ත‍්‍රස්තවාදීන් එල්ලන්න ඕනෑ නම් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කරලා දෙන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට ඇතැමුන් යෝජනා කළත් දැනට ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි නියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපාදන සලසා නැතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙ.ව. 11.0ට පමණ එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙන්න කියලා බොහෝ පිරිසක් යෝජනා කරනවා. ඒත් දැනට ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි දෙයක් සඳහා ප‍්‍රතිපාදන නැහැ. ත‍්‍රස්තවාදීන්ට දිය හැකි උපරිම දඬුවම තමයි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම. ඒත් අපි සම්මත කර ගැනීමට උත්සාහ කරමින් සිටින ප‍්‍රති ත‍්‍රස්ත පනත තුළ ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම පැනවීමේ ප‍්‍රතිපාදන තිබෙනවා’’

මෙහිදී යුද්ධ හමුදාව විසින් සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් ගැන ඇති වී තිබෙන ගැටලූ ගැන මාධ්‍යවේදීන් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති කිරිඇල්ල කියා සිටියේ,

‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රැඳවා තබා ගැනීමට හැකියාව තිබෙන්නේ පොලීසියට පමණයි. ඒ නිසා යුද්ධ හමුදාවට තමන් විසින් තනිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැහැ. ඒත් ප‍්‍රති ත‍්‍රස්ත පනත තුළ යුද්ධ හමුදාව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට එම බලතල ලබා දී තිබෙනව’’ යැයි ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාවෙන් පිට විදේශයක සිට ශ‍්‍රී ලංකාවට එරෙහිව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නිරතවන හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද දැනට ක‍්‍රියාත්මක වන පනත යටතේ ප‍්‍රතිපාදන නැතැයි කී ඇමැති කිරිඇල්ල ප‍්‍රති ත‍්‍රස්ත පනත තුළ ඒ සඳහා ද ප‍්‍රතිපාදන ඇතැයි සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor