ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ

ලෝක කුසලානය සඳහා සූදානම් වෙමින් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ස්කොට්ලන්තයේ සංචාරය කරමින් සිටිනවා. ඒ ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරග දෙකට සහභාගී වීම සඳහායි.

කෙසේ වෙතත් ස්කොට්ලන්ත කණ්ඩායම සමග පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිත තරග වර්ෂාව නිසා නතර කර දැමීමට සිදු වුණා.
ආධුනික කණ්ඩායමක් වන ස්කොට්ලන්තයට වඩා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබෙන්නේ දකුණු අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පුහුණු තරග දෙක කෙරෙහියි.

මෙම පුුහුණු තරග ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිෂයින් වැදගත් බවයි ක‍්‍රීඩා විචාරකයෝ සඳහන් කරන්නේ. ඒ ලෝක කුසලානය සඳහා නම් කොට සිටින ශ‍්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙක් වසර කිහිපයකින් එක්දින තරග සඳහා ක‍්‍රීඩාකර නොතිබීම නිසයි. ඇතැමුන් ඔවුන්ව හඳුන්වන්නේ ‘‘උඩින් පාත් වූ ක‍්‍රීඩකයින් ’’ ලෙසයි. ඒ නමුත් ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීමට සහ සුපුරුදු ක‍්‍රීඩා විලාශයට පැමිණීමට පෙර තරග වැදගත් වන බවයි ක‍්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙන්නේ.

‘‘මගේ අදහස වන්නේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරග දෙකට වඩා ලංකාවට වැදගත් වන්නේ ප‍්‍රවීන හා දක්ෂ ක‍්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඒ වගේම තරගකාරී දකුණු අප‍්‍රිකානු සහ ඕස්ටේ‍්‍රලියානු තරග දෙකයි. එහිදී පවතින තරගකාරීත්වය අපේ ක‍්‍රීඩකයින්ට අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්. ඒ වගේම ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා මුහුණ දුන් බරපතළම ගැටලූව වන කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට එය හොඳ අවස්ථාවක්.

ආරම්භයටත් පෙර ආබාධ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් පසුගිය කාලය පුරා නිතර නිතර ආබාධවලට ලක්වීම බරපතළ ලෙස සාකච්ඡුාවට ලක් වූ කරුණක්. මෙවර ලෝක කුසලාන සංචිතය තෝරා ගන්නා විට ද මේ ගැන සාකච්ඡුා වුණා.
මේ අතර එංගලන්තයෙන් ලැබෙන නිල නොවන ආරංචි පවසන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු සුළු ආබාධයකට ලක්ව සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ප‍්‍රකාශ කළේ තමාට එවැනි ආරංචියක් නිල වශයෙන් ලැබී නොමැති බවයි.

‘‘අවිශ්ක ප‍්‍රනාන්දු ආබාධයට ලක් වුණත් එයින් කණ්ඩායමට දැඩි බලපෑමක් වෙන්නේ නැහැ. මොකද දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න වැනි ආරම්භක පිතිකරුවෝ කිහිප දෙනෙක් කණ්ඩායම තුළ ඉන්නවා’’ අප කළ විමසීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉහළ නිලධාරීයෙක් ප‍්‍රකාශ කළා.

මේ අතර බොහෝ දෙනෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් කවුද ? යන්න ගැන අවධානයෙන් සිටිනවා. ඊට හේතුව වන්නේ එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට පෙර නායක දිමුත් කළ ප‍්‍රකාශයක්. ඔහු සඳහන් කළේ ‘‘මම ආරම්භක පිතිකරුවෙක් ලෙස ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා’’ කියලයි.

ඒත් එංගලන්තයෙන් ලැබෙන ආරංචි කියන්නේ පුහුණු තරග හතරේදී ක‍්‍රීඩා විලාශයන් අධ්‍යයනය කර ආරම්භක පිතිකරු යුගල තෝරා ගන්නා බවයි.

මෙහිදී ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ දිමුත් – අවිශ්ක ආරම්භක පිතිකරුවන් ලෙස සාර්ථක වුවහොත් ප‍්‍රශ්නයක් නොවන බවත් ඔවුන් අසාර්ථක වුවහොත් කුසල් – තිරිමාන්න අත්හදා බැලීමට සිදුවන බවයි.

‘‘ඒත් මේක අත්හදා බැලීම් කිරීමට කාලයක් නොවෙයි. අපි හැර සියලූම කණ්ඩායම් පැමිණ සිටින්නේ හොඳින් සූදානම් වෙලා. අපි ඉන්නේ අන්තිම දුර්වල කණ්ඩායම් අතරේ. අපිට පහළින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය බව හොඳින් මතක තියා ගන්න. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ඉස්සර ඉඳන්ම මේ ගැටලූ තිබුණා. දැන් අත්හදා බැලීම් කරමින් කාලය කා දමන්න හැකියාවක් නැහැ. අපිට බොහෝ පිටුපසින් සිටින බංග්ලාදේශය නොසිතූ ලෙස ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් පසුගිය තුන්කොන් තරගාවලිය ජයග‍්‍රහණය කළේ අපරාජිත කණ්ඩායමක් විදිහටයි. ඒ අනුවම අපි ඉන්න තැන හිතා ගන්න පුළුවන්’’ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය දෙස තවමත් ඍණාත්මකව ලබන ප‍්‍රවීන ක‍්‍රීඩා විචාරකයෙක් සඳහන් කළා.

‘‘මාලිංගගේ ප‍්‍රශ්නය තවම විසඳී නැහැ. ඔහු ලෝක කුසලානයට තරඟ කරාවිද යන්න පවා තවම අවිනිශ්චිතයි. මේ තත්ත්වය තුළ අපි ඉන්නේ අවාසිදායක තැනක’’ ඔවු අවසානයේදී සඳහන් කළා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor