සිරි ලක් මව බේර ගත්ත ඔබ රණ විරුවා

වියරු කොටි ත‍්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගෙන දසවර්ෂාභිෂේකය යෙදෙන අද දිනය නිමිත්තෙනි

සීයා කියා දුන්න කතන්දරවල ඉන්න
රට ජාතිය බේර ගන්න දිවිය පුද කළ
වීර විකුම් නෙක අභිමන් රැසක් ඉටු කළ
සූර වීර රජ කුමරා ඔබ ද කියන්න

අම්මා කියා දුන්න කතන්දරවල ඉන්න
රජ කුමරුන් කුමාරියන් බිල්ලට ගන්න
රටතොට ගම්බිම් වනසන දරුවන් නසන
ගිනි මකරා මැරු විරුවා ඔබ ද කියන්න

විජිතපුරේ බළකොටුවේ අබිමන් බින්ඳ
ගැමුණු රජුන් හා රණබිම විකුමන් පෑව
තුන් හෙළයේ දසඅත රණ හඬ පැතිරෙව්ව
වීර විකුම් රණවිරුවා ඔබ ද කියන්න

ගෝඨාභය ථේරුපුත්ත වේළුසුමන
සුරනිමල මහාසෝන දසමහ සෙනඟ
අනුරපුරේ සිහළ බලය නැවත එසෙව්ව
දසමහ යෝධයන් වුණේ ඔබ ද කියන්න

මහසෙන් මහ විජයබාහු වළගම්බාහු
මහ පැරකුම් බුවනෙකබා රාසිං දෙවිඳු
යාපා පටුන ජයගත් විරු සපුමල් කුමරු
නැවත උපන් ඒ විරුවන් ඔබ ද කියන්න

කැප්පෙටිපොළ වීර කුමරු මද්දුම බණ්ඩා
ගොංගාලේගොඩ බණ්ඩා ජයකොටි බැන්ඳා
වෙල්ලස්සේ තුන් හෙළයේ රණ හඬ පතුරා
ඒ විරුවන් නැවත උපන් ඔබ ද කියන්න

උතුරු ලකේ නැගෙනහිරේ කොටි බල බිඳලා
සිරි ලක් මව බේර ගත්ත ඔබ රණවිරුවා
තුන් තිස් කෝටියක් දෙවියෝ ඔබ රැුක දෙත්වා
මෙලොව තිබෙන තුරා ඔබේ නව සුරැකේවා

පබැඳුම – තුෂාල් විතානගේ
‘‘හෙළ ගී මිහිර’’ කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor