අපි අත්අඩංගුවට ගන්නේ සැකකරුවන් පමණයි: ඔවුන්ගේ පුද්ගලිකත්වය විනාශ කරන්න එපා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

”එදා විවිධාකාර හේතු මත අත්අඩංගුවට ගත් සැකකරුවන් සැබෑම වරදකරුවන් වුණා නම් අද ලංකාවේ දේශපාලන සිතියම මීට වඩා බොහෝ වෙනස් බව පමණක් අවසාන වශයෙන් ලියා තැබිය යුතුයි”

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මගින් ලබා දෙන අනිසි හා සාවද්‍ය ප‍්‍රචාරය හේතුවෙන් ජාතික ආරක්ෂාව සහ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් වන බව ආරක්ෂක අංශවල අදහසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින්නේ සැකකරුවන් 73 දෙනකුට ආසන්න පිරිසක් බව පොලිස් මූලස්ථානය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 54 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ද, 19 දෙනකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ ද රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මෙහිදී වැඩි දුරටත් වාර්තා වන්නේ මේ වන විට සිදුවීම් 7ක් පිළිබඳව ද රහස් පොලිසිය මගින් වැඩි දුර විමර්ශන සිදුකරමින් තිබෙන බවයි. මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ තමා වේ වන විට ඒකාබද්ධ මෙහෙයුම් සහ සෝදිසි කිරීම් (ශ‍්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද්ධ හමුදාව) මගින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් ගැනීම් ගැන සංඛ්‍යා ලේඛන ප‍්‍රසිද්ධ නොකරන බවයි.

‘‘මම එහෙම කරන්නේ හේතුවක් ඇතිව. යුද්ධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ද පොලිසියටයි රැගෙන එන්නේ. එතකොට එකම පුද්ගලයාව දෙවරක් ගණනය වෙන්න ඉඩ තියෙනවා. (යුද්ධ හමුදාව හා විශේෂ කාර්ය බළකාය විසින් ද තමන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළහොත්) ඒ වගේම මේ අත්අඩංගුවට ගන්නා සියලූම දෙනා වරදකරුවන් නොවෙයි. ඔවුන් සැකකරුවන් පමණයි. මේ අත්අඩංගුවට ගන්නා සියලූම දෙනාම ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බව කියන්න බැහැ. ඒ නිසා සාමාන්‍ය ජනතාව බියට පත් නොකළ යුතු නිසා මම දැන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන විට ප‍්‍රවේශම් වෙනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන ‘‘අත්අඩංගුවට ගන්නා සියලූ දෙනාම ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බව කියන්න බැහැ’’ යන්න අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සනාථ වන වාර්තා කිරීම් රැුසක් පසුගිය සති කිහිපය තුළ සිදුවිය.

උදාහරණයක් වශයෙන් මාධ්‍ය මගින් මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන් පසුගිය අපේ‍්‍රල් 28 වැනිදා රත්මලාන ප‍්‍රදේශයේ සිදුවීම දැක්විය හැකිය. එහිදී වෝකිටෝකි තොගයක් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ සැණෙන් එම පුවත මාධ්‍ය මගින් (සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය) විකාශනය කළ කරන ලදි. එහෙත් සවස් වන විට එම වෝකිටෝකි උපකරණ සහ සැකකරුවන් පොලිසිය විසින් නිදහස් කළේ, ඒවා නීත්‍යානුකූල බලපත‍්‍ර සහිතව තබා ගත් ඒවා වීම නිසාය. එහෙත් දවස පුරා මාධ්‍ය ආයතන විසින් විකාශනය කළ පුවත යළි නිවැරදි කිරීමක් රාත‍්‍රියේදී හෝ සිදු නොවීය. ඒ වෙනුවට එම සාවද්‍ය පුවතම යළිත් විකාශනය විය.

එවැනිම තවත් සිදුවීමක් පසුගිය 26 වැනිදා කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයෙන් වාර්තා විය. ඒ කොම්පඤ්ඤවීදියේ පල්ලියක නවාතැන් ගෙන සිටි තරුණයෙකු යුද හමුදා නිල ඇඳුම් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි. මාධ්‍ය මගින් සුවිශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් මෙම සිදුවීම සවස වන විට අවසන් වූයේ එම හමුදා නිල ඇඳුම් තොගය පියාගේ වෙළෙඳ සැලෙහි අලෙවි කිරීම පිණිස වෙනත් වෙළෙඳ සැලකින් මිලදී ගත් ඇඳුම් තොගයක් වීම නිසාය. සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා නිදහස් වුව ද මාධ්‍ය එම පුවත නිවැරදි කළේ නැත.

ආරක්ෂක අංශ සහ මෙම සිදුවීම් නිරීක්ෂණය කරන ස්වාධීන පුද්ගලයින් පවසන්නේ ඇතැම් ජාතික තලයේ විද්‍යුත් මාධ්‍ය සහ සමාජමාධ්‍ය මගින් මෙකී වරද නැවත නැවත සිදුවන බවයි. එය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දැඩි බලපෑමක් බව ඔවුන්ගේ අදහසයි.

මේ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ තවත් සිදුවීමක් මෙම ලියුම්කරු සමග ප‍්‍රකට භික්ෂූන් වහන්සේ නමක් විසින් ද හෙළි කළේය. එහිදී උන්වහන්සේ සඳහන් කළේ පිරිකර වශයෙන් භික්ෂූන් වහන්සේලාට ලැබෙන සිවුරු ආදිය පසුගිය කාලය පුරාම උන්වහන්සේලා විසින් මුස්ලීම් ජාතික ව්‍යාපාරිකයින්ට අලෙවි කළ බවයි. අද ඇතැම් තැන්වලින් හමුවන සිවුරු ආදිය එලෙස ව්‍යාපාරික අරමුණුවලින් මිලදී ගත් ඒවා විය හැකි බව ද උන්වහන්සේ පැවසූහ. ලංකාවේ පිරිකර ජාවාරම සිදුවන ආකාරය දෙස නිරීක්ෂණය කළ විට මෙම කතාව පහසුවෙන් පිළිගැනීමට හැකි බව ඕනෑම අයෙකුට වැටහේ.

මේ සමග වැටලීම් හා මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් (විශේෂයෙන් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්) රැගෙන නොයන ලෙසත්, එම සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් විකාශනය නොකරන ලෙස ඊයේ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ ඉල්ලීමට ඇතැම් විද්‍යුත් නාලිකා සහ විපක්ෂයේ දේශපාලනඥයින් දැක්වූ දැඩි විරෝධයයි.

එහෙත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ ආකාරයෙන් ජනමාධ්‍යකරුවන් සිදුවීම් වාර්තා කිරීම මගින් ආරක්ෂක අංශවලට ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවන බවත් ජනතාවගේ පුද්ගලිකත්වයට දැඩි බලපෑමක් ද එල්ල වන බවයි.

මෙහිදී ඇතැම් පොලිස් ස්ථානවල නිලධාරීන් වගකීම් විරහිත ලෙස ජනමාධ්‍යවේදීන් රැුගෙන ගොස් මෙහෙයුම් කරන බව නිරීක්ෂණය වී ඇතැයි කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේ මේ ආකාරයෙන් මාධ්‍යකරුවන් රැුගෙන ගොස් යම් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බවයි.

‘‘ මෙවැනි අවස්ථාවලදී පොලිසිය පැත්තෙන් ලොකු ප‍්‍රශ්නයක් වෙනවා. මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම්වලදී වීඩියෝ ගත කිරීම පැමිණිලි පාර්ශ්වයට (පොලීසියට හෝ යුද්ධ හමුදාවට) ලොකු අවාසියක්. ඒ නිසා පරීක්ෂණ ඉදිරියට ගෙන යන්න අමාරුයි. අනෙක් පැත්තෙන් අත්අඩංගුවට පත්වෙන අයගේ පෞද්ගලිකත්වයට ලොකු ප‍්‍රශ්නයක්. මිනිස්සු නිවෙස්වලට අඳින ඇඳුම්වලින් ඉන්නේ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අනවසරයෙන් කැමරා වෙනවා. සමහර සැකකරුවන් අත්අඩංගුවට ගනිද්දි හිටියේ යට ඇඳුම් පිටිනුයි. ඒ දර්ශන පවා ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කළා. ඔවුන් අත්අඩංගුවට පත් වුණත් ඔවුන් තාම සැකකරුවන්. ඒ නිසා අපි උපදෙස් දීලා තියෙන්නේ කැමරා කණ්ඩායම් රැගෙන යන්න එපා කියලා’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියන මේ කතා සම්පූර්ණයෙන් සත්‍ය බව පසුගිය කාලය තුළ අපි දකුණේ දී දුටු ඇතැම් අත්අඩංගුවට ගැනීම්වලදී අපූරුවට දැක්කා. එදා විවිධාකාර හේතු මත අත්අඩංගුවට ගත් සැකකරුවන් සැබෑම වරදකරුවන් වුණා නම් අද ලංකාවේ දේශපාලන සිතියම මීට වඩා බොහෝ වෙනස් බව පමණක් අවසාන වශයෙන් ලියා තැබිය යුතුයි.

Recommended For You

About the Author: Editor