දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනය අද

2009 මැයි 19 වැනි දින කොටි ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජයට පත් කර මව්බිම නිදහස් කර ගැනීම සමරනු වස් රජය විසින් ප‍්‍රකාශයට පත් කළ ‘‘දසවර්ෂාභිෂේක රණවිරු උපහාර උත්සව මාලාව’’ අද (19) දින සිට ආරම්භ වේ.

ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මඟින් මුලිනුපුටා දමා 2019 මැයි මස 18 දිනට වසර දහයක කාලසීමාවක් සපිරේ. මෙම දශකයක කාලසීමාව තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික සංහිඳියාව හා සාමය සඳහා වූ රාජ්‍ය යාන්ත්‍රණයට අද්විතීය වූ මෙහෙවරක් ඉටු කර ඇත. මෙවන් වූ වාතාවරණයක් තුළ අභිමානවත් විජයග්‍රාහී යුද්ධ හමුදාවක් ගෞරවණීය සමාජයක් ලෙස උදාකර ගත්තා වු සාම මාවෙත් ගමන් කළ අප තවදුරටත් ඒකී භාරදූර මෙහෙවරෙහි නිරතවෙමින් සාමයේ “දසවර්ෂාභිශේක” සැමරුම ඉතා කාලෝචිත වුත් අර්ථාන්විත වුත් ආකාරයෙන් සැමරීමට සියලු කටයුතු සිදුකර ඇත.

ඒ අනුව, ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව (19 දින) රණවිරු අනුස්මරණ උළෙලක් අති උත්කර්ෂවත් අයුරින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදන්වූවන්ගේ ලඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී ඉරිදා (19) දින සවස 3.30 ට පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එසේම, සාමයේ “දසවර්ෂාභිශේක” සැමරුම වස් සාමයේ පහන් දැල්වීම ද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති තවත් සුවිශේෂි අංගයකි. මෙහිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් මැයි මස 19 වන දින සවස 07.00 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙවර රණවිරු සැමරුම් උළෙල තවත් සුවිශේෂි සැමරුම් අංගයක් ලෙස සාමයේ “දසවර්ෂාභිශේක” සැමරුම සනිටුහන් කිරීම සඳහා වෙල්ලිමුල්ලිවෛක්කාල් රණවිරු ස්මාරකය පිළිබිඹු වන පරිදි නිර්මාණය කරන ලද මුල් දින කවරය හා සමරු මුද්දරය 2019 මැයි මස 22 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි එළිදැක්වීමට නියමිතව ඇත.

Recommended For You

About the Author: Editor