බෝසත් ළමාකතා – 1: නන්දි විසාල ජාතකය

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර ‘බෝධි සත්ව’ අවධියේ සිදුවුණ කතා ‘ජාතක කතා’ කියලයි කියන්නේ. ඇතැම් විට ඒවට ‘බෝසත් කතා’ කියලත් කියනවා. ඒ කතා අතර බොහෝම වැදගත් බෝසත් කතාවක් තමයි ‘නන්දි විසාල’ ජාතකය.

අපි කවුරුත් කැමැති ප‍්‍රිය වචනයෙන් කතා කරනවාට. බණිනවාට, අවලාද කතා කියනවාට අපි කවුරුත්ම කැමැති නැහැ. අපි නොහිතුවාට සතුන් පවා බොහොම කැමැතියි ප‍්‍රිය වචනයෙන් කතා කරනවාට. නන්දි විසාල ජාතකයෙන් කියවෙන්නෙත් ප‍්‍රිය වචනයේ ඇති අගය ගැනයි.

අපේ බෝසතාණන් වහන්සේ එක්තරා කාලයක ගන්ධාර දේශයේ ගන්ධාර රජතුමා රාජ්‍යය කරන සමයේ ගොපළු ගෙයක ගව පැටියෙක් වෙලා උපත ලැබුවා.

මේ ගොපල්ලා අලූත උපන් ගව පැටියා දැක්කාම පුදුම වුණා. ඌ අනෙක් අයට වඩා බොහොම විශාලයි. ඒ වගේම බොහොම ශක්තිමත් බවත් පෙනුණා. ඒ නිසා ගොපල්ලා මේ ගව පැටියට ‘නන්දි’ කියලා නම තැබුවා.
නන්දි බොහොම ඉක්මනට හොඳින් වැඩුණා. ටික දවසක් යන කොට එයා ගව පට්ටියේ හිටිය ශක්තිමත් ගවයටත් වඩා ලොකු වුණා. ශක්තිමත් වුණා. නුවණක්කාර වුණා.

ඉතිං, නන්දි දකින ගොපල්ලට හරිම සතුටුයි. එයා නන්දි ගැන බොහොම සතුටු වුණා. ආඩම්බර වුණා.

‘‘නන්දි, මගේ පුතේ උඹ තමයි මේ අහල ගම් හතේම ඉන්න ශක්තිමත්ම එකා. ඒ වගේම උඹ හරිම නුවණක්කාරයි. උඹ නිසා මට කවදා හරි වාසනාව ලැබෙන බව නම් මට සහතිකයි’’ ගොපල්ලා හැමදාම උදේ හවස නන්දිගේ හිස අතගාමින් කිවුවා.

ඇත්ත තමයි. මේ ගොපල්ලා බොහොම දුප්පත්. පසුගිය කාලේ ගං වතුරට එයාගේ ගව පට්ටියේ හිටිය හොඳ වැස්සියෝ නැති වෙලා තිබුණේ. ඒ නිසා කිරි ලැබුණෙත් බොහොම අඩුවෙන්.

ඉතිං, ටික දිනක් යන කොට නන්දි තවත් විශාලව වැඩුණා. ගොපල්ලා විතරක් නෙමෙයි ගමේ අයත් නන්දිට ‘‘නන්දි විසාල’ කියන්න පටන් ගත්තා.

මේ අතරේ නන්දි කල්පනා කළේ තමන්ට දරුවකුට වාගේ සලකන ගොපල්ලාට උපකාර කරන්නේ කොහොමද කියලා. එයා තමන්ගේ ශක්තිය ගැන හොඳට දැන ගෙන හිටියා. ඒ නිසා හොඳ උපායක් කල්පනා කළා.

එදා උදෙත් ගොපල්ලා සුපුරුදු විදිහට ගව ගාලට ඇවිත් නන්දිට හොඳින් සාත්තු කළා. තමන්ගේ දුක කිවුවා.

‘‘පියාණෙනි, මට පුළුවන් ඔබට උපකාර කරන්න. ඔබ මං කියන විදිහට වැඩ කරන්න’’

නන්දිගේ කතාවෙන් ගොපල්ලා බොහොම සතුටට පත් වුණා.

‘‘මට උපකාර කරන්න. ඒක කොහොමද පුතා. මම කොහොමත්ම කැමැති නැහැ නුඹට ගැල්කරුවන්ට විකුණන්න ’’ ගොපල්ලා එක්වරම කිවුවා.

‘‘නැහැ මම කියන්නේ ගැල් ඇදලා නොවෙයි. මම එකවර ගැල් සියයක් අදින්නම්. ඇදලා ඔබට වස්තුව උපයා දෙන්නම් ’’

ඊට පස්සේ නන්දි මෙහෙම කිවුවා.

‘‘පියාණෙනි ඔබ වහාම ගන්ධාර සිටුතුමා හමුවට යන්න. එතුමා තමන් සතු ගවයින් ගැන හරිම ආඩම්බරෙන් ඉන්නේ. ඔහු විශ්වාස කරන්නේ තමා සතු ගවයින් තරම් ශක්තිමත් උන් මේ මුළු ගන්ධාරයේම නැහැ කියලා ’’

‘‘ඔව් පුතා මාත් ඒ ගැන අසා තිබෙනවා. ඒත් මා කුමක් ද කළ යුත්තේ ’’

‘‘ඔබ ගිහින් සිටුතුමාට මෙසේ කියන්න. සිටුතුමනි, ඔබතුමා ළඟ ගැල් සියයක් එකවර ඇඳිය හැකි ගවයෙක් සිටිනවා කියා නුවර වැසියන් කියනවා. ඒක ඇත්තක්ද ?. එවිට සිටුතුමා ඔබට මෙසේ කියාවි’’

‘‘ගැල් සියයක් අදින්න පුළුවන් ගවයෙක් ? නැහැ. එහෙම ගවයෙක් මේ මුළු ගන්ධාරයේම තියා සක්වල ගලවත් නැතිව ඇති ’’

‘එවිට ඔබ මෙසේ කියන්න. සිටුතුමනි, මා ළඟ නන්දි විසාල නම් ගවයෙක් සිටිනවා. ඔහුට එකවර බඩු පුරවන ලද ගැල් සියයක් ඇඳිය හැකියි’’

‘එවිට පුදුමයට පත්වන සිටුතුමා ඔබ මුසා පවසන බවත් එය සිදුවිය නොහැක්කක් බවත් පවසාවි. ඔබ එවිට මෙසේ කියන්න’’

‘‘මා කුමටද මුසා පවසන්නේ. මාගේ පුත‍්‍රයා හා සමාන නන්දි විසාලට එක ඉතා පහසුවෙන් කළ හැකියි. අවශ්‍ය නම් අපි ඔට්ටුවක් අල්ලා බලමු. මාගේ පුත‍්‍රයා හා සමාන නන්දි විසාලට එය කළ හැකි බවට මා මා සතු සියලූ වස්තුව ඔට්ටු අල්ලන්නම් ’’

ගොපල්ලා නන්දි කතාව විස්මයෙන් යුතු අසා සිටියා.

‘‘පුතේ එය කළ නොහැක්කක්. බඩු පිර වූ ගැල් සියයක්. එය කිසිවකු විශ්වාස කරාවි කියා මා සිතන්නේ නැහැ. ඔවුන් මාව පිස්සෙකු ලෙස සලකාවි ’’ ගොල්ලා අවසානයේ දුකෙන් කිවුවා.

‘‘මා බොරු නොකියන බව ඔබ දන්නවා. බොරු කීමේ ආදීනව මා හොඳින් දන්නවා. වහාම යන්න පියාණෙනි. ගිහින් ගන්ධාර සිටුතුමා හමුවී මා කී ආකාරයෙන් කරන්න. ඔබට වස්තුව හා ගෞරවය හිමිවනු ඇති බව මට සහතිකයි ’’

නන්දි කී දේ ගැන විශ්වාස කළ ගොපල්ලා ඒ මොහොතේම ගන්ධාර සිටුතුමා හමුවට ගියේය. නන්දි කී ආකාරයට කතා කළා.

‘‘මහළු ගොපල්ලා, නුඹ මුසා පවසනවා. ඒත් මා නුඹ ළඟ සිටින නන්දි කියන ගවයා ගැන කතා කතා අසා තිබෙනවා. ඒත් බඩු පිරවූ ගැල් සියයක් ඇදීම… ඒ කතාව මා තියා මේ මුළු ලෝකයේ ම කිසිවෙක් කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ’’

ගොපල්ලා දිගින් දිගටම කී නිසා අවසානයේ අභියෝගය භාර ගැනීමට ගන්ධාර සිටුවරයා තීරණය කළා.

‘‘මෝඩ ගොපල්ලා, නුඹ ගවයෙක් ගැන විශ්වාසයෙන් මුළු ජීවිතයම ඔට්ටුවට තබා වැනසෙන්න හදනවා නම් මට කළ හැකි දෙයක් නැහැ. හෙට උදෑසන හිරු ගෙන යාමයේ මහවාසල අභියස ඇති මාර්ගයට නුඹගේ ඔය ගව රජා කැඳවා ගෙන එනු. ඇවිත් ඔහුගේ ශක්තිය පෙන්වා ගැල් සියය පුරා පටවා ඇති භාණ්ඩ පමණක් නොව එම ගැල් පවා හිමිකර ගනු ’’

ගන්ධාර සිටුතුමාගේ කතාවෙන් ගොපල්ලා සතුටට පත් වුවත් ඔහුට නන්දිගේ ශක්තිය ගැන බියක් ද දැනුණේය. එනිසා ඔහු කණස්සල්ලෙන් යුතුව නිවසට ගොස් නන්දිට සිදු වූ සියල්ල කිවුවා.

‘‘පියාණෙනි, ඔබ කිසිවකට බිය වන්න එපා. මම ඔබට වස්තුව පමණක් නොව කීර්තිය ද ලබා දෙනවා. ඒක ඉරහද මෙන් විශ්වාසයි’’

පසුදිනට හිරු උදාවන විට මුළු ගන්ධාර දේශයේම ජනතාව මහ වාසල් දොරටුව අභියස මාර්ග දෙපස රැස්ව සිටියේය. ගන්ධාර මහ රජු ඇතුළු ඇමැති මණ්ඩලය ද ඒ අතර විය.

ගන්ධාර සිටුතුමා පොරොන්දු වූ ආකාරයෙන් ගැල් සියයක් පුරා බඩු පුරවා ඒවා එකිනෙක සම්බන්ධ කර තිබුණේය. නන්දිට කළ යුතුව තිබුණේ ඉදිරියෙන්ම වන ගැලේ බොල් ලීයට කරදීම පමණි.

උදෑසනම අවදි වූ ගොපල්ලා නන්දිට කෑම බීම දී ඔහුව මනාව සැරසුවේය. ඔහුට නන්දි පෙනුනේ දෙවිලොවින් පැමිණි ආකාරයෙනි.

‘‘පුතා නන්දි අද නුඹ මගේ දෑස් විශ්වාස කළ නොහැකි තරම් ලස්සනයි. අභිමානවත්. ඒ වගේම ශක්තිමත් බව පේනවා. මට නුඹව විශ්වාසයි’’

‘‘ඒ ගැන බිය නොවන්න පියාණෙනි. එසේ නම් අපි වහාම පිටත් වෙමු ’’

නන්දි හා ගොපල්ලා ඉක්මනින් මහ වාසල ඉදිරියට පැමිණියේය. පැමිණ සිටි මහ රජතුමා ප‍්‍රමුඛ ජනතාව දුටු ගොපල්ලා පුදුමයටත් භීතියටත් පත් වුණේය.

‘‘පුත නන්දි. නුඹට පේනවාද මහරජුත් පැමිණ සිටිනවා. අනේ මගේ පුතේ මේ මහළු ගොපල්ලාට නින්දා කරන්න නම් එපා’’ ගොපල්ලා ඇඬුම් ස්වරයෙන් කියා නන්දිගේ හිස පිරිමද්දා.

නන්දි දුටු මිනිසුන් පමණක් නොව මහරජු පවා පුදුමයට පත් වුණා. ගන්ධාර සිටුතුමා ගල්ගැසී බලාගෙන සිටියා.

නියමිත මොහොත පැමිණි විට අගමැති තුමා තරගය ආරම්භ කරන මෙන් විධාන කළා. ගොපල්ලා ගිහින් ඉදිරියෙන්ම තිබූ කරත්තයට නන්දිව බැන්දා.

‘‘හරි පුතා, දැන් මගේ ඉරණම නුඹ අතේ. අනේ මං පුතේ මාව බේරා ගන්න’’ ගොපල්ලා අවසානයේදී ද කන්නලව් කළා.

ගැල් ඉදිරියට අදින ලෙස අගමැතිතුමා විධානය දුන්නා. එක්වරම ඔල්වරසන් හඬ නැගුණත් තවත් මොහොතකින් මුළු පළාතම නිහඬ වුණා. මිනිසුන් ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා බලා සිටියා. ගොපල්ලා නන්දිගේ් මුහුණ දෙස බලාගෙන හිටියා.

මොහොතක් ඇස් පියා ගත් නන්දි ලය පුරා හුස්මක් ගත්තා. සියලූ ශක්තීන් යොදලා ගැල් ඉදිරියට ඇද්දා. ඒත් ඒක සෙලවුණේවත් නැහැ. මෙහෙම තත්ත්පර කිපියක් ගත වුණා. තවත් ටික වෙලාවකින් විනාඩියක් දෙකක් ගත වුණා. ඒත් නන්දිට ගැල් සියයට සෙලවීමටත් බැරි වුණා.

ටිකෙන් ටික පිරිස නොසන්සුන් වුණා. අවලාද කීම් ඇසුණා.

ගොපල්ලා සිහිය එලවා ගත නොහැකිව බලාගෙන සිටියා. දහඩියෙන් ඔහුගේ ගත පෙගී ගියා. හිස කැරකෙන්න පටන් ගත්තා. තවත් මොහොතකින් සිහිය එලවාගත් ඔහු නන්දි වෙත ගියා.

‘‘අනේ උඹ මාව විනාශ කළා. මට හිතන්න තිබුණා ගොනෙක් කියන දේ ගැන. මාත් ගොනෙක් වාගේ උඹව විශ්වාස කළා. දැන් මාව විනාශ වෙලා ඉවරයි’’

එසේ කිවූ ගොපල්ලා සිහිසුන්ව බිම වැටුණා. පිරිස නන්දිටත් ගොපල්ලාටත් අපහාස උපහාස කළා.

ගොපල්ලාට යළි සිහිය එන විට ඔහු අසල සිටියේ නන්දි පමණයි. මොහොතක් සිදු වූ දේ ගැන වටහාගත නොහැකිව සිටි ගොප්ල්ලාට පසුව සියල්ල සිහිවුණා. ඔහු තරහෙන් නන්දි දිහා බැලූවා.

‘‘පුතේ නුඹ මාව විනාශ කළා. දැන් ඉතිං මා කුමක් කරන්නද ? මා මේ ඇඳිවත පමණක් හිමි පිස්සෙක් බවට පත් වුණා. නුඹ ඇයි මෙලෙස මගෙන් පළිගන්නේ. මා නුඹට කළ වරද කුමක්ද ?’’

‘කිසිවක් වැරදී නැහැ පියාණෙනි, වරද කළේ නුඹ. මා ගැල් සියය ඇඳීමට අවසන් ශක්තිය ගත් මොහොතේ ඔඹතුමා කතා කළ ආකාරයට සිහියට ගන්න. ඇයි ඔබ එලෙස මා හට කතා කළේ. මම පසුගිය කාලය පුරා ඔබතුමාට කිසියම් වූ අලාභයක් කර තිබෙනවා. නින්දාවක් කර තිබෙනවාද ?’’

ගොපල්ලා දුකෙන් නන්දි දෙස බලාගෙන සිටියා. ඔහුට තමා කළ වරද වැටහුණා.

‘‘නැහැ පුතේ නැහැ. ඒත් දැන් ඒ කිසිවක් පළක් නැහැ. අපි දෙන්නම විනාශයි’’

‘‘අපි යළි උත්සාහ කරමු. උත්සාහ වන්තයාට කළ නොහැකි දෙයක් නැහැ. යන්න ඔබ දැන්ම යන්න. වහාම ගිහින් ගන්ධාර සිටුතුමා හමුවී මම ගැල් කැබලි පිර වූ ගැල් සියයක් ඇඳීමට සූදානම් බව පවසන්න. කෙසේ හෝ ඔහු දිනා ගන්න ’’

‘එහෙත් මා කුමක් නම් ඔට්ටු අල්ලන්නද ? මා සන්තක කිසිවක් නැහැ ’’ ගොපල්ලා දුකෙන් කිවුවා.

‘‘ඒ ගැන බියවෙන්න එපා. ගන්ධාර සිටුතුමා මා ඔට්ටුවට තබන ලෙස ඉල්ලාවි. ඔබ එයට එකඟ වෙන්න. යන්න වහාම යන්න’’ නන්දි කිවුවා.

‘‘නුඹට ඔට්ටුවට තබන්න. එය කෙසේවත් කළ නොහැකියි. කළ නොහැකියි’’ ගොපල්ලා ඇඬුම්බරව කිවුවා.

‘‘ඒ ගැන බිය නොවන්න. වහාම යන්න’’ නන්දි බල කළා.

ගොපල්ලා බියෙන් බියෙන් සිටු මැදුරට ගියා. එහි සේවකයෝ කිසිවෙක් ඔහුට ගණන් ගත්තේ නැහැ.

ඒත් සිටුවරයා ඔහු දුටු විට වහාම ඉදිරියට ආවා. ඇවිත් බොහොම කුළුපග විදිහට මෙහෙම කිවුවා.

‘‘ආ නුඹ ආවද ? නුඹ සතු සියලූ වස්තුව දැන් මා සතුයි. ඉතිං දැන් නුඹ මොකද කියන්නේ. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකිය. ඉතිං ගොනෙක් කොහොමද ඒක කරන්නේ ’’

‘සිටුතුමනි, මට තව එක් අවස්ථාවක් දෙන්න. මම ඔබට නන්දිගේ ශක්තිය පෙන්වා දෙන්නම් ’’

‘නුඹ ළඟ කිසිවක් නැහැ. ඉතිං කුමක්ද ඔට්ටුවට තබන්නේ ?’

‘‘ඇයි නන්දි. ඔහු බොහොම ලස්සන ගවයෙක්. මේ මුළු ගන්ධාරයේම එවැනි සෝබමාන ගවයෙක් නැතිබව ජනතාව කියනවා ඔබතුමාට ඇසෙන්න ඇතිනේ. ඉතිං තවත් වස්තුව මොකටද ? මම නන්දිව ඔට්ටුවට තබනවා’’ ගොපල්ලා විශ්සායෙන් යුතුව කිවුවා.

නන්දි දුටු මොහොතේ සිට සිටුතුමාට ඔහුව තමා සතු කර ගැනීමේ බලවත් ආසාවක් ඇති වුණා. ඔහු මසුරන් ලක්ෂයක් ගෙවා හෝ නන්දිව මිලදී ගැනීමට සිතමිනුයි සිටියේ. ඒ නිසා නොසිතූ ලෙස උදාවන වාසනාව ගැන සිටුතුමා දැඩි සේ සතුටට පත් වුණා. ඒත් ඒ බව නොසිතා කතා කළා.

‘‘ගවයෙකුගේ ලස්සන කන්නද ? පළක් නැති කතා නොකියා වහාම පිටවෙලා යනු ’’ සිටුතුමා බොරු තරහක් මවා පාමින් කිවුවා.

නන්දි උපදෙස් දුන් ආකාරයට ගොපල්ලා කෙසේ හෝ සිටුතුමාව යළිත් තරඟයක් සඳහා නම්මා ගත්තා.

‘‘හොඳයි අපි මොකටද තරඟය කල් දාන්නේ මේ මොහොතෙම එය කරමු’’ සිටුතුුමා කිවුවා.

සිටුතුමා සේවකයින් ලවා ගැල් සියයක් පුරා ගල් කැබලි පුරාවා මහ වාසල ඉදිරිපිට මාර්ගය ගෙන ආවා. මේ අපූරු තරගය ගැන යළි ඇසූ මහරජු ඇතුළු ජනතාව පුළුවන් තරම් ඉක්මනට මහවාසල අසලට පැමිණියා.

‘‘මේ මොන නින්දාවක්ද ? අපිත් ගොන්නු වාගේ ගොනෙක්ගේ හපන්කම් බලන්න ඇවිත් ’’ මිනිස්සු කතා වුණා. ඒත් යළිත් වරක් නන්දිව දකින්න ඔවුන් සියලූ දෙනාගේම ඇස් අසාවෙන් බලාගෙන හිටියා.

‘‘මම ආවේ නන්දිගේ හයිය බලන්න නෙමේ එයාගේ ලස්සන බලන්න. මම මුළු ජීවිතතේටම දැක්ක ලස්සම ගවයා තමයි මේ ’’ බොහෝ දෙනෙක් කිවුවා.

ඉක්මනට තරඟය ආරම්භ වුණා. නන්දි ගැල් සියය ඉදිරියෙන්ම වූ ගැලට කර දුන්නා. හැමෝගේම ඇස් ඒ දිහාට යොමු වුණා.

නන්දි පෙර ආකාරයෙන්ම මොහොතක් දෑස් පියා ගත්තා. ළය පිරෙන්න හුස්ම ගත්තා. එක්වරම ගැල ඇද්දා. ඒත් එක සෙලවුණේවත් නැහැ. මේ ආකාරයෙන් තවත් වරක් සිදුවුණා. ජනතාව අතර කසුකුසුවක් මතුවෙලා එය ඝෝෂාවක් බවට පත් වෙන්න ආසන්න වුණා.

ගොපල්ලා භීතියෙන් නන්දි දිහා බලාගෙන හිටියා. ඔහු බොහොම දුකෙන් නන්දි වෙත ගියා.

‘‘මගේ පුතේ නන්දි. නුඹ නුඹේ අසරණ පියාව අවමානයට පත් කරන්නේ නැහැ නේද රත්තරනේ. මට වස්තුව එපා. ඒත් මට නුඹව අහිමිකර ගන්න බැහැ පුතේ. ඒ නිසා මගේ හොඳ පුතා වගේ මේක අඳිනන් පුතේ ’’

ගොපල්ලා කඳුළු සලමින් කිවුවා. නන්දි මොහොතක් ගොපල්ලා දෙස බලා සිටියා. තවත් මොහොතක් ඇස් පියාගත් නන්දි ළය පුරාව ගත් සුසුමත් එකක් ගල් පිරවූ ගැස් සියයට ඉදිරියට ඇද්දා. ජනතාව අතරින් කෑගැසීම් මතු වුණා. ගැල් පෙළියට මොහොතක් සෙල වුණා. යළිත් ජනතාව අතර මීයට පිම්බාක් වැනි නිහැඬියාවක් ඇති වුණා.

‘‘එයා ඒක කරනවා. නන්දි ඒක කරනවා’’ ජනතාව මිමිණුවා.

‘‘හොඳ පුතා වගේ මේක ඉස්සරහට ඇදපන් දරුවෝ ’’ ගොපල්ලා කියන කොටම ගැල් සියය පණ ලැබුවා වාගේ ඉදිරියට ඇදුණා. පුළුවන් ගෝනියක් වාගේ සැහැල්ලූවෙන් නන්දි ගල් පිරවූ ගැල් සියය ඉදිරියට ඇදගෙන ගියා.

මුළු ගන්ධාරයටම පමණක් නොව දෙව් ලොවටත් ඇසෙන්න ප‍්‍රීති ඝෝෂා මතු වුණා. ඊට පස්සේ මහා සාදුකාරයකින් මුළු තුන් ලෝකයම නැහැවී ගියා.■

රචනය : තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor