ආහාර සහ මිත්‍යාව : ඇත්ත නැත්ත දැන ගනිමු

සෞඛ්‍යය සම්පන්න බව සුරක්ෂිත කිරීමටත්, මනා ජීවන තත්වයක් පවත්වා ගැනීමටත් හේතුවන සාධක බොහොමයක් ඇත. ඒ අතරින් ප‍්‍රධාන සාධකය වන්නේ පෝෂණයයි. මෙම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ ආහාර මඟිනි. ඒ නිසා ම අපි ආහාර ගැනීමේදි සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය වේ. අප ගන්නා ආහාර වල අඩංගු පෝෂ්‍යය පදාර්ථ තුළින් සිදුවන කාර්යයන් බොහොමයකි.

1 ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදීම.
2 ශරීරයේ ගෙවී යන කොටස් ආරක්ෂා කිරීම.
3 ශරීරය රෝගවලින් ආරක්ෂා කිරීම.

වර්තමානයේ ග‍්‍රාමීය – නාගරික, ධනපති – නිර්ධන, ස්ත‍්‍රී – පුරුෂ ආදි සියලූ සමාජ ස්ථර විභේදනයකින් තොරව බහුතරයක් දෙනා ආහාර ගැනීමේදි ස්වයං වාරණයක් පණවා ගනු ලබති. ඒ සඳහා ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ, සමාජය තුළ පෝෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මිත්‍යාවන් ය.

බොහොමයක් මිත්‍යාවන් සමාජගත වීම කෙරෙහි ගෝලීයකරණය, ජනමාධ්‍ය, ජනප‍්‍රිය සංස්කෘතිය, තරඟකාරී වෙළඳපොළ ආදී සාධකයන් බලපායි. තවද බොහෝ දෙනා පුරුදු වී තිබෙන්නේ කවුරුන් හෝ පුද්ගලයෙක් පවසන දෙය විශ්වාස කිරීමට ය. ඒ ආශ‍්‍රිතව ගොඩනැගෙන ආහාර රටාව තුළින්, පෝෂණ ඌණතා මෙන්ම ඇතැම් අවස්ථාවන්හි රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදුවීම ඛේදනීය තත්වයකි. ඒ නිසාවෙන් ම පෝෂණය පිළිබඳ විද්‍යාත්මකව තහවුරු නොවූ කරුණු පිළිබඳ අද මෙම ලිපිය තුළින් කතා කිරීමට බලාපොරොත්තු වේ.

පෝෂණය පිළිබඳ මිත්‍යා මත

පිරුණු ශරිරයෙන් යුතු පුද්ගලයින්ගේ පෝෂණ ගුණය යහපත් වේ.

මෙය බොහෝ දෙනා තුළ පවතින මිත්‍යා මතයකි. අනවශ්‍ය පරිදි පෝෂණයක් ලබා ගැනීම සහ ඇතැම් රෝගී තත්වයන්ට ලක් වූ විට ද ශරීරය විශාල විය හැකිය.

බිත්තර කහ මදය තුළ කොරොස්ටරෝල් අධික බැවින් එය හදවත් රෝගවලට හේතු වේ.

බිත්තර කහ මදය තුළ අඩංගු කොරොස්ටරෝල් ප‍්‍රමාණය වැඩි වුව ද ඒ තුළින් හදවත් රෝග ඇතිවන බව විද්‍යාත්මකව තහවුරු වී නොමැත. ඒ නිසා එය හදවත් රෝගවලට බල පාන්නේ නැත. නමුත් ඔබ දියවැඩියාවෙන් පෙළෙන අයෙකු නම් මේ තූළින් හදවත් රෝග වැළඳීමේ අවධානම පවතින බව සිහි තබා ගත යුතුය.

මාංශ ආහාරවලින් සිරුරට අවශ්‍ය සියලූම පෝෂණය ලැබේ

මාංශ ආහාරවලට අමතරව ශාකමය ආහාර වලින් වලින් ද ශරීරයට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලැබේ. නිදසුන් ලෙසට විටමින්. ඛනිජ ලවණ, ප්‍රෝටීන් ආදිය පෙන්වා දියහැකිය.

මිල අධික ආහාරවල පෝෂණ ගුණය ද ඉහළ වේ

ආහාරයක පෝෂණය මනිනු ලබන සාධක වන්නේ, සෞඛ්‍යාරක්ෂිත බව, පිරිසිදු බව සහ ප‍්‍රමිති සහගත යන කරුණු මිසක් මිල අධික වීම නොවේ. එසේම කෘත‍්‍රීම ආහාර, රසකාරක භාවිතයෙන් යුත් ආහාර ද පෝෂණ ගූණයෙන් හීනය.

කෝපි පානය නොකළ යුතුය. එය ශරීරයට අහිතකරය

කෝපි පානය කිරීම අහිතකර වන්නේ එහි අඩංගු කැෆින් නිසා ය. නමුත් බටහිර රටවල කෝපි පානය කිරීම දෛනික ජීිවිතයේ පුරුද්දක් කරගෙන ඇත. කෝපි පානය කිරීම තූළින් ලැබෙන වාසි ලෙසට, මානසික අවපීඩනය, දෙවන අදියරයේ දියවැඩියාව, පාර්කින්සන් ආදි රෝග වැළඳීමේ හැකියාව අවමවීම අදිය පෙන්වා දිය හැකිය.

ප‍්‍රමාණයෙන් විශාල පලතුරුවල පෝෂණ ගුණය ද වැඩිය

සෙල තුළ ජලය බහුතර පවතින විට හෝ වැඩි සෙල ප‍්‍රමාණයක් තුළින් පිම්බි විශාල වූ පමණට පලතුරුවල පෝෂණ ගුණය වැඩි නොවේ.

මවකගෙන් මුලින් ම වෑහෙන මව්කිරි කොටස දොවා ඉවත් කර පසුව මව්කිරි ලබා දිය යුතු වේ

කිරි දෙන මවකගේ මුලින් වෑහෙන කිරිවල අඩංගු කෙලෙස්ට‍්‍රම් තුළින් ඉතා අධික පෝෂණ ගුණයක් සහ ප‍්‍රතිශක්රණ ශක්තිය ද අඩංගුය. එබැවින් එය ඉවත් නොකොට අනිවාර්යයෙන් එය ඔබගේ දරුවාට ලබාදිය යුතුය.

රාත‍්‍රි කාලයට පළා වර්ග අනුභව නොකළ යුතුය

පලා වර්ග වලින් ලැබෙන පෝෂණ ගුණය ඉහළ බැවින් එය ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම පළා වර්ග දවසේ කුමන වෙලාවක ආහාරය ලබා ගත්ත ද එය ගැටලූවක් නොවේ.

කුඩා මාළුවල පෝෂණ ගුණයක් නොමැති අතර ප‍්‍රමාණයෙන් විශාල මාළුවල පෝෂණ ගුණයක් ඇත –

විශේෂයෙන් ම කුඩා මාළු ආහාරයට ගැනීමේදි එහි වූ කටු තුළ කැල්සියම්, සින්ක්, යකඩ වැනි ක්ෂුද්‍ර පෝෂක ශරීරයට ලැබෙන බැවින් කුඩා මාළු ආහාරයට ගැනීම වැදගත් වන අතර ප‍්‍රමාණයෙන් විශාල මාළු වල කටු ආහාරයට ගත නොහැකි බැවින් එම පෝෂණ ගුණය ලබාගත නොහැකි වේ.

තවද නිරෝගී ජීවිතයක් පතන ඔබ නිතර ක්ෂණික ආහාර මෙන්ම කෘත‍්‍රීම ආහාර වලට පුරුදු වී තිබීම අනුමත කළ නොහැකි කරුණකි. කෙසේ නමුදු ඔබගේ නිරෝගීත්වය උදෙසා මෙම මිත්‍යාවන්ගෙන් තොර පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගැනීමට ඔබ අද ම පුරුදු වන්න.

ප‍්‍රසාදිනි ජයලාල්

සැකසුම – ප‍්‍රසාදිනි ජයලාල්

    

Recommended For You

About the Author: Editor