ජාතික ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ නිල වාර්තාව : සාමයට බාධා කරන පුද්ගලයින්ට දැඩිව නීතිය

සාමයට බාධා කරන, නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළේය.

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකට සාමය ස්ථාපිත වෙලා තියෙනවා. ඒ සඳහා සහය දැක්වූ සැමට ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම සාමයට බාධා කරන, නීති විරෝධි ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් ඉන්නවා. ඔවුන්ට දැඩිවම නීතිය ක්‍රියාත්මක කරනවා.

පොලිස් මූලස්ථානය විසින් ස්ථාපිත විශේෂ ඒකකය මඟින් සමාජ මාධ්‍ය ජාලාවල සාමයට බාධා වන පරිදි සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිරතුරුවට පරීක්ෂාවෙන් ඉන්නවා. කිසියම් ආකාරයක එවැනි ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල සංසරණය වූවොත් ඒ පිළිබඳව මූලිකවම සොයා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා.

අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් සමඟ සම්බන්ධතා හා මුදල් ගනුදෙනු කළ සැකකරුවන් දෙදෙනෙක් හොරොව්පතාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් දෙදෙනා හොරොව්පතාන පොලිස් වසමේ පත්තෑව, කපුගොල්ලෑව ලිපිනයේ පදිංචිකරුවන් එක් අයෙක් නූර් මොහොමදු අද්දරසුල් හා අනෙක් පුද්ගලයා අබ්දුල් බජාර් නිබාම් යන පුද්ගලයින් දෙදෙනා රඳවා තබා ගෙන විමර්ශනය කරනවා.

හදිසි අවස්ථා නියෝග යටතේ දක්වා තියෙන ප්‍රතිපාදන මත යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතියෙකුට අදාළ පොලිස් ස්ථානයෙක් ලදු පතක් ලබා ගැනීමට අයිතියක් තියෙනවා. මේ පිළිබඳව හදිසි නීති රෙගුලාසි වල ප්‍රතිපාදන දක්වා තියෙනවා. පසුව එම ලදු පත එම පුද්ගලයා නිදහස් කිරීමෙන් අනතුරුව නැවත පොලිසිය වෙත භාර දිය යුතු වෙනවා.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor