බෙංගාලි ව්‍යාඝ‍්‍රයෝ තුන්කොන් ශූරතාව ඩැහැ ගනිති

බෙංගාලි ව්‍යාඝ‍්‍රයින් ක‍්‍රිකට් වංශකතාවේ තමන් වෙනුවෙන් අලූත් පිටුවක් ලියා ගැනීමට සමත් වුණා. ඒ ක‍්‍රිකට් ලෝකයේ දැවැන්තයින් සේ කාලයක් වැජඹුණු කොදෙව්වන් පරාජය කර තුන්කොන් ක‍්‍රිකට් කුසලානය තමා සතු කර ගැනීමෙන්.

පසුගිය සිකුරාදා (17) අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී කොදෙව් – බංග්ලාදේශ් අවසාන මහා තරගය පැවැත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ 21 වැනි ඕවරයේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඔවුන් ඒ වනවිට කිසිවකු නොදැවී ලකුණු 131ක් රැස්කර තිබුණා. යළිත් තරගය ආරම්භ වූයේ එක් පිලකට ඕවර 24කට සීමා කරමිනි. ෂායි හෝප් ලකුණු 74ක් රැස්කළ අතර සුනිල් ඇම්බ්‍රිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 69කි.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශයට ඕවර 24කදී ලකුණු 210ක් ඉලක්කයක් හිමි වුණා. එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදී.

බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සෞම්‍ය සර්කාර් පන්දු 41කින් ලකුණු 66ක් රැස්කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමගිනි. මුෂ්ෆිකුර් රහීම් පන්දු 22කින් ලකුණු 36ක් ඉනිමට එක්කළ අතර වේගවත් පිති හරඹයක් දියත් කළ මොසඩෙක් හුසේන් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 24කින් නොදැවී ලකුණු 52ක් රැස්කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා ගෙන ගියා.

මොසඩෙක් හුසේන් සිය අර්ධ ශතකය පන්දු 20කින් සපුරා ගත්තේ බංග්ලාදේශය වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය රැස්කළ පිතිකරු ලෙස වාර්තා පොතටද එක් වෙමිනි.

ඔහුට පෙර මොහොමඩ් අෂ්රාෆුල් විසින් එංගලන්තයට එරෙහිව පන්දු 21කින් අර්ධ ශතකයක් රැස්කර තිබිණි.

Recommended For You

About the Author: Editor