-තීක්ෂණගේ ආර්ථික විමසුම- පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් බිම වැටුණු ආර්ථිකයේ ගෙල සිර කළේ කවුද ?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ පශ්චාත් පාස්කු දේශපාලන අවස්ථාවාදය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් කළ බව දැන් ඉතාම පැහැදිලියි.

වසර කිහිපයක් පුරා ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය වූ ලංකාව දැන් අනාරක්ෂිත, සංචාරයට නුසුදුසු රටක් බවට පත්ව තිබෙනවා. රජයේ නිල වාර්තාවලට අනුව සංචාරක පැමිණීම් සියයට 70කින් පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තුළ සංචාරක ප‍්‍රවර්ධනය, විවිධ ණය යෝජනා ක‍්‍රම හරහා ප‍්‍රවර්ධනය කළ සංචාරක ව්‍යාපාරය ගඟට කැපූ ඉණි බවට පත්ව තිබෙනවා.

සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ගාමක බලවේගයක් වන විට ඒ හා බැදුණු තවත් නිෂ්පාදන හා සේවා අංශයක් තිබෙනවා. ඒ හරහාත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආදායම් ලබනවා. ඒක ඇතැමුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වන විට තවත් අයෙකුට අමතර ආදායම් මාර්ගයක් වෙනවා.
මේ තත්ත්වය තුළ ආණ්ඩුව සංචාරක හෝටල් සඳහා විවිධාකාර සහන ක‍්‍රම ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඔවුන්ගේ බදු අඩුකර ඇති අතර ණය ගෙවීමට සහන කාලයක් ද ලබාදී තිබෙනවා. ආණ්ඩුව ඒ සියල්ල කරන්නේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩඑන තෙක් සංචාරක හෝටල් කර්මාන්තය රැුක ගන්න. ඒකට එරෙහි වීමට කිසිවෙකුට නොහැකියි.
ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග සිදු වුණු සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම නිසා සංචාරක මග පෙන්වන්නාගේ සිට, සෆාරී ජීප් රථ රියැදුරා දක්වාත්, සංචාරක ප‍්‍රදේශ ආශ‍්‍රිත තැබිලි වෙළෙන්දාගේ සිට කබානා හිමිකරු දක්වාත් අද දැඩි ආර්ථික අර්බුදයකට, ජීවන මාර්ග අහිමිවීමකට ලක්ව තිබෙනවා. මේ ලියුම්කරු සමග කතා කළ හික්කඩුව ප‍්‍රදේශයේ බෝට්ටු හිමියෙක් කීවේ තමන්ට ද අද යන එන මං නැතිවී ඇති බවයි. මෙවැනි කතා ත‍්‍රිරෝද රියැදුරාගේ සිට දකුණු වෙරළේ රිටිපන්න ධීවරයා දක්වා කියනවා.
ඇත්ත, ඔවුන් සියලූ දෙනාගේම ආදායම් මාර්ග, ජීවන වෘත්තිය අහිමි වෙලා.

කුකුළු මස් කර්මාන්තය කොට උඩ

සංචාරක ව්‍යාපාරය සමග කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය ගසට පොත්ත මෙන් බැඳී තිබෙන බව අපිට පිළිගන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒත් ඇත්ත කතාව නම් සංචාරක ව්‍යාපාරය සහ කකුළු මස් හා බිත්තර කර්මාන්තය එකට ඈදී තිබෙන ව්‍යාපාර ද්විත්වයක් බවයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය සමග කුකුළු මස් කර්මාන්තයේ ද ප‍්‍රවර්ධනයක් සිදු වුණා. එසේ නම් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම සමග කුකුළු මස් කර්මාන්තයේ ක්ෂණික බිඳ වැටීමක් සිදුවීම අහම්බයක් නොවෙයි.

ඇත්ත, සංචාරක ව්‍යාපාරය හා බැඳී තිබුණු සියලූ කර්මාන්ත සේම අද කුකුළු මස් කර්මාන්තයත් දැවැන්ත බිඳ වැටීමකට ලක්වෙලා. මිලියන ගණන් ආයෝජනය කරමින් දියුණු කළ කර්මාන්තයක් සම්පූර්ණයෙන් බිඳ වැටිලා.

මේ ගැන වැඩියෙන්ම දන්නේ ‘‘සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරකයින්ගේ සංගමයේ සභාපතිවරයා, අජිත් ගුණසේකර මහතා. ඔහු තමන් මුහුණ දී සිටින අර්බුදය ගැන කතා කළේ දැඩි අපේක්ෂාභංගත්වයකින්්.
‘‘සංචාරක ව්‍යාපාරයේ සිදු වූ අනපේක්ෂිත බිඳ වැටීම සමග සංචාරක හෝටල්වලට කුකුළු මස් හා බිත්තර සැපයන සැපයුම්කරුවන් දැඩි අසීරූතාවකට පත්ව සිටිනවා. ඔවුන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමට තිබූ හොඳම වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබෙනවා’’ අජිත් ගුණසේකර මහතා තම සංගමයේ සාමාජිකයින් මුහුණදී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වය වචනවලට පෙරළුවා.

‘‘අපි මේ සංගමය ආරම්භ කළේ 1995දී. දැනට අපේ සංගමයේ ලියාපදිංචි සාමාජිකයින් 1000ක් පමණ ඉන්නවා. ඒ වගේම මේ ව්‍යපාරය තුළ ඍජු හා වක‍්‍ර රැුකියා දහස් ගණනක් තිබෙනවා. ඒ වගේම රුපියල් බිලියන ගණනක ආර්ථික කටයුතු සිදු වෙනවා. ඒ සියල්ල ජාතික ආර්ථිකය සමග ඍජුව බද්ධ වෙලා තිබෙන්නේ.

‘‘පසුගිය සිංහල අලූත් අවුරුදු සමයේ අපේ කර්මාන්තය තුළ සියයට 30-40ක කැපී පෙනෙන වර්ධනයක් තිබුණා. ඒත් පාස්කු ප‍්‍රහාර නිසා ඒක සම්පූර්ණයෙන් බිඳ වැටිලා. අද අපේ සංගමයේ සහ ව්‍යාපාරයේ නියුතු දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ වෙලා’’ අජිත් ගුණසේකර මහතා කියනවා.
අජිත් ගුණසේකර මහතාට අනුව කුකුළු මස් සහ බිත්තර ව්‍යාපාරයේ සිදුව ඇති අනපේක්ෂිත බිඳ වැටීම නිසා මේ වන විට කුකුළු පැටවෙකුගේ මිල රුපියල් 70 සිට 35 දක්වා සියයට 50කින් පහළ වැටී ඇත.

‘‘මේ තත්ත්වය අපිට දරා ගන්න අමාරුයි. ඇණවුම් නැති නිසා කුකුළු පැටවුන් නඩත්තු කරන්න බැහැ. එකම විකල්පය ඔවුන්ව මරා දැමීමයි. මේ වන විට කුකුළු කොටු ව්‍යාපාරිකයින් එය කරමින් සිටිනවා’’අජිත් ගුණසේකර මහතා පැහැදිලි කරන්නේය.

මෙහිදී අපි විමසා සිටියේ දේශීය වෙළෙඳපොළට මේ සැපයුම කළ නොහැකිද ? යන්නයි.

‘‘බැහැ. දේශීය වෙළෙඳපොළ තුළ ක්ෂණිකව දැවැන්ත ඉල්ලූමක් නිර්මාණය කරන්න බැහැ. ඒක කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි දෙයක්. මේ වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් ඉල්ලූම තියෙන්නේ තෘප්ත විය හැකි අගයක. දැන් අපේ සංගමයේ සාමාජිකයින් තුළ විශ්වාසයක් නැහැ. ඔවුන් ක්ෂණිකව වගේම කෙටි කාලයකින් කර්මාන්තයෙන් ඉවත් වීමයි දැකිය හැකි වන්නේ. මේ සති කිහිපයටත් කුකුළු පැටවුන් නැවත බෝ කිරීම සියයට 40කින් පමණ කඩා වැටිලා තිබෙනවා. ඒ අනුව ජූනි- අගෝස්තු වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් සහ බිත්තරවල හිඟයක් ඇතිවිය හැකියි’’

මෙහිදී අප විමසා සිටියේ කුකුළු මස් කර්මාන්තයට රජයෙන් සහනයක් ලැබී තිබේද ? යන්නයි.

එයට පිළිතුරු දෙමින් අජිත් ගුණසේකර මහතා කියා සිටියේ,
‘‘නැහැ, ආණ්ඩුව සංචාරක කර්මාන්තයට විවිධ සහන ලබා දෙනවා. ඒත් අපිට තවම කිසිවක් නැහැ. අපිත් සංචාරක ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ කර්මාන්තයක්. අපිත් බැංකු ණය ආදිය අරගෙන තමයි මේ ව්‍යාපාරය දියුණු කළේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ අපිත් රැුකගත යුතුයි. ඒ නිසා අපි ගැනත් අවධානය යොමු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා’’ අජිත් ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර මෙම ලියුම්කරු සමග කුලියාපිටිය, බිංගිරිය ආදි ප‍්‍රදේශවල කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ නියුතු කිහිප දෙනකු පවසා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සේම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු කුලියාපිටිය, බිංගිරිය ආදි ප‍්‍රදේශවල සිදු වූ අන්තවාදී ප‍්‍රහාර සහ බිය වැද්දීම් නිසා එම ප‍්‍රදේශවල කුකුළු ගොවිපොළ හිමියන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

‘‘අපේ ව්‍යාපාර තවත් වටයකින් බිඳ වැටුණා. අන්තවාදී ප‍්‍රහාර දියත් වුණේ කුකුළු ගොවිපොළ කර්මාන්තය වැඩියෙන්ම කරන ප‍්‍රදේශවල’’ ඔවුන් පවසා සිටියේය.

මේ සමස්ත තත්ත්වය විශ්ලේෂණය කරන බහුතරයක් දෙනා පවසන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් ඇති වූ කම්පනය සතියක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණයෙන් පහ කිරීමට ආරක්ෂක අංශ සමත් වුවත් දේශපාලන අවස්ථාවාදීන් හා අන්තවාදීන් විසින් කෘත‍්‍රීමව නිර්මාණය කළ අනාරක්ෂිතභාවය හා භීෂණය නිසා ශ‍්‍රී ලංකාව කබලෙන් ලිපට වැටුණු බවයි.

‘‘එක් කෙනෙක් දෙන්නෙක්ගේ ජනාධිපති සිහිනය නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සිහින විනාශ වුණා. මේක කළ අයි.එස් කාරයින්ට වගේම ඊට පස්සේ රට යථා තත්ත්වයට පත් වෙන්න ඉඩ නොදුන් දේශපාලන අවස්ථාවාදීන්ටත් කවදා හරි මේ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා’’මෙම ලියුම්කරු සමග එසේ ප‍්‍රකාශ කළේ කුකුළු ගොවිපොළ හිමකරුවෙක්.

සටහන – භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor