ලසිත් මාලිංගගේ අවසන් යෝකර් පන්දුව IPL ඉතිහාසය නැවත ලියයි

ඊයේ රාත‍්‍රියේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක් අත්කර දීමට මාලිංගගේ අවසන් යෝකර් පන්දුව සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එහිදී මුම්බායි පිල වෙනුවෙන් කිරාන් පොලාර්ඩ් ලකුණු 41ක් සහ කුවින්ටන් ඩි කොක් ලකුණු 29ක් රැස් කළා.

ජයග්‍රාහි ලකුණු 150 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි චෙන්නායි කණ්ඩායමේ පිතිකරුවන් සිය ලකුණු ලබා ගැනීමේ වේගය හොදින් පවත්වාගෙන පැමිණියත් ඔවුන්ගේ පළපුරුදු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ජස්පිට් බුම්රාහ් ඇතුළු පන්දු යවන්නන් සමත් වුණා.

ජස්පිට් බුම්රාහ් ඇතුළු පන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරත වුවත් ඒ වන විට ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක් වෙමින් සිටියා.

ලසිත් මාලිංග තම පළමු පන්දුවාර 03 තුලදී ප‍්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 42ක් ලබා දුන්නා.

අවසන් පන්දුවාර 02 ක තුලදී චෙන්නායි කණ්ඩායමට තරගයේ ජයග්‍රාහණය සදහා ලකුණු 18ක් අවශ්‍යව තිබු ණා . 19 වෙනි පන්දු ඕවරය පන්දු යවමින් බුම්රාහ් ලකුණු 09ක් පමණක් ලබාදුන් අතර එහිදී ඔහු බ්‍රාවෝගේ කඩුල්ල දවා ගනු ලැබුවේ අවසන් ඕවරයට ලකුණු 09ක ඉලක්කයක් ලබා දෙමින්ය.

අවසන් පන්දු ඕවරය යැවීමට යලිත් වරක් මාලිංග කෙරෙහි විශ්වාසය තැබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පන්දුව මාලිංග අතට ලබා දුන්නේ දැඩි විශ්වාසයෙන්. ඒ ඔහු තරම් හොඳින් සහ විශ්වාසනීය ලෙස ලෝකයේ කිසිම පන්දු යවන්නෙක් අවසන් පන්දු වාරයට නොයවන බව පොදුවේ පිළිගෙන තිබූ නිසයි.

රෝහිත් ෂර්මාගේ විශ්වාසය පළුදු නොකිරීමට වග බලා ගත් මාලිංග ඒ වන විට ලකුණු 80ක් ලබා ගෙන සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයමේ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් හා රවින්ද්‍ර ජඩේජාට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

මාලිංග විසින් යැවු පළමු පන්දු 03ට ලකුණු 4ක් රැස් කර ගත් චෙන්නායි පිතිකරුවන් යුගලය ඊලග පන්දුවේදී ලකුණු 2ක් රැස් කිරීමට ගත් උත්සාහයේදී වොට්සන් දුවද්දී දවා ගැනීමකට හසුවූ වුණා. ඉන් පසු පන්දුවේදී යලිත් ලකුණු දෙකක් රැස් කර ගත් චෙන්නායි පිතිකරුවන්ට අවසන් පන්දුවේදී ජයග්‍රහණය සදහා ලකුණු 02ක් අවශ්‍යවී තිබුණා.

සිය අත්දැකීම් මානව ප්‍රයෝජනයට ගත් මාලිංග අවසන් පන්දුව යෝකර් පන්දුවක් ලෙස එල්ල කරමින් චෙන්නායි කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව සුනුවිසුණු කර දැම්මා. ඒ ශ්‍රාදුල් ඨාකුර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්. එහි ඇති විශේෂත්වය වන්නේ තරගයේ ඔහු ලබාගත් එකම කඩුල්ල එය වීමයි.

අයි.පී.එල් වීරයා වූ ලසිත් මාලිංග මුම්බායි ඉරණම කරට ගත්තා සේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම අතට ගැනීම සඳහා මේ සමග එංගලන්තය බලා නික්ම යාමට නියමිතයි. මාලිංග ඔබට අපේ සුභ පැතුම්.

සටහන
කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor