-නිලමෝර් කොළම- පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදය සහ පශ්චාත් පාස්කු ඉරිදා අවස්ථාවාදය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු උදාවන පශ්චාත් පාස්කු ඉරිදා සිදුවීම් ජාලය පිළිබඳ තිත්ත කියවීමකි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දඩමීමා කර ගෙන දේශපාලන අන්තවාදීන් සහ අවස්ථාවාදීන් විසින් පසුගිය සති කිහිපය පුරා දියත් කරමින් සිටින පශ්චාත් පාස්කු ප‍්‍රහාර හේතුවෙන් රට යථාතත්ත්වයට පත් වීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය බව මධ්‍යස්ථ ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාර හමුවේ ක්ෂණිකව නිර්මාණය වූ අනාරක්ෂිතභාවය, ආරක්ෂක හා දේශපාලන අස්ථාවරත්වයක් දක්වා රූපාන්තරය කර ගැනීමට මෙම දේශපාලන අවස්ථාවාදීන් තීරණාත්මකව ක‍්‍රියා කළ බවයි.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වී පැය කිහිපයකින් ආරක්ෂක අංශ ප‍්‍රහාරයේ සැලසුම්කරුවන් සොයා ගත්තා. ඒ දෙමටගොඩ මහවිල පටුමගේ කළ වැටලීමේදී. ඒ සමග පැය 24ක් පමණ ගත වන විට ප‍්‍රහාරකයින්ට තව දුරටත් සංවිධානය වීමට තබා ස්වයං ආරක්ෂාව පවා සලසා ගැනීමට නොහැකි තරමට ආරක්ෂක අංශ ඔවුන්ව වටලනු ලැබුවා. පානදුර ප‍්‍රදේශයේ නිවස සොයා ගෙන තවත් සංකීර්ණ තොරතුරු රැුසක් සොයා ගත්තා. අපි අවංකව කල්පනා කළහොත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පැය 48ක් ගත වන විට ප‍්‍රහාරකයින්ගේ සියලූ සැලසුම් පමණක් නොවෙයි ඔවුන්ගේ සංවිධානගත වීම් පවා සම්පූර්ණයෙන් බිඳ දැමීමට ආරක්ෂක අංශ සමත් වුණා. මේ අපි ප‍්‍රසිද්ධියේ දැක්ක දේ. ඒත් ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට අපි මේ දැක්කේ සමස්ත මෙහෙයුම්වලින් ඉතාම සුළු ප‍්‍රමාණයක්. ඊට වඩා අති සංකීර්ණ සහ දැවැන්ත මෙහෙයුමක් යටිබිම්ගතව ක‍්‍රියාත්මක වුණා. ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය, සම්පත් හා අත්දැකීම් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා අපේ ආරක්ෂක අංශ සතුව තිබුණා. ඒ අනුව පැය 72ක් ගත වන විට සමස්තය පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මෙය මෙවැනි ප‍්‍රහාරයක් එල්ල වූ කිසිදු රටක නොදුටු කාර්යක්ෂමභාවයක්. ඒ නිසයි අගමැතිවරයා ප‍්‍රකාශ කළේ මේ මෙහෙයුම් ගැන විදේශ රටවල් පවා විශ්මයට පත් වූ බව. ඒත් ආරක්ෂක අංශ ඉතාම සංවිධානාත්මකව, කාර්යක්ෂමව හා අති සූක්ෂම ආකාරයෙන් කළ සියල්ල අවසානයේ ගඟට කැපූ ඉණි බවට පත් වුණා’’

මේ ප‍්‍රකාශය කළේ වැඩි ප‍්‍රසිද්ධියට අකමැති ඉහළ පෙළේ ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයෙක්. ඔහු පසුගිය 20 වසර පුරාම දැඩිව සමාජ – ආර්ථික සමීක්ෂණයේ යෙදෙනවා.

‘‘මගේ නිරීක්ෂණය වන්නේ අපේ ආරක්ෂක අංශ, විශේෂයෙන්ම පොලීසිය පැය 72ක් ගත වන විට විස්මිත ලෙස ඉස්ලාම් අන්තවාදයේ අක්මුල් බිඳ දැම්මා. මේ තත්ත්වය බොහෝ දෙනෙක්ට ඇතැම් විට විශ්මයක් විය හැකියි. ඒත් අපේ ආරක්ෂක හමුදා, පොලිසිය සතු මෙහෙයුම් හැකියාව ගැන යම් අවබෝධයක් ඇති අයෙක්ට මේක විස්මයට හේතුවක් නොවෙයි. ඔවුන්ට දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති නම් බොහෝ දේ කළ හැකි බව පසුගිය කාලේ පැහැදිලිව පෙන්වා දුන්නා. අපි කාගෙත් වාසනාවට පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම්වලදී දේශපාලන ඇඟිලි ගැසීම් හා බාධා කිරීම් අවම මට්ටමක තිබුණේ. ඒ නිසා ආරක්ෂක අංශ අති කාර්යක්ෂම ආකාරයෙන් සියල්ල ඉටු කළා’’
මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය සතුව නිල වශයෙන් 12,000කට අධික බුද්ධි අංශ නිලධාරීන් සහ තවත් දහස් සංඛ්‍යාත ඔත්තුකරුවන් පිරිසක් ක‍්‍රියාත්මක වීම තුළ මෙවැනි අති කාර්යක්ෂම තත්ත්වයක් අපේක්ෂා කළ යුතු බවයි.

‘‘ඔබ හිතන්න බුද්ධි අංශ නිලධාරීන්ම 12.000ක් වර්ග කිලෝමීටර් 65,610කට, එහෙම නැතිනම් මිලියන 20කට ඉන්නවා. මුළු රටම ක්ෂණිකව ආවරණය කළ හැකි පොලිස් යාන්ත‍්‍රණයක් තිබෙනවා. ඒ නිසා 1975 දී ඇල්ප‍්‍රඞ් දොරේඅප්පා ඝාතනය කළ දා වාගේ දුර්වල හෝ අත්දැකීම් විරහිත තත්ත්වයක් අපට නැහැ. අපිට ඉන්නේ අවුරුදු 30ක් පුරා කොටි බුද්ධි අංශ එක්ක කරට කර වැඩ කරලා අවසානයේ සම්පූර්ණ ජයග‍්‍රහණය දිනාගත් බුද්ධි අංශයක්. ඔවුන් මේ ප‍්‍රහාරය ගැන පවා නිශ්චිත තොරතුරු දැනගෙන අදාළ අංශවලට ලබා දුන් බව දැන් පිළිගත් සත්‍යයක්. ඒ නිසා පසුගිය අවුරුදු හතර තුළ බුද්ධි අංශ දුර්වල කළා කියන විපක්ෂයේ සහ ඇතැම් භික්ෂූන්ගේ චෝදනාවට කිසිදු පදනමක් නැහැ. දැනට අත්අඩංගුවේ ඉන්න බව කියන්නේ බුද්ධි අංශ නිලධාරීන් 10-12 වගේ අතිෂය සුළු පිරිසක් 12,000/12ක් කියන්නේ කොපමණ අල්ප ප‍්‍රමාණයක් ද ? ’’ ඔහු අවධාරණය කරනවා.

මේ අවස්ථාවේදී ඇත්තටම මුස්ලිම් සමාජයෙන් අපි අපේක්ෂා නොකළ තරම් සහායක් ලැබුණා. ඇත්තටම දෙමටගොඩ, සයින්දමරදු වැනි සුවිශේෂ සිදුවීම් ගැන ඉතාම නිවැරදි ඔත්තු දුන්නේ මුස්ලිම් ජනතාව. මරාගෙන මැරෙන ප‍්‍රහාරයට සැක එක් බෝම්බකාරියක්ව පොලීසියට ගෙනවිත් භාර දුන්නේ ඇයගේම තාත්තා. ඒ නිසා මුස්්ලිම් සමාජය තුළින්ම ලැබුණු සහාය නිසා අභ්‍යන්තරයට කිඳා බසින්න අවස්ථාව ලැබුණා. එය කිසිවෙකුට බැහැර කළ නොහැකි සත්‍යයක්.

‘‘මේ ආකාරයෙන් ඉතාම කෙටි කාලයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා. ඒත් විපක්ෂ බලවේග, ඒ කියන්නේ දේශපාලන, ජනමාධ්‍ය, භික්ෂු බලවේග, විශේෂයෙන් ඇතැම් විද්‍යුත් මාධ්‍ය හා විපක්ෂයේ කල්ලි විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය කළේ සම්පූර්ණයෙන්ම ජාතික ආරක්ෂාව පවා දෙන වැඩක්. ඔවුන් අති සූක්ෂම හා උපක‍්‍රමශීලී ලෙස සමස්ත තත්ත්වයේ පාලනය ඔවුන් අතට ගත්තා. ජනමතය, ප‍්‍රවෘත්ති මෙයෙයවීම ඔවුන් අතට ගත්තා. ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් ඉතාම කුඩා මාධ්‍ය කණ්ඩායම්වලට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. නම් වශයෙන් ප‍්‍රකාශ කළහොත් හිරු නාලිකාව, දෙරණ නාලිකාව සහ ඇතැම් අවස්ථාවල සිරිස නාලිකාව අන්තවාදීන්ගේ කෙළිබිම් බවට පත් වුණා. ආණ්ඩුව සමාජ මාධ්‍ය අවහිර කළත් ජනතාව විකල්ප ප‍්‍රවේශ හරහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සමාජ මාධ්‍යවල සැරිසැරුවා. අන්තවාදී අදහස් හුවමාරු කර ගත්තා’’ ඔහු පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය වාරණයේදී ආණ්ඩුව ඉතාම හරසුන් හා නූගත් ආකාරයෙන් හැසිරෙන බවයි.

‘‘ආණ්ඩුවට ඉතාම පහසුවෙන් සමාජ මාධ්‍ය වෙත ප‍්‍රවේශ වීම අවහිර කළ හැකියි. ඒත් අද එවැනි අවස්ථාවක භාවිතයට ගත හැකි විකල්ප ප‍්‍රවේශ ගැන ඕනෑම අයෙක් හොඳින් දැනුවත්. ඔවුන් වී.පී.එන්. නම් ක‍්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය වලට ප‍්‍රවේශ වෙනවා. මේක හරියට පැස්බරා සතුරාට බියෙන් හිස වැල්ලේ සඟවා ගන්නවා වාගේ නිර්ථක වැඩක්. ආණ්ඩුව හිතනවා සමාජ මාධ්‍ය වාරණය කළ ගමන් සියල්ල හරි කියලා. ඒත් ජනතාව විකල්ප ක‍්‍රම ඔස්සේ ඒවා වෙත ප‍්‍රවේශ වෙනවා නම්, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය කිසිදු බියක් හෝ හිරිකිතක් නැතිව අන්තවාදය හා වෛරය වපුරනවා නම් ඇති අර්ථය මොකක්ද ? හිරු, දෙරණ ගැන ආණ්ඩුවට තියෙන තක්සේරුව මොකක්ද ?’’ ඔහු අවධාරණාත්මකව ප‍්‍රශ්න කරනවා.
මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ ඉතාම කෙටි කාලයක් තුළ ලබාගත් සියලූ ජයග‍්‍රහණ මේ මාධ්‍ය භාවිතය සහ ආණ්ඩුවේ සන්නිවේදන නොහැකියාව නිසා අහිමි වී ගිය බවයි.

‘‘මගේ නිරීක්ෂණය නම් ආණ්ඩුවට කිසිම ආකාරයක සමාජයට මතවාද ගෙන යාමේ ශක්තිමත් හා නිර්මාණශීලී යාන්ත‍්‍රණයක් නැහැ. ඒ අංශයෙන් වඩාත්ම අසමත් ආණ්ඩුව තමයි වත්මන් ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ යුගයේ, චන්ද්‍රිකා යුගයේ ඒ ආණ්ඩුව අතිෂය කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් රාජ්‍ය මාධ්‍ය මෙහෙයෙව්වා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය හීලෑ කරගෙන හිටියා. ඒත් මේ ආණ්ඩුව ඒ පැත්තෙන් අතිෂයින් දුර්වලයි. එහි ප‍්‍රතිඵලය අපි මෙවර හොඳින් දැක්කා’’

ඔහු පෙන්වා දෙන්නේ මේ මාධ්‍ය භාවිතය සමග තවත් කරුණු කිහිපයක් ම එකට එක්ව ගමන් කළ බවයි.

‘‘අපි දන්නවා සිංහල බෞද්ධ දකුණේ බහුතර බලය, ජන ආකර්ෂණය හා පක්ෂපාතීත්වය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කණ්ඩායමට. එවැනි අවස්ථාවක ඔවුන් නිරන්තරයෙන්ම බලන්නේ ආණ්ඩුවට බාධා කිරීමට සහ අවහිර කිරීමටයි. පාසල්වලට ළමුන් නොයැවීම, රාජ්‍ය ආයතන නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම තුළ ප‍්‍රදර්ශනය කළේ එම පක්ෂපාතීත්වයයි. ආණ්ඩුව මේ තත්ත්වය වටහා ගත යුතුයි. පිළිගත යුතුයි. සිංහල බෞද්ධ දකුණේ ආණ්ඩුව සුළුතරයක්. රාජ්‍ය සේවය, ජනමාධ්‍ය තුළ ආණ්ඩුව අති සුළුතරයක්. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවට සාර්ථකත්වයක් ලැබිය නොහැකියි. මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය තමයි කොළඹ ආරක්ෂක විද්‍යාලය. පාසල් ආරම්භ වූ විට අවම සිසුන් පිරිසක් පැමිණියේ ආරක්ෂක විද්‍යාලයට. මේකට එන්නේ ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන්ගේ දරුවෝ. ඉතිං ඔවුන් පවා පාසල් නොඑන කොට අනෙකාට සහතිකයක් දෙන්නේ කොහොමද ? මේක බහුභූත තත්ත්වයක්’’

ඔහු පවසන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ද තත්ත්වය ව්‍යාකූල කරමින් අනාරක්ෂිතභාවය ප‍්‍රවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් බවයි.

‘‘මම හිතන්නේ මේක සිදුවන්නේ අවිඥානිකව බවයි. ආරක්ෂක අංශවල, රාජ්‍ය සේවයේ අති බහුතරය මේ ආණ්ඩුවට දක්වන්නේ අවම පක්ෂපාතීත්වයක්. ඔවුන් දේශපාලනිකව මේ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරනවා. ඉතිං ඔවුන්ගෙන් ඵලදායී යමක් අපේක්ෂා කළ නොහැකියි’’

කාදිනල්තුමාගේ භූමිකාව

ඉස්ලාම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම් අති සාර්ථකව සිදුවෙමින් තිබියදී ජාතික ආරක්ෂාව ගැන ආණ්ඩුව, ආරක්ෂක අංශ සහතිකයක් ලබාදී තිබියදීත් දරුවන් පාසල් නොයැවීමට මාපියන් තීරණය කළේ අවිඥානිකව ඔවුන් දක්වන දේශපාලන පක්ෂපාතීත්වය නිසා බව පහසුවෙන් වටහා ගත හැකිය. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කිරීමට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඇතැම් ප‍්‍රකාශ සහ විශේෂයෙන් කොළඹ අගරදගුරුතුමාගේ ප‍්‍රකාශ තදින් බලපෑ බව වටහා ගත හැකිය.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ කොළඹ අගරදගුරුතුමාගේ හැසිරීම ප‍්‍රශස්ත මට්ටමක තිබුණා. අපි ඒ ගැන එතුමාට ගෞරව කළ යුතුයි. ඒත් තවත් දින කිහිපයකින් එතුමා ක‍්‍රියාත්මක වුණේ කතෝලික පල්ලියේ උපදෙස් හෝ න්‍යාය පත‍්‍රය අනුව නොව එතුමාගේ පැරණි (ඒ වන විටත් පැවැති) බැඳීම් අනුව කියලා හිතෙන තරමට එතුමා අදේශපාලනික, හා ව්‍යාකූල ප‍්‍රකාශ කළා. ජනපති සහ අගමැති විශ්වාස නැති බවත් කියන තරමට එතුමා නිර්භය වුණා. ආරක්ෂක අංශ වැඩිව විවේචනය කළා. ඒ ප‍්‍රකාශ හිරු, දෙරණ ඇතුළු නාලිකාවලට හොඳ ඉල්ලමක් වුණා. ඒ හරහා සිදු වුණේ රටේ තත්ත්වය තව දුරටත් ව්‍යාකූල වීම හා අනාරක්ෂිතභාවය පිළිබඳ බරපතළ සැකයක් ජනතාව තුළ නිර්මාණය වීමයි’’ ඔහු අවධාරණාත්මකව පෙන්වා දෙනවා.

මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන ඇමැති හරීන් දැඩිව විවේචනය කළ කාදිනල්තුමා ද මැයි 06 වැනිදා හරීන්ගේ පියාගේ භූමිකාව නිරූපණය කළ බවයි.

‘‘රජයේ පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මැයි 06 වැනිදා. එදා පාසල් ආරම්භ කළා නම් ආරක්ෂක තත්ත්වය ගැන ඉතාම පැහැදිලි සංඥාවක් ජනතාවට ලැබෙනවා. ඒත් කාදිනල්තුමා ඉතාම අයුතු ලෙසත්, අසංවේදී ලෙසත් එයට බාධා කළා. එතුමා ‘‘අතිෂය විශ්වාසනීය විදේශ බුද්ධි අංශයක් ’’ විසින් ලබා දුන් බව කියන වාර්තාවක් මත පදනම් වෙමින් පුද්ගලික කතෝලික පාසල් මැයි 06 වැනිදා ආරම්භ නොකරන ලෙස ඉල්ලා සිටියා. ඒත් පුදුමය වන්නේ එතුමාත් හරීන් ප‍්‍රනාන්දුගේ තාත්තා වාගේ ක‍්‍රියා කිරීමයි. කාදිනල්තුමා තමාට ලැබුණු විදේශ බුද්ධි අංශ වාර්තාව ආරක්ෂක අංශවලට භාර නොදී එය කතෝලික මීසම්වලට යැව්වා. ඊට පස්සේ ඒක සමාජ මාධ්‍ය හරහා සමාජගත වුණා. අවසානයේ මුළු රටම යළිත් ගිනි ගත්තා. තැති ගත්තා. මෙවැනි පියවරක් ගැනීමට කාදිනල්තුමාට ඇති හැකියාව කිසිවෙක් ප‍්‍රශ්න නොකළාට ඒ ප‍්‍රශ්නය බොහෝ දෙනෙක් තුළ තිබෙනවා. මම තරයේ කියන්නේ පශ්චාත් පාස්කු ඉරිදා කාලය තුළ කාදිනල්තුමාගේ සම්පූර්ණ ක‍්‍රියාකාරීත්වය අතිෂය දේශපාලනිකයි. අද රට මුහුණදී තිබෙන තත්ත්වයට එතුමා ද වගකිව යුතුයි. අපි රාජ්‍ය මාධ්‍යවලින් දකින සංහිඳියාව ගැන කියන කාදිනල්තුමා නොවෙයි අපි හිරු, දෙරණ නාලිකාවලින් දැක්කේ’’

හාවුන් බවට පත් සිවිල් ජනතාව

පාස්කු ඉරිදා ප‍්‍රහාරය තම දේශපාලන ව්‍යාපෘතිය තුළ මනාව හසුරවමින් ඉන් අගනා අස්වැන්නක් නෙළා ගත් විපක්ෂය තම මුළු වැරම යොදා සිවිල් සමාජය භීතියට පත් කළ බව අපට පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ‘‘කඩු භීතියක්, පිහි භීතියක් ’’ ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබුවේ හුදු විනෝදය හෝ පහසුව තකා නොව ඉතාම සබුද්ධික දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව.

‘‘රජය නිවැරදිව ජනමතය කළමනාකරණය කළා නම් පාස්කු ඉරිදා සිට සෑම මොහොතකම සිදු වූ අත්අඩංගුවට ගැනීම්, අවි ආයුද සොයා ගැනීම් ආරක්ෂාව ගැන ජනතාව තුළ විශ්වාසය වර්ධනය කිරීමට හේතු විය හැකිව තිබුණා. ‘‘ඌ මට ගහනවා – මට ඌ ගහනවා’’ කිව්වා වාගේ අන්තිමට සිද්ධ වුණේ වේගවත්ව හා අති සාර්ථක ලෙස ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්, අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම තව දුරටත් වර්ධනය කරලා ආණ්ඩුවට පාරාවළල්ලක් වීමයි’’

මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් දීප ව්‍යාප්තව මුස්ලිම් නිවාස සහ පල්ලි පරීක්ෂා කිරීම් අවම වශයෙන් ලක්ෂ 2-3ක් වත් සිදුවිය යුතු බවයි. එහෙත් එම පරීක්ෂා කිරීම්ලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් ඉතා අල්ප පිරිසක් වන අතර, මහත් මාධ්‍ය ප‍්‍රසිද්ධියක් ලබාදුන් ‘‘කඩු’’ විශාල වශයෙන් සොයා ගෙන ඇත්තේ නිවාස කිහිපයකින් පමණක් බවයි. බෙහෝ නිවාසවලින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවක් හෝ දෙකක් පමණක් බවයි. ඒ අනුව නිවාස ලක්ෂ ගණනක් පරීක්ෂා කර අවි ආයුධ හෝ වෙනත් සැක කටයුතු උපකරණ හමුවීම් සිදුව ඇත්තේ සියයටකටත් අඩු ගණනක් බවයි. (නිශ්චිත සංඛ්‍යා ලේඛන නිකුත්ව නැත) ඒ අනුව 200,000/100ක් හෝ 200ක් කොපමණ සුළු අගයක් දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

‘‘මම කියන්නේ නිකමට කොළඹ වනාතමුල්ල වාගේ ප‍්‍රදේශවල නොවෙයි ගම්බද නිවාස පරීක්ෂා කරන්න ඔය අත්අඩංගුවට ගත්තා වාගේ කඩු කිනිසි හමුවෙයි. අනෙක් කාරණය පසුගිය දිනවල අත්අඩංගුවට ගත්තා කියන යතුරු පැදි, මෝටර් රථවල දැන් පරීක්ෂණ තත්ත්වය කුමක්ද ? ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවාද ?’ ඒ ගැන කිසිම ප‍්‍රකාශයක් නැහැ’’

මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ කැලෑ බද ප‍්‍රදේශවල දමාගිය අවි ආයුධ ගැන මීට වඩා සවිඥානිකව සමාජය දැනුවත් කළ යුතු බවයි.

‘‘මුස්ලිම් පාතාලය සතු අවි අයුධ, පාතාලය, චණ්ඩින්ගේ අවි ආයුධත් ඔය අතර තිබෙන බව පැහැදිලියි. මේ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් යුද්ධ හමුදාපතිවරයාම කියන ආකාරයට රඟපෑමක්. අති සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුමක්. මොළ සෝදා දැමීමක්’’ ඔහු අවධාරණාත්මකව පවසයි.
‘‘මම මේ කිසිවකින් ඉස්ලාම් අන්තවාදීන්ව හෝ ගෝලීය ඉස්ලාම් ත‍්‍රස්තවාදය සුළුකොට කතා කරන්නේ නැහැ. ඔවුන් අති සූක්ෂම වගේම අති අමානුෂික බවත් මම දන්නවා. ඒත් මම කියන්නේ ලෝකයට මරාගෙන මැරෙන බෝම්බ හඳුන්වා දුන්, ලෝකයේ බලවත්ම ත‍්‍රස්වාදී කල්ලිය සම්පූර්ණයෙන් සමූලඝාතනය කළ, එහි සටන් කළ සටන්කරුවන් 12000කටත් වැඩියෙන් අත්අඩංගුවට ගත්ත අපේ හමුදාවට (මෙවැනි තත්ත්වයක් ලෝකයේ මේ දක්වා වාර්තා වී නැහැ. වාර්තා වෙන්නත් බැහැ) දේශීය වශයෙන් ක‍්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය පහසුවෙන් මර්ධනය කළ හැකියි. ඔවුන්ගේ අක්මුල් ගලවා දැමිය හැකියි. ජාත්‍යන්තර ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සුළඟවත් නොවදින තැනට කටයුතු කළ හැකියි. ඒත් ඔවුන්ට මෙරට ක‍්‍රියාත්මක වන දේශපාලන අන්තවාදීන් සහ අවස්ථාවාදීන් සම්බන්ධයෙන් කිසිවක්ම කළ නොහැකි බව මැයි 13 වැනිදා හොඳින් ප‍්‍රදර්ශනය කළා. ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ දේශපාලන බලාධිකාරියයි’’ ඔහු අවසාන වශයෙන් පෙන්වා දෙනවා.

‘‘ඔබ හොඳින් මතක තබා ගන්න, පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් පුපුරවා හැරියේ බෝම්බ හතක් පමණයි. ඒත් ඊට පස්සේ දේශපාලන අවස්ථාවාදීන් පරමාණු බෝම්බයක් කළ විනාශයටත් වඩා දැවැන්ත ආර්ථික හා දේශපාලන විනාශයක් සති දෙක තුනක් තුළ රටටත් සමාජයටත් කරලා තියෙනවා. අද ආර්ථිකයේ සිදුව ඇති බිඳ වැටීම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වඩා පශ්චාක් පාස්කු ඉරිදා දේශපාලන අන්තවාදය හා අවස්ථාවාදය කළ විනාශයේ ප‍්‍රතිඵලයි. මැයි 06 වැනිදා කාදිනල්තුමාගේ විදේශ බුද්ධි අංශ වාර්තාව, මැයි 13 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශ වාර්තාව (මෙය සංචාරක අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක අභ්‍යන්තර ලිපියක් බව කියවේ) වගේම ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඇතැම් ප‍්‍රකාශ රටට දැවැන්ත හානියක් කළා. අද සංචාරක, ඉදිකිරීම්, සුළු අපනයන බෝග ඇතුළු සමස්ත ආර්ථිකයම මුහුණ දෙන අර්බුදයේ දී ඔවුනුත් අයි.එස් ත‍්‍රස්තවාදීන් තරමටම දායකත්වයක් ලබා දුන්නා. මොකද පැය 72ක් වැනි කෙටි කාලයකින් ආරක්ෂක අංශ ලබාගත් ප‍්‍රගතිය ලඝු කළේ ඔවුන් නිසයි’’

පසු සටහන

මෙම ලිපියට අදාළ තොරතුරු ලබා දුන් ආරක්ෂක හා දේශපාලන විශ්ලේෂකයා අවසාන වශයෙන් අවධාරණය කළේ,

‘‘ලෝකේ වැඩිම සංචාරක ආකර්ෂණය ඇති බාලි වලට අයි.එස් එක මරාගෙන මැරෙන ප‍්‍රහාරක් එල්ල කළා. ඒත් මාස තුනෙන් සංචාරක කර්මාන්තය යළි ශක්තිමත් වුණා. අනෙක් හැම රටකමත් එහෙමයි. ඒත් ලංකාවේ සිදු වුණේ අවාසනාවන්ත තත්ත්වයක්. පාස්කු ඉරිදා ප‍්‍රහාරය විපක්ෂයට දේශපාලන ඉල්ලමක් වුණා. ඔවුන්ට බෝනස් එකක් වුණා. ඒ නිසා ජනාධිපතිවරණය අවසාන වන තෙක් මේ ඉල්ලම ඔවුන් විසින් ගරන බව සහතිකයි. අවසානයේ ආරක්ෂක අංශ ලබාගත් සියලූ වටිනාමක් මේ දේශපාලන අවස්ථාවාදය විසින් විනාශ කළා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. සිදු නොවිය යුතු තත්ත්වයක්. ඒත් ඒක දේශපාලනිකව නම් යථාර්ථයක්.

අපි ත‍්‍රස්තවාදය නිර්වචනය කරන්නේ ‘‘එකෙක් මරා සියයක් බිය වැද්ඳීම’’ කියලයි. ඒත් දේශපාලන ත‍්‍රස්තවාදයට තවම පිළිගත් නිර්වචනයක් නැහැ.

‘‘බලය දිනා ගන්න කරන හැම දෙයක්ම බලය අභියස සර්ව සාධාරණයි’’ ඔවු අවසාන වශයෙන් කිව්වා.

සටහන
තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor