මුස්ලිම් මැලේසියාවෙත් ලක්ෂ අටක බෞද්ධයෝ ඉන්නවා

සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු ලෝකයේ බුදු දහම රැකගෙන යන රටවල් ඇත්තේ අතලොස්සකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි පිරිසිදු ථේරවාදී බුදු දහම සදාකාලයට ආරක්ෂා කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ ය.

ථේරවාදී බුදු දහම ස්ථාපිත රටවල් අතර කාම්බෝජය, ලා ඕසය, තායිලන්තය, බුරුමය හා මැලේසියාව මුල්තැන ගනී. මැලේසියාවේ නේවාසිකව සිට වැඩම කරන ලද පොකුණුවිට සඳවිමල සෙනසුන් වාසී ශාස්ත‍්‍රපති පූජ්‍ය පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමිපාණෝ මැලේසියාවේ බුදු දහම පිළිබඳව මෙසේ විවරණයක යෙදුනාහ.

”මැලේසියාවේ ජීවත් වන 61% අතිබහුතරය මුස්ලිම් ජනතාවයි. 19.2% ක් චීන ජනතාව වන අතර 9.2% ක් ක‍්‍රිස්තියානි ධර්මය අදහනවා. හින්දු ජනතාව 6% කි. 1% ක් තාවෝ ධර්මය අදහනවා. ලක්ෂයක පමණ සික් ජාතිකයින් ද යුදෙව්වන් ටික දෙනෙක් ද මෙරට ජීවත් වෙනවා. ඔවුන් අදහන්නේ බහායි ආගමයි.

මා මැලේසියාවේ ක්වාලාලූම්පූර් සිට පිනෑං නගරයට වැඩියා. එහි වර්ගකිලෝමීටර් 293 පමණ භූමි ප‍්‍රමාණයකින් යුත් මෙහි ජනගහනය ලක්ෂ 7 1/2 ක් පමණ වෙනවා. මැලේසියාවේ පිනෑං ගොඩබිම හා දුපත් ප‍්‍රදේශවල මුළු ජනගහනය ලක්ෂ 15 ක් පමණ වෙනවා. එයින් ථේරවාදී බෞද්ධයින් ලක්ෂ 7 1/2 ක් පමණ සිටිනවා.

මැලේසියාව කියන්නේ රට මැද කඳු පිහිටා තියෙන හරිත වර්ණ ලස්සන රටක්. එ රටත් ලංකාව වගේම මුහුදින් වටවෙලා තියෙන්නේ. නමුත් තුන් පැත්තකින් පමණයි. ලංකාව පිහිටලා තියෙන්නේ සමකයේ අක්ෂාංශ 5 – 10 අතර මැලේසියාවේ උතුරු පිනෑං නගරයත් පිහිටලා තියෙන්නේ එ් අක්ෂාංශවලමයි. එ නිසා එහි භූගෝලීය ලක්ෂණ ලංකාවට සමානයි. තට්ටු 60 ක් පමණ වන උස ගොඩනැගිලි තිබෙන මෙම නගරයේ කෙළවරට වන්නට අඩි 2500 ක් පමණ උස කඳු පිහිටා තිබෙනවා. පිනෑං කඳු මුදුනේ 45% ක් පමණ දුරට කෝච්චියෙන් යන්න පුළුවන්.

මැලේසියාව සුදු ජාතිකයින්ගෙන් නිදහස ලැබුවේ 1957 දීයි. එ රට අපේ ලංකාවට වඩා බොහොම ධනවත්. අපේ රටේ එකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 ක් විතර වෙනවා. නමුත් පිනෑංවල එ්කපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 39,000 ක් පමණ වෙනවා.

මැලේසියාවේ පළමු වැනි පන්සල, මහින්දරාමය ඉදිකොට තිබෙන්නේ 1918 දීයි. එය ලංකාවෙන් පිටත ඉදිකළ පළමු විහාරයයි. පේ‍්‍රමරතන කියලා හිමිනමක් තායිලන්තයට ගොස් එනගමන් මැලේසියාවට පැමිණ තිබෙනවා. දැනට මහින්දාරාමය පිහිටා තිබෙන භූමියේ තමයි උන්වහන්සේ නතර වී තිබෙන්නේ. උන්වහන්සේගේ ධර්ම දේශනාවලට පැහැදුනු අය එය ඉඩම ශාසනයට පූජා කරලා පන්සලක් ද තනා දී තිබෙනවා. දැන් එහි භාවනා මධ්‍යස්ථාන ද තියෙනවා. මහින්දාරාමය ලංකාවෙන් පිටත පළමු බෞද්ධ විහාරය වුණත් 1789 දි කිරින්දේ ධම්මානන්ද හිමියන් ඊට කලින් පන්සලක් පටන් අරන් තිබුණා. නමුත් එහි ශ‍්‍රී ලංකාවේ හාමුදුරුවරු වැඩහිටියේ නැහැ. බෝධියක්, විහාර ගෙයක්, බුද්ධ ප‍්‍රතිමාවක් හා චෛත්‍යයක් පමණක් එහි පිහිටුවා තිබුණා.

මැලේසියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මැලේ නම් මුස්ලිම් විය යුතුයි කියලා නීතියක් තිබෙනවා. රාජ්‍ය ආගම මුස්ලිම් ආගම නිසා කිසිවෙකුටත් වෙනත් ආගම්වලට බැඳෙන්න ඉඩක් නැහැ. නමුත් වෙසක් දිනය මැලේසියාවේ ජාතික නිවාඩු දිනයක්. එමනිසා වෙසක් පොහෝදිනවලට මෙහි වෙසක් උත්සව පවත්වනවා.

පිනෑං නගරයේ සෙන්තුල් හි පිහිටි මහින්දාරාමය ලංකාවේ පන්සල් වගේමයි. ලංකාවේ හාමුදුරුවරු තමයි මහින්දාරාමයේ වැඩවසන්නේ. මහින්දාරාමයේ ලොකු හාමුදුරුවෝ කලින් වැඩසිටියේ ඉපෝ නගරයේ. චීන ජාතිකයින් වැඩිහිටි අය සඳහා මෙහි වැඩිහිටි නිවාසයක් ඉදිකොට තිබෙනවා. සතියකට දිනක් එහි වෛද්‍ය සායනයක් ද පැවැත්වෙනවා. පන්සලට සම්බන්ධ සමාජසේවා ආයතන, වෘත්තීය පුහුණු ආයතන ද තිබෙනවා. ආබාධිත අයට රෝද පුටු බෙදාදීම්, ලේ දන්දීම් ආදී සමාජසේවා වැඩසටහන් මෙහි සිදුකෙරෙනවා. වෙසක් සැමරුමේ දී හාමුදුරුවරුන් පිරිත් මණ්ඩපය සහිත වාහනයකින් වැඩම කරමින් පිරිත් පැන් ඉසිනවා.

මැලේසියාවේ මහායාන බෞද්ධයින් 19% ක් හා ථේරවාදී බෞද්ධයින් 18% ක් සිටිනවා. ථේරවාදී අපේ පන්සල් 5 ක් තියෙනවා. මැලේසියාවේ බුරුම හා තායි පන්සල් ද තියෙනවා. දකුණු ආසියානු කලාපයේ විශාලම පන්සල තියෙන්නේ පිනෑං නගරයේ. එහි තනා තියෙන බෝධිසත්ව රූපය ලංකාවේ බුද්ධ ප‍්‍රතිමා කලාවට නෑකම් කියනවා. මම මලක්කා නගරයේ පන්සලකටත් වැඩම කළා. එ රට පෘථිගීසීන් යටත් කරගෙන හිටිය රටක්. එහි තමයි තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය තැන්පත් කරලා තිබුණේ. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ තෙලක් පානය කරලා තිබුණ නිසා සිරුර නරක් නොවී තිබුණා.

ක්වාලාලූම්පූර්වල බ්‍රෙක්ෆීල්ඞ් මහින්දාරාමය ආදී සෑම බෞද්ධ විහාරස්ථානයකම වෙසක්, පොසොන් කාලෙට උත්සව පවත්වනවා.

හාමුදුරුවරුන්ට දානෙට බත් ලැබෙන්නේ ටිකයි. නූඞ්ල්ස් වැඩියි. මස්, මාළු, එළවළු ආදිය මේසයට තබලා මේසය පිටින්ම පූජා කරනවා. දානය පිළිගත්තා කියලා දැනුම් දෙන්නේ හාමුදුරුවරු මේසෙට අත තියලා දානය පිළිගැනීමෙන්. ඉන්පසු ඥතීන්ට පිං දෙනවා. මැලේසියාවේ විශාල චීන පන්සල් ද තිබෙනවා.

මැලේසියාවේ එක් විහාරස්ථානයක් තියෙනවා උළුකැටවල පවා නම් ලියාපු. එ නම් උළුකැට පූජා කළ අයගේ. එම පන්සලේ විශාල ඉබ්බන් සහිත විලක් ද තියෙනවා. චීන අවුරුද්ද එහේ සමරන්නේ රතුපාට බෝල එල්ලීමෙන්. මැලේසියාවේ රැකියා සඳහා සිංහල අය එනවා. ලංකාවට සම්බන්ධ දෙමළ අය ද කලාතුරකින් පන්සලට එනවා. චීන ළමයි දහම් පාසල් එනවා. හැමදාම හාමුදුරුවන් ලවා පිරිත් කියවා ගන්නවා. ඔවුන් උදේ, දවල්, රාත‍්‍රී ඕනෑම වෙලාවක එනවා. පිරිත් නූල් බැඳගන්නවා. පිරිකර වශයෙන් මුදල් ලබා දී යනවා.

ඇත්තටම මැලේසියාවේ බුදු දහම ක‍්‍රියාත්මක වන්නේ දැන් තමයි. මීට වසර 2500 කට කලින් බුරුමයට වැඩම කළ සෝනුන්තර හිමියන් තමයි මැලේසියාවට බුදු දහම රැුගෙන ගියේ. ඉන්පසු 15 වන සියවස දක්වා බුදු දහම එරටේ පැවතුණා.

පෘතුගාලයෙන් මැලේසියාවට ගිය රජකෙනෙක් මුස්ලිම් ආගමට ගොස් තිබෙනවා. මැලේසියාව මුස්ලිම් රටක් වුණේ ඉන් පසුවයි. ඊට පෙර මැලේසියාවේ හින්දු ආගම ද පැතිරිලා තිබුණා. පසුව මැලේසියාවට බුද්ධාගම පැමිණියාට පසු ලංකාවෙන් ගිය හාමුදුරුවරු ටික ටික බුද්ධාගම පතුරවන්න පටන් ගත්තා. මැලේසියාවට ආසන්නව පිහිටි ඉන්දුනීසියාවෙන් ද පිරිසක් පැමිණ බුද්ධාගම වැළඳගෙන තිබෙනවා. සිංගප්පූරුව තියෙන්නේ මැලේසියාව කෙළවරේ. මැලේසියාවේ සිට සිංගප්පූරුවට පාලමෙන් යා හැකියි. ක‍්‍රම ක‍්‍රමයෙන් මැලේසියාවේ බුද්ධාගම වැළඳ ගත් පිරිස වැඩි වුණා. තායිලන්තය, බුරුමය වගේ රටවල අයත් මැලේසියාවට පැමිණ බුද්ධාගම වැළඳ ගත්තා.

මැලේසියාවේ දේශගුණය ලංකාවේ වගේමයි. සතියකට දෙකකට වරක් වැසි වසිනවා. සීතල නැහැ. රස්නය වැඩියි. නමුත් එ රට අපේ ලංකාවට වඩා ඉක්මනින්ම දියුණු වෙනවා. එහි උසම යුගල ගොඩනැගිල්ලක් ද ඉදිකොට තිබෙනවා. මහල් 88 කින් යුත් එම ගොඩනැගිල්ලේ 41 වන මහලේ අනික් ගොඩනැගිල්ලට සම්බන්ධ වූ පාලමක් ද ඉදිකොට තිබෙනවා.

මැලේසියා රටෙන් භාගයක්ම තියෙන්නේ වෙනත් ¥පතක. මලයා අර්ධද්වීපයේ පන්සල් තියෙනවා. මැලේසියාවේ ¥පත්වල ඛනිජ තෙල් තියෙනවා. පිනෑං සිට ප‍්‍රධාන නගරයට කිලෝමිටර් 24 ක් දිග පාලමක් ඉදිකොට තිබෙනවා. බුරුමයේ බෞද්ධයින් 89% ක් ද තායිලන්තයේ 93% ක් ද ලා ඕසයේ 96% ක් ද කාම්බෝජයේ 90% ක් ද බෞද්ධයින් සිටිනවා.

කෝටි 733 ක් වන ලෝක ජනගහනයෙන් බෞද්ධයින් සිටින්නේ කෝටි 14 1/2 ක් පමණයි. ලෝකයේ අතිබහුතර ජනතාව අතරින් කෝටි 700 ක පමණ පිරිසක් තෙරුවන් සරණ ගිය අය නොවෙයි. මැලේසියාවේ වුණත් චීන, මැලේ සහ දෙමළ අය සිටිනවා. මැලේසියාවේ, මැංගුස්, රඹුටන්, මොර හා ගස්ලබු වවනවා. මැලේසියාවේ ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩත් මෝටර් රථත් නිපදවනවා. එ්වගේම සංචාරක කර්මාන්තය අතිනුත් මේ රට ඉදිරියෙන් සිටිනවා.

කෙසේ වෙතත් මැලේසියාවේ බුදු දහමේ ව්‍යාප්ති හා චිර ජීවනය උදෙසා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා.

මධුභාෂිණී සහන්ලෝචනා

Recommended For You

About the Author: Editor