරණය වන ආකාරයටද කටයුතු කරති.  උගතුන්, කෝටිපතියන් පවා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වන්නේ  මෙවැනි කරුණු නිසාය. ත්‍රස්ත වාදී කණ්ඩායම් වලට තම කණ්ඩායම හා තම මතවාදය හැරෙන්නට අනිත් සියළුම දේ වැරදිය. එනිසා තර්ජනය අනිත් සියලන්ටය. එවිට මධ්‍යස්ථ මතධාරී එම ජන  කණ්ඩායමේම ජනතාව එල්ල වන පීඩනය අති විශාලය.

සිවිල් මහජනතාවගේ පුද්ගලික නිදහස ආගමික නාමයෙන් හසුරා දමා අන් අය සමඟ මිශ්‍ර වීම වලක්වා ක්‍රිඩාවට, කළාවට, වින්දනයට තිබෙන ඉඩකඩ ද හසුරා ස්ත්‍ර‍හු බඩු භාණ්ඩ බවට පත් කර තිබෙන තත්වයෙන් ශ්‍රි ලාංකික ඉස්ලාමය ගැලවී යා යුතුය. අප රටතුල ඇති වඩාම සිත් ගන්නා සුළු ලක්ෂණය විවිධත්වයයි. විවිධ ආගමිකයන් හා ජන වර්ග වසර සිය දහස් ගණනක සිට මෙහි වෙසෙති. එක් එක් ජන වර්ගයා අතරද ආගමික කණ්ඩායම්ද අතරද අපමණ වෙනස් කම්ය. එය සම්පතකි. රටට ලස්සනකි. එහෙත් තම ස්ත්‍රින්ට කළු පැහැ බඩු භාණ්ඩ ලෙස සලකමින් සියළු ඉස්ලාම් ලබ්ධිකයන්ව සර්වාකාරයෙන්ම   ඒකමිතියකට ගෙනෙන්නට කරන උත්සාහය පරාජය කිරීම හරහා ඉදිරියේදී  ත්‍රස්තවාදීන් බිහිවීම සෑහෙන දුරකට අවම කරගත හැකි වනු ඇත.

අප විශාල චිත්‍රය දකින්නට උගනිමු. අප ගැහැණු හා පිරිමි නොව මනුශ්‍යයන්ය. අප බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි  නොව ශ්‍රි ලාංකිකය. අපව පාලනය විය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඒ මත පදනම් වූ නීති පද්ධතිය හරහාය. එසේ නොමැතිව එක් එක් ආගමික  ආයතන වල අවශ්‍යතා හා න්‍යාය පත්‍ර අනුව නොවේ.

ප්‍රියදර්ශනී ආරියරත්න

Recommended For You

About the Author: Admin