නියමිත විනිසුරු මඬුල්ල නැති නිසා රංජන්ගේ නඩුව කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ල අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර නියමිත විනිසුරු මඬුල්ල සහභාගීවී නොතිබීම මත නඩු විභාගය ජූලි මස 29 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබේ.

පසුගිය අගෝස්තු මස 21 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව, මෙරට සිටින නීතීඥවරුන් සහ විනිසුරුවරුන් බහුතරයක් දූෂිත පුද්ගලයන් බව රංජන් රාමනායක මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැමිණිල්ල කැඳවීමට නියමිතව තිබූ අතර විජිත් මළල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතු සඳහා සහභාගීවී සිටි බැවින් නඩු විභාගය ජූලි මස 29 වැනිදා දක්වා කල් තබන බව සිසිර ද ආබෲ ,මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor