ප්‍රෝටීන හිඟය සහ ග‍්‍රාමීය ආර්ථිකය ගොඩදාන්න මිරිදිය ධීවර කර්මාන්තය ගොඩදාමුද ?

මිරිදිය මාළු අනුභව පුරුද්ද රජ කාලෙටත් වඩා පැරණියි : ශාක භක්ෂක මිරිදිය මාළුන්ගෙන් ගමේ පෝෂණය ඉහළට: හානිකර මට්ටමකට බැරලෝහ  එකතු වෙනතුරු මාළුවා ජීවත් වෙන්නේ නෑ: මහ මුහුදේ හෙමිහිට වැඩෙන ‘ටූනා’ වර්ග තුළ රසදිය!

ඈතින් එන වාහනයකට වුවද කියවාගත හැකි තරමට ලොකු අකුරින් ලියූ පුවරුවක් පාර අයිනේ හරස් අතට තබා ඇත. “වැව් මාළු සමග ගමේ කෑම බුෆේ” තහඩුවේ ලියා තිබුනේ එලෙසිනි. වැකියට දැපනේ වැටුණු නවීන පන්නයේ මෝටර් රථ කීපයකුත්, යතුරු පැදි තුන හතරකුත් දැනටමත් ඒ අසලින් නැංගුරම් ලා ගෙනය.

බැදුණු වැව් මාළු සුවඳ අවටින් ඇවිද යන්නවුන්ගේද නාසයේ දැවටේ. බත් හා ව්‍යංජන බුෆේ වූවාට බැදපු මාළුවා නම් ලැබෙන්නේ සලාක ක්‍රමයට බව පෙනේ. “බෙදාගෙන කන්න” කියා අවන්හල ඇතුලේත් ලියා තිබුනාට බැදපු මාළුවා නම් ‘බෙදවාගෙන’ කෑ යුතුය. එහි තේරුම වන්නේ එක මාලුවෙකුගෙන් සෑහීමකට පත්විය යුතු බවකි.

අල්ලක් තරම් විශාල බැදපු කොරලියෙක් බත් පත මතට පැමිණ සිටී. රට වටේටම මහ මුහුදය. වෙරළ තීරයේ දිග පමණක් කිලෝමීටර 1585 කි. වර්ග කිලෝමීටර 26000 ක් වූ ගොඩබිම තුළද රල බිඳෙන තරමේ මිරිදිය ජලාශයන්ය. එවන් දේශයකදී අවන්හලකින් මුහුදුමාලු සමග බත් වේලක් කන්නට ගියහොත්, බොකුටු පිඟානේ කොත ගැසූ බත්පත සමග හපන්නට පුවක් කැබැල්ලක් තරමේ මාළු පියල්ලක් ලැබේ. ඒ දෙස බලාගෙන බත් කනවා මිස මාළු රසය තවරා තළුමැරීමට නම් ඉඩක් නැත.

පොතේ හැටියට කනවා නම් අඩු තරමින් වසරකට මාළු කිලෝග්‍රෑම් 24ක් වත් කෑ යුතු වුවත්, ඉන්දියන් සාගරයේ හුදකලා වූ මුතු ඇටයේ වෙසෙන්නන් කන්නේ කිලෝග්‍රෑම් 12-15 අතර ගණනකි. එනම් දිනකට ග්රෑම් 65 ක් පමණය. ඒ ටික කන්නේත් රුපියල් මිලියන 35,000 ක් වටිනා මත්ස්‍යය නිෂ්පාදන මෙට්‍රික් ටොන් ලක්ෂ එකයි කාලක් පමණ පිටරටිනුත් අරගෙන ඇවිත්ය. මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවල පාරිභෝජන අගය වසරකට ග්‍රෑම් 500 ක් තරමට නොහොත් දිනකට ග්‍රෑම් එක හමාරක් තරමට පහල ගොස් ඇතැයි ලියවුනු වාර්තා තිබියදී ලැබුණු මේ බැදපු කොරලියා නම් මා හට ප්‍රෝටීන් නිධානයකි.   

මීට දශක කීපයකට උඩදී “වැව් මාළු” වැනි යෙදුමක් මෙරටදී සුලභව භාවිතා නොවුණි. මිරිදිය මාළුන් හැඳින්වුයේ ගඟේ මාළු වශයෙනි. බයිසිකලයේ පිටුපස පෙට්ටියක් බැඳගෙන, ගම්බද පලාත්වල නිවෙස්වලට පැමිණෙන “මාළුකාරයා” ළඟ තිබුනේ ගඟේ මාලුය. අතින් අල්ලන කෙලවරේ සිට ඉවතට, කුඩාවුන්ගේ සිට ලොකු මාළු දක්වා ගොක්කොලයක ඇමිනූ මාලුවැල් ඔහු ළඟ තිබේ. වැලක බොහෝවිට ඉන්නේ එක වර්ගයක මාළු වන අතර වැලට මුදලක් ගෙවා ගන්නවා මිස බර කිරීමක් සිදුවූයේ නැත. “කටිල්ලා” නමැති මාළුන්ගේ වැලක් ගෙන කිරට පිසූ කල වහනය වන්නේ අපූරු සුවඳකි. හැම කටිල්ලෙකුගේම කුස තුළ කරවිල ඇටයක් තරමේ බිත්තරයක් තිබෙන්නේ කෙසේදැයි මා සිතට එදා නැගුනු ප්‍රශ්නය නම් තවමත් විසඳිලා නැත්තේය. පෙට්ටියේ සිටි ගඟේ ඉස්සන් ඒ වන විටත් සක්‍රියව ඒ මේ අත යමින් සිටී. ලූලා, මගුරා වැනි සතුන්ද බොහෝ විට පෙට්ටිය තුල ඉන්නේ පණ පිටින්ය. දශක හතරකට පමණ ඉහතදී, එනම් වැව්මාළු කතාවක් බිහිවන්නට පෙර මෙරට පැවතී මිරිදිය මාළු සංස්කෘතිය එසේය.

රට ඇතුලේ දිය කඩිති වලින් මාළුන් අල්ලාගෙන කෑම පැරණි ලාංකිකයාට තිබූ ආවේනිගත පුරුද්දක් මිස කවුරුවත් මෙහි පැමිණ පුරුදු කල සිරිතක් නොවේ. අතීත බෞද්ධයා වුවද, මහපොළොව මත සතුන් ඇතිකරමින් උන් මරාකෑම පිළිකෙව් කලත්, ජලයේ පිහිනන මසුන් ගොඩදැමීමට පසුබට වී නැත. 5 වෙනි සියවසේදී මෙහි පැමිණ ‘විසුද්ධිමග්ග’ රචනා කළ  බුද්ධඝෝෂ හිමියන් වාර්තා කර ඇත්තේ එකල ගැමියන් රජයට අයත් ජල මූලාශ්‍රයන්ගෙන් මසුන් අල්ලාගෙන විත්, තම නිවෙස් පිළිකන්නේ සෑදූ කුඩා පොකුණු තුළ උන් ඇතිදැඩි කරමින් අවශ්‍ය විටදී ආහාරය පිණිස යොදාගත් බවයි.

12 වෙනි සියවසේදී පොළොන්නරුවේ රජකම් කළ කීර්ති නිශ්ශංකමල්ල රජතුමා විසින් අඬබෙරකරුවෙක් පිටත්කර හරිමින් රටවැසියාට කළ විධානයක් ගැන රුවන්වැලිසෑය අසල ඇති ගල්කනුවක ඇති සටහනද මීට හොඳ සාක්ෂියකි. එතුමන් දන්වා ඇත්තේ නගරයේ සිට ගව් හතක දුරින් මෙපිට කිසිදු සත්ව ඝාතනයක් නොකළ යුතු බවත්, මහා ජලාශ 12 ක සිටිනා මත්සයින් ඇල්ලීමද තහනම් කරනා බවත්ය. බත බුලතින් සරුව තිබූ රජ කාලයේ පවා අපේ ඇත්තෝ දියමසට ලොල්වූ තරම මෙවැනි තහංචි හරහා පෙනීයයි.  

රොබට් නොක්ස් නම් බ්‍රිතාන්‍ය සංචාරකයාද රජුගේ අන පරිදි මහනුවර නගරයේ පොකුණුවල මාළු ඇතිකරවූ බව පෙන්වාදී තිබේ. එය නම් අනුභවයට නොව රජතුමාගේ සන්තුෂ්ඨිය වෙනුවෙන්ය. කෙසේ වෙතත් තවත් මෙකී නොකී වාර්තා රැසකින් අනාවරණය වන්නේ මත්ස්‍යය පාරිභෝජනය ආදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිමය හා සමාජමය අකටයුත්තක් ලෙස පිළිගෙන නොතිබූ බවයි.

මාළු අනුභවය රටක වත් පොහොසත්කම සමගද බැඳී ඇති බව පෙනේ. පෙර දිනක ලෝකයේ මස් පරිභෝජනය ගැන ලිපියක් ලියද්දී වැඩිපුරම ලියවුනේ පොහොසත් රටවල පරිභෝජන රටා ගැන වුවත්, මාළු අනුභවයෙන් නම් කප් ගසා සිටින්නේ ආසියාකරයයි.

වැඩියෙන්ම මත්ස්‍යය අනුභව වාර්තාව ඇත්තේ චීනුන්ටය. ඔවුහු වසරකට ටොන් මිලියන දෙකක් කනවිට ප්‍රධාන ආහාරය තරමටම මාළු කන මියන්මාරය (ටොන් මිලියන 1.5) දෙවැනි තැනට එත්දී, වියට්නාමය තුන්වැන්නා වී සිටී. ලැයිස්තුවේ පළමු රටවල් හයම ආසියාවෙන්ය. මියන්මාරයේ හමුදා පාලනයක් පැවති කාල වකවානුවේදී මත්ස්‍යය කර්මාන්තය බිඳවැටුණු අතර ඊට සාපේක්ෂව මන්ද පෝෂණයද ඉහළ යාම හරහා පෙනී ගියේ, එය කෙතරම් දුරට ඔවුන්ගේ ආහාර රටාව හා බද්ධව තිබුණාද යන්නයි.

තවත් සිත්ගන්නා සුළු තොරතුරක් වන්නේ එක පුද්ගල වැඩිම මාළු පාරිභෝජන වාර්තාවද ආසියාව සතුව තිබීමයි. ඒ මාලදිවයිනයි. පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 166 කි. එනම් මාලදිවයින් වැසියෙක් දිනකට මාළු රාත්තලක් ගිල දමයි. අඩුවෙන්ම කන අය සිටින්නේද ආසියාවේම වූයේ කෙසේදැයි සිතාගත නොහැකිය. ඇෆ්ගනිස්තානය මෙතැනට එන්නේ වසරකට ඒක පුද්ගල පාරිභෝජනය ග්‍රෑම් 100 ක් බව පෙන්වමින්ය. මේ කියන්නේ මාලදිවයින් වැසියෙක් විසින් ඇෆ්ගන් ජාතිකයෙක් වසරකදී කන මාළු ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් එක දිනකදී කන බව නොවේද!!     

“බොහොම ඉස්සර රට අභ්‍යන්තරයේ හිටපු ජනතාවට මුහුදු මාළු ලැබුනේ නැති තරම්. එකක් ප්‍රවාහන පහසුකම් අඩුයි. අනෙක මාළු කල් තබාගන්නා ක්‍රම දියුණු නෑ. ඒ නිසා කරදිය මාළු අනුභවය වෙරල ආශ්‍රිත ප්‍රදේශ වලටම සීමාවෙලා තිබුණ. රට ඇතුලේ වැඩිපුර කෑවේ ගඟේ මාළු. වැව් තැනූ යුගයට කලින් මේ මාළු හිටියේ ඇලදොළ ගංගා වැනි ගලායන ජල නිකේතනවල. අනිත් එක අතට අහුවෙන තරමට ලොකුවෙන ලූලන් වැනි මාළු වැඩිදෙනෙක් මාංශ භාක්ෂකයෝ. ඒ අය ලොකු වෙන්නත් කාලයක් යනවා.”

වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය කැලුම් විජේනායක

බැදපු වැව්මාළු වලින් සැරසූ ගමේ කෑම බුෆේ එකෙන් පසු මා ඔහුව සොයා ගියේ මෑත කාලයේදී අප අත්විඳි මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ උස්පහත් වීම් ගැන කරුණු දැන කියා ගන්නටය. ඔහු ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය කැලුම් විජේනායකයි. මිරිදිය ධීවර කර්මාන්තය ගැන පර්යේෂණ පවත්වමින් හා ඊට අදාළ තොරතුරු ජනනය කරමින් යා යුතු දිශාව පෙන්වීමට ඔහු ගන්නා උත්සාහය වචන වලට පෙරලිය යුතු සමය උදාවී තිබේ.

“දැන් අපි වැව් හැදුවනේ. ඒවට කොටු උනෙත් අර කියපු, හෙමින් වැඩෙන මාංශ භක්‍ෂක මාළු. වැව කියන්නේ නිසල තැනක්. අපේ මාළු එවැනි පරිසරයකට අනුවර්තනය වෙලා නෑ. ඒ නිසා ඒ අය ජලාශයේ එක කලාපයකට විතරක් සීමා වෙලා හිටිය. මිනිස්සු එතනට ගොහින් මේ සතුන් අල්ලා ගත්ත. හැබැයි වැවේ විශාල ප්‍රදේශයක් තිබුන ශාක ද්‍රව්‍ය වැවිල ඒත් ඒවා කන්න මාළු නැතුව. ඒ අනුව තමයි වැව් මාළු සංස්කෘතිය බිහිවෙන්නේ. ඒ කියන්නේ “වගා පාදක ධීවර කර්මාන්තය.” අපි මොකද කලේ, ඉක්මනට වැඩෙන ශාක භක්ෂක මාළු වර්ග ගෙනත්, ජලාශයේ අඩුවෙන් මාළු ගැවසුණු කලාපය ඒ අයට භාරකලා.”

පිටරටින් ගෙනැවිත් මාළු මුදාහැරීම ගැනද ශත වර්ෂයකට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබේ. සුද්දන් විසින් දහනම වෙනි සියවසේදී පවා යුරෝපයෙන් ගෙනා මත්ස්‍යය වර්ග හෝර්ටන් තැන්න වැනි පෙදෙස්හි ජලාශයන්ට දැමූ බවට වාර්තා ඇත. එහෙත් ඒ ඔවුන් සඳහාම මිස රට වෙනුවෙන් නොවේ. පරමාර්ථය වී ඇත්තේ විනෝදයට බිලීබෑමට මාළු ගහනයක් පොකුණු තුල බිහි කර ගැනීමයි.

1931 ට පසු වියලි කලාපයේ නැවත පදිංචිකිරීම, වාරි පද්ධති සකස්කිරීම ආදිය ඇරඹීමෙන් පසුව ආර්ථික දියුණුව ඇතිකිරීම උදෙසා බෝග අතරින් වී, මිරිස්, උක් ආදියට වැඩි අවධානය යොමුවූ අතර, මිරිදිය මත්ස්‍යය වගාවද කර්මාන්තයක් ලෙස හිස එසවීය. 1946 දී තිලාපියා සහ 1948 ආශ්‍රිතව කාප් යන මත්ස්‍යය වර්ග ලංකාවට හඳුන්වා දුන් පසු මිරිදිය ධීවර කර්මාන්තය ලොකු පිම්මක් පැන්න බව පෙනෙන්නට තිබේ. තිලාපියාගේ මොසැම්බික් වර්ගය පරාක්‍රම සමුද්‍රයෙන් හොඳ අස්වැන්නක් ලබාදුනි. එහි වූ මාළු රසය ලාංකිකයාගේ දිවට ගැලපුන බැවින්ද, ස්වාභාවිකවම ජලාශයේ සිටින තිලාපියා පැටවුන් බෝ කරන්නට පටන් ගැනීමද කර්මාන්තයේ ප්‍රවර්ධනයට ආශීර්වාදයක් වන බවක්ද පෙනුනි.

වාරකන් කාලයට වෙරළබඩ ධීවරයින් රට ඇතුලට ගෙන්වාගෙන වැව් ආශ්‍රිතව කඳවුරු බැඳගෙන ධීවර කර්මාන්තයේ යොදවන තරමට වැඩේ දුරදිග ගිය අතර 60 දශකයේදී වාරකන් නිමවූ පසුත් මේ අය ආපසු නොගිය නිසා ජන සමූහයන් අතර ආරවුල්ද පැන නැගුණි. 1970 දී වාර්ෂික මිරිදිය මාළු නිෂ්පාදනය වුයේ ටොන් 8000 කි. 1989 වනවිට එය ටොන් 40,000 ක් ව පැවතුනි. කර්මාන්තයට කණකොකා හැඬුවේ එතැනදීය. යම් බලපෑම් මත 1989 දී මිරිදිය මාළු කර්මාන්තයට කෙරෙන දිරිදීම් රජය විසින් නවතා දැමිණ. ගොඩනගාගෙන තිබූ අභිජනන මධ්‍යස්ථාන විසිතුරු මසුන් බෝකරන ස්ථාන බවට පරිවර්තනය විය. කිසිම වැඩකට ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් නැති රටේ මිරිදිය ධීවර කර්මාන්තයට තිබූ තහංචි 1997 වනවිට ඉවත්විය. ජලජීවී සංවර්ධන අංශයක්ද රාජ්‍ය අනුග්‍රහය ඇතිව ස්ථාපනය වී, නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 27250 ක් අගයක් අවට ගැවසුනත්, පෙර තිබූ තත්වයට නම් ආවේ නැත.

“වැව් මාළු ලෙස දැන් අපි කන්නේ තිලාපියා වැනි ශාක භක්ෂකයින්. ඒ කියන්නේ ආහාර දාමය නමැති දම්වැලේ මුල හරියේ පුරුක. මාස හයක් පමණ යනවිට සත්වයා පරිභෝජන මට්ටමට වැඩිලා. සත්ව මාංශ පරිභෝජනයේ කාර්යක්‍ෂම ක්‍රමවේදය තමයි ශාක භක්ෂකයින්ගෙන් තම අවශ්‍යතාවය සපුරා ගැනීම. ඒ අනුව කෙටි කාලයක් තුල තිලාපියා නිපදවීම ආර්ථිකවත්, පාරිසරිකවත් වාසිදායක පියවරක්. ලූලා වැනි අය කන්නේ කුඩා මාළු. වැඩෙන්නෙත් හෙමින්. එතකොට මාලුන් තුලට ඇතුල්වෙන බැහැර කරගත නොහැකි විෂ ද්‍රව්‍යයක් උනත් එකතුවීමේ හැකියාව වැඩි වෙන්නේ ලූලන්ගේ මිස කෙටි ජීවිතයක් ගතකරන තිලාපියාගේ නෙවෙයි.”

ආචාර්ය කැලුම් එසේ පවසද්දී මගේ මතකයට එන්නේ කලකට ඉහතදී රට පුරා පැතිර ගිය වැව්මාළු භීතිකාවයි. වගාබිම් වලට යොදන බාල වර්ගයේ පොහොර වල තිබෙන බැරලෝහ අවශේෂයන් ජලාශ වලට සෝදාගෙන විත් ජලශාක තුලට ඇතුල්වෙන බවත් ඒ හරහා වැව්මාළු වෙතටද, අනතුරුව මිනිස් සිරුර තුලටද පිවිස, වකුගඩු රෝගය වැනි ආබාධයන් ඇතිකරන බවත්, විස්තර සහිතව ඇතැමුන් එකල පහදා දුනි. තොරතුරු සොයා බැලීමේදී වැව්මාලු වල බැරලෝහ අවශේෂ තිබෙන බවට මෙන්ම නැති බවටද සනාථ කල වාර්තා හමුවේ. ඒ නිසා ඒවා විවේචනය කරන්නට අපගේ දැනුම ප්‍රමාණවත් නැත. එහෙත් සාධාරණව එක දෙයක් කිව යුතුව තිබේ. මාස හයක් වැනි කෙටි කාලයක් තුල වැවක ඇතිදැඩිවෙන කොරලියෙක්ගේ ඇඟේ, මිනිස් සිරුරට අහිතකරවෙන මට්ටමකට බැරලෝහ එකතු වන්නේනම්, මිරිදිය ධීවර කර්මාන්තය අතහැර එම ජලාශයෙන් බැරලෝහ නිස්සාරණය පටන් ගන්නේ නම් එය ආර්ථිකව වඩාත් වාසිදායක බවයි!! ඒ නිසා එවන් බැරලෝහ සාන්ද්‍රණයක් කෙටි කාලයක් තුල මාළුවාගේ සිරුරෙහි එකතුවෙනවා යයි සිතීම සාධාරණ නැත.

බැරලෝහ ඇතැයි සිතා වැව්මාලු වලට පිටුපානා අප කිසිදු සැකසංකාවක් නැතිව කෙලවල්ලා කුලයේ (ටූනා) මාළු අනුභව කරමු. මුහුදෙන් ගොඩගන්නා ටූනාවෙකු ඇතැම් විට ටොන් භාගයක් පමණ බරය. වසර 40 ක් දක්වා ජීවිත කාලයක් හිමි උන් තරුණද මහලුද කියාත් අප දන්නේ නැත. පැයට කිලෝමීටර 75 ක් පමණ වේගයෙන් වුවත්, දිනකට සැතපුම් සිය ගණනක් මහ සයුරේ පිහිනා යන ඔවුන් ජීවිතකාලය පුරා කෙතරම් කුඩා මසුන් ප්‍රමාණයක් අනුභව කරන්නට ඇත්ද? බොහොමයක් පර්යේෂණ වාර්තා සාක්ෂි සපයන්නේ ටූනා මසුන්ගේ සිරුරු තුල රසදිය සමූහනය වන බවයි. එම ප්‍රමාණය සතාගේ වයස මත රඳා පවතී. මේ කරුණු වල හැඩතලයන් අපක්ෂපාතීව විමසීමේදී පෙනෙන්නේ “වැව්මාලු බුෆේ” එකේ සිටි බැදපු කොරලියා, රතුහාලේ බතට බෙදූ “ඇඹුල් තියල්” කෑල්ලට වඩා ආරක්ෂා සහිත බවය. කෙසේ වුවත් ලාංකිකයන්ගේ මාළු පාරිභෝජනයේ තරම අනුව කුමන මාළුවා වුවත් අපගේ ජීවිත කාලය තුලදී අහිතකර බැරලෝහ ප්‍රමාණයක් සිරුරට ඇතුල් කරාවියැයි අනියත බියක් ඇතිකරගත යුතු නොවේ. ජලජ පැලෑටි කමින් වැඩී හය මාසයකින් තම ජීවිතය නිමාකරන වැවේ කොරලියා ගැන නම් අහිතක් සිතිය යුත්තේම නැත.

දේශපාලන තීන්දු තීරණ මත ඒ මේ ඇත පැද්දෙමින්, කාලයෙන් කාලයට ඉහල පහළ යන මිරිදිය ධීවර කර්මාන්තය ස්ථාවර තත්වයකට පැමිණෙන්නේ නම් ග්‍රාමීය ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමට එය මහත් පිටුවහලක් වනු නොඅනුමානය. රටේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 60% කටම කර ගසන්නේ මාළුන් බවද අමතක නොකළ යුතුව තිබේ.  පසුගියදා පළවූ වාර්තාවක් කියා සිටියේ ලංකාවේ මන්දපෝෂණ ප්‍රතිශතයද ඉහල ගිය බවකි. මේ හරහා සමාජය දුර්වලයින්ගෙන් පිරී යයි. පණ නැතිවුන් බහුල රටක ඵලදායීතාවයද පහලය. 2016 දී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ වැය පක්ෂය රුපියල් මිලියන 5670 කි. ඉන් ලොකු කුට්ටියක් මිරිදිය පැත්තට වෙන් වන්නටද ඇත.

“කෘෂිකර්ම, වාරිමාර්ග, ධීවර ආදී රාජ්‍ය ආයතන සාමුහිකව ප්‍රතිපත්තිමය තීන්දු වලට සහභාගි වෙලා මේ කර්මාන්තය දියුණු කරන්න ඕනෑ. එක පාරක් මට මතකයි මාළු හොඳට හැදෙමින් තිබුණු වැවක වතුර කුඹුරුවලට එවන්නේ නැතුව ජනතාවගේ ඉල්ලීම මත රඳවා තැබුවා. එතැනදී ඔය කියන හැම පාර්ශවයම සහභාගිවෙලා තමයි තීරණයට ආවේ. කුඹුර කරනවද, අස්වැන්න ලෙස මාළු ගන්නවද කියල ඒ අය විශ්ලේෂණය කළා. වතුර නැතුව කුඹුර මැරුණ. ඒත් වැව අයිති ගමේ ජනතාවගේ අතමිට මාළු අස්වැන්න නිසා සරුඋනා. බැලූ බැල්මට ආන්දෝලනාත්මක තීරණයක්. ඒත් විවිධ අය අතර සම්බන්ධීකරණය ශක්තිමත් වීමෙන් නිවැරදි දේ සිදුඋනා. ධීවර සමිති හා කෙරෙන කළමනාකරණයත් වැදගත්. ජලාශයකට දැලක් දානකොට එහි සිටින මාළුන්ගේ වයස ගැන හිතල දැලේ සිදුරුවල විශාලත්වය තීරණය කරන්න ඕනෑ. පොඩි සිදුරු සහිත දැල් දැම්මොත් අපරාදේ පැටවු අහුවෙනවා. වැවේ අස්වැන්න ලැබිය යුතු නියම අගයට එන්නේ නෑ.”

ආචාර්ය කැලුම් විජේනායකයානන් සංවාදය නතර කිරීමට සැරසේ. ‘වැව්මාළු බුෆේ’ එකේ සිටි කොරලියා නිසා ඇරඹි විවරණය මිරිදිය ධීවර කර්මාන්තයේ ඇතුලාන්තයෙන් බිඳක්ද අප හමුවේ නිරාවරණය කරදී තිබේ. කුමන හෝ සමාජයීය පරිවර්තනයක් නිසා බහුතර ජනතාවක්ද මිරිදිය මාළු පරිභෝජනය වෙත වැඩිපුර තල්ලුවෙන වකවානුවක, එහි වාසියද මෙම කර්මාන්තය වෙත හරවා ගැනීමට අදාළ බලධාරීන් උත්සුක වන්නේ නම් ගායනයේ වේග රිද්මයට ගැලපෙන්නට සුරංගනීට වැඩි වැඩියෙන් මාළු ලැබීමත් වරදින්නේ නැත. නැත්නම් එදා මෙන්ම ඉදිරියටත් සුරංගනීට ඉතිරි වන්නේ මාළු නොව, සිංදුවේ පද හතර පමණය.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor