– කාලීන විමසුම – මේ සිදුවන්නේ තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමක් ද

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී මාසයක් ගතවී හමාරයි. ඒත් එහි පසුකම්පනවල තවමත් නිමාවක් නැහැ. අදත් ජනමාධ්‍යවල, දේශපාලන වේදිකාවේ සහ පොදුජන සමාජයේ ප‍්‍රමුඛ ඉඩක් අල්ලා ගෙන තිබෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයි. විශේෂයෙන් දේශපාලන සමාජය සහ ඒ මත පාරාරෝපණය වී සිටින ජනමාධ්‍ය පාස්කු ඉරිදා පසුකම්පන තව දුරටත් සජිවීව පවත්වා ගෙන යාමට උත්සාහ කරන ආකාරයක් දැකිය හැකියි.

මේ තත්ත්වය තුළ ජාතික තවුහික් ජමාත් අන්තවාදීන් මුළුමනින්ම අකර්මන්‍ය කර ආරක්ෂක අංශ විසින් ඉටුකළ ප‍්‍රශස්ත කාර්යභාරය ලඝු වීමකට හෝ නොතකා හැරීමකට ලක්ව තිබෙන බවක් දැකිය හැකියි.

පසුගිය යුධ සමයේ සේම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකළ, කිරීමට නොහැකි ඊනියා දේශපාලනඥයින් සහ දේශපේ‍්‍රමීන් මුළු ගරුත්වයම සහ වේදිකාවම අත්පත් කර ගෙන සිටින ආකාරයක් දැකිය හැකියි. එය විපක්ෂයට සේම ආණ්ඩුවට ද අදාළ බව කිව යුතුයි. විශේෂයෙන් එජාපයේ ජනපති සිහින දකින ප‍්‍රබලයෙක් සහ විපක්ෂයේ නවක දේශපාලනඥයෙක් පාස්කු ඉරිදා ප‍්‍රහාරය දේශපාලන ආයෝජනයක් කර ගැනීමට ගන්නා වෑයම ජුගුප්සාජනක බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

මේ තත්ත්වය ලංකාව වැනි පසුගාමී සමාජයකින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. මන්ද දේශපාලන අවස්ථාවාදය විසින් සමාජ – ආර්ථික ආදි සියලූ ප‍්‍රමුඛතා තීරණය කරන අපේ සමාජය තුළ තමන්ගේ ඔඩොක්කුවටම අහඹු ලෙස කඩාපාත් වුණ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දේශපාලන ඉල්ලමක් කර ගැනීම කිසිවෙකු විසින් පැහැර හරිනු ඇතැයි සිතීම මුලාවක්.

හඳ දෙස නොව ඇඟිල්ල දෙස බැලීම

පාස්කු ඉරිදා ප‍්‍රහාරයකයින්ගේ අරමුණ හා න්‍යාය පත‍්‍රය කුමක්ද ? ඒ ගැන විධිමත් සංවාදයක් ජාතික තලයේ දේශපාලනය තුළ හෝ ජනමාධ්‍ය තුළ සිදුවන බවක් දැකිය නොහැකියි. රාවය සහ අනිද්දා පුවත්පත හැරුණු විට ඒ ගැන නූතන හා පිළිගත හැකි විශ්වාසනීය අදහස් රැුගත් ජාතික මාධ්‍ය භූමිකාවක් අපට පසුගිය මාසය තුළ දැකගත නොහැකි වුණා.

දේශපාලන භූමිය තුළ ගත් විට ඇමැති චම්පික රණවක හැරුණු විට අනෙක් දේශපාලනඥයින් යැයි කියා ගන්නා දේශපාලකයින් බොහෝ විට හැසුරුණේ අඳබාලයින් නැතිනම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය තම දේශපාලන පැවැත්මට හා වාසියට යොදා ගන්නේ කෙසේද යන අදහසින් යුතුවයි.
මෙහිදී චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ නායකත්වය විසින් සංවිධානය කළ ‘‘ජාතික මඟ’’ ගැනත් සඳහන් කළ යුතුයි. චම්පික සහ නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ තම දිගුකාලීන දේශපාලන දර්ශනය සහ කියවීම අනුව පොදුවේ පිළිගත හැකි මගක් (යෝජනාවලියක්* ජාතික මග හරහා සමාජගත කිරීමට වෑයම් කළා. ඒත් එදා එම සමාරම්භක සමුළුවේ මුළු අවධානයම දිනා ගත්තේ මාවරලේ භද්දිය හිමියෝ වීම ඇත්තටම කනගාටුවට කරුණක්. මෙම ලේඛකයාගේ අදහස අනුව සිංහල බෞද්ධයින් පිනවීමටම භද්දිය හිමියන් කළ කතාව තුළ ගත යුතු යමක් හෝ ගත යුතු දෙයක් තිබුණේ නැහැ. ඒත් ජනමාධ්‍යවල සම්පූර්ණ අවධානය දිනාගත්තේ ඒක හඬ. ජාතික මග විසින් යෝජනා කළ 07 වැදෑරුම් යෝජනාවලිය පවා කිසිම ජාතික මාධ්‍යයකට පුවතක් වුණේ නැහැ. චම්පිකගේ කතාවේ වුණත් පළ වුණේ ඔවුන්ට අවශ්‍ය කොටස පමණයි.
මෙම ලේඛකයාගේ අදහස අනුව භද්දිය හිමියන්ට පිළිතුරක් දුන්නා සේ මනෝ ගනේෂන් කළ කතාවට කිිසිදු මාධ්‍යයක ඉඩක් ලැබුණේ නැහැ.

මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ චම්පික – නිශාන්ත වැනි සිංහල බෞද්ධ කතිකාවේ ඉදිරියෙන්ම සිටින ප‍්‍රායෝගික දේශපාලනඥයින් සහ න්‍යායාචාර්යවරුන් යැයි සැලකිය හැකි බුද්ධිමතුන් හුදු සිවුර හෝ ජනප‍්‍රිය මාධ්‍ය භාවිතය හමුවේ නිශේධනය වන බවයි. මෙය ඉතාම පැහැදිලිය සැලකිය හැකි වන්නේ ‘‘හඳ දෙස නොව හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමක්’’ ලෙසටයි.

කොටින්ම එදා ජාතික මග වේදිකාවේදී චම්පික හඳ පෙන්වන විට අපේ ජනමාධ්‍ය පහසුවෙන් බැලූවේ ඇඟිල්ල දෙසයි. මෙය සමාජ හා දේශපාලන පසුගාමීත්වයේ සුලභ ලකුණක් බව පැහැදිලි වුණත් එය කිසිසේත් රටට හෝ සමාජයට යහපත් ප‍්‍රවණතාවක් නොවෙයි.
අද රටට වුවමනා හඳ දෙස බලන දැනුවත් මිනිසුන් මිස ඇඟිල්ල දෙස බලන අල්ප මිනිසුන් නොවෙයි.

ළිං මැඩි ආකල්පය

මේ අතර තවත් කරුණක් තිබෙනවා. ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ අයි.එස්. අන්තවාදීන්ගේ මුඛ්‍ය අරමුණ වටහා ගැනීම වෙනුවට තමන්ට හිතූ හිතූ ආකාරයට, තමන්ට දේශපාලන වාසි ලැබෙන ආකාරයට පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ‘‘ජාතකය’’ ලිවීමට යෑමයි. මේ තත්ත්වය අපි කනගාටුදායක ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහගේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන දක්වා අඛණ්ඩව දකිමින් සිටිනවා. ඒ අතර සජිත් පේ‍්‍රමදාස වැනි ප‍්‍රාදේශීයවාදීන් ද තමන්ට කැමැති කැමැති ආකාරයට පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ජාතකය ලියමින් ඉන්නවා.

මෙහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ‘‘අයි.එස්. අන්තවාදීන්ට ජාතික ආර්ථිකය කඩා බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ’’ (අගමැතිවරයාට අනුව මෙම ප‍්‍රහාරය එල්ල වුණේ ජාතික ආර්ථිකය කඩා දැමීමේ අරමුණින් බව පැහැදිලි වෙයි) යන ප‍්‍රකාශය සේම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මේ දැන් වේදිකාවට කැඳවා තිබෙන (අද -20 ජාතික රූපවාහිනි ප‍්‍රවෘත්ති නරඹන්න) ජනපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නායකත්වය දෙන මත්ද්‍රව්‍ය විරෝධී සංග‍්‍රාමය බිඳ දැමීමට ගත් වෑයමක් (එවැනි අදහසක් පහසුවෙන් සමාජගත කිරීමට මාධ්‍ය මෙහෙයුමක් දියත් වෙමින් තිබේ) ලෙස ලඝු කිරීම ද සැලකිය හැකි වන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය තම තමන්ට වාසිදායක ලෙස හා තම නොහැකියාව වසා ගැනීමට යොදා ගන්නා සීතාම්බර සළුවක් වශයෙනුයි.

අනෙක් අතට මෙය ජාත්‍යන්තරව /ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වන අති සංකීර්ණ සහ ව්‍යාප්තවාදී ඉස්ලාම් රාජ්‍ය අන්තවාදය ළිංමැඩි මානයකින් දැකීමක් වශයෙන් ද සැලකිය හැකියි. කොටින්ම මුළු ලෝකයක්ම මුහුණ දී සිටින මේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදය ලංකාව තුළ ලඝු වන්නේ අතිෂයින් ලාමක හෝ සටකපට ප‍්‍රකාශනයක් වශයෙනුයි.

කුරුස යුද්ධය ගැන වැටහීමක් නෑ

ලංකාවේ දේශපාලන අවස්ථාවාදීන් සහ ජනමාධ්‍ය කල්ලි තම තමන්ට අවශ්‍ය ආකාරයට පාස්කු ඉරිදා ප‍්‍රහාරය අර්ථකථනය කරමින් සිටින විට මේ ගැන ප‍්‍රශස්ත විග‍්‍රහයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘‘දිවයින’’ පුවත්පතට කරලා තිබුණා. එහිදී ඔහු ඉතාම පැහැදිලිව කියා තිබුණේ මේ ප‍්‍රහාරය ඉස්ලාම් ලෝකය සහ කතෝලික ලෝකය අතර සිදුවන අඛණ්ඩ කුරස යුද්ධයේ ප‍්‍රකාශනයක් බවයි. අයි.එස් ත‍්‍රස්තයින්ගේ ඉලක්කය කතෝලිකයින් හා විදේශිකයින් නොවී සිංහල බෞද්ධයින් වුණා නම් මෙතරම් ජාත්‍යන්තර අවධානයක් හෝ අනුකම්පාවක් ලංකාවට නොලැබෙන බව ඔහු එහිදී ඉතාම හොඳින් පැහැදිලි කර දුන්නා.

ඊළඟට පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ නියම අරමුණ ප‍්‍රකාශයට පත් කළේ අයි.එස්. අන්තවාදීන් විසින්මයි. ජාත්‍යන්තර මාධ්‍ය විසින් මහත් ඉහළින් වාර්තා කළ අයි.එස්. නායක අබුබකර්ගේ වීඩියෝවෙන් කිය වුණේ ‘‘කුරුස යුද්ධයක්’’ ගැන සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට කරන තර්ජනයක් මිස සිංහල බෞද්ධයින්ට එරෙහි ඉස්ලාම් තර්ජනයක් නොවෙයි.

මේ බව ඉතාම හොඳින් පැහැදිලි කළ එක් විචාරකයෙක් කීවේ,

‘‘අයි.එස්. ත‍්‍රස්තවාදීන්ට ඉතාම පහසුවෙන් සිංහල බෞද්ධයින්ව ඉලක්ක කර ගන්න තිබුණා. ඒත් ඔවුන් ඉලක්ක කළේම කතෝලිකයින් සහ ධනවත් බටහිර සංචාරකයින්. ඒකෙන්ම මේ ප‍්‍රහාරකයින්ගේ නියම අරමුණ වටහා ගත හැකි’’ බවයි.

එහිදී පසුගිය දශකය පුරා ගෝලීය වශයෙන් සිදු වූ අයි.එස් ප‍්‍රහාර පිළිබඳ දත්ත ප‍්‍රකාශ කරමින් ඔහු අවධාරණය කළේ අයි.එස්. අන්තවාදීන්ගේ ඍජු ඉලක්කය වුණේ කතෝලිකයින්, ෂීයා මුස්ලිම්වරුන් සහ බටහිර ජාතීන් බවයි.

‘‘ඔවුන් පසුගිය කාලයේ කිසිදු අවස්ථාවක බෞද්ධයින් ඉලක්ක කර නැහැ. ඔවුන්ගේ ප‍්‍රමුඛ ඉලක්කය කතෝලිකයින් සහ බටහිර ජාතීන්’’ ඔහු තාර්කිකව යථා තත්ත්වය පැහැදිලි කළා.
වඩාත් පරීක්ෂාවෙන් පසුගිය කාලය තුළ ගෝලීය වශයෙන් අයි.එස් ප‍්‍රහාර එල්ල වූ ස්ථාන සහ රටාවන් නිරීක්ෂණය කරන විට තත්ත්වය පිළිබඳ යථාවබෝධයක් ලබාගත හැකියි.

මේ සමග කොළඹ අගරදගුරුතුමාගේ උපකල්පනය ද බිඳ වැටෙන බව පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතුයි.

කල දුටු කල වළ ඉහ ගැනීම


මෙහි තවත් දිගුවක් ද දැකිය හැකියි. ඒ ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එය සම්මත වීම වළක්වා ගැනීමට මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂයත්, දැන් දැන් සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ එජාප පිරිසකුත් ගන්නා උත්සාහයයි.

මේ තත්ත්වය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කෝණයෙන් බැලූ විට, ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කළොත් අයි.එස් අන්තවාදයට වැට බඳින්න පුළුවන්. එල්ලන්න පුළුවන්. එහෙම නැතිනම් කිසිවක් බැහැ’’ යන අදහසක් දෙන බව පැහැදිලියි. ඒත් ප‍්‍රති ත‍්‍රස්ත පනත කෙටුම්පත් කළේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට බොහෝ කලින් නිසා අගමැතිවරයාගේ තර්කය බිඳ වැටෙනවා. ඔහු කරන්නේ කල දුටු කල වළ ඉහ ගැනීමට තැත් කිරීමක් බව පැහැදිලියි.

එවිට ප‍්‍රති ත‍්‍රස්ත පනතට ප‍්‍රතිපක්ෂ කල්ලියට අලූතින්ම එක්ව සිටින සජිත් පේ‍්‍රමදාස ඇතුළු කල්ලිය ? ඔවුන් මේ සූදානම් වන්නේ පක්ෂය (නායකයා) බිල්ලට දී, නායකයා ජනතාව අතර අසරණ කර තමන්ගේ ගමන යාමට බව පැහැදිලියි.

ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් එල්ලන්න නීති නැති බව දැන දැනම සජිත් ඇතුළු දේශපාලනඥයින් ‘‘ත‍්‍රස්තවාදීන් එල්ලන්න’’ කියන්නේ මේ අවස්ථාවාදය නිසා බව පැහැදිලියි.

තැටිය රත්වූ විට රොටිය පුච්චා ගැනීම

‘‘තැටිය රත් වූ විට රොටිය පුච්ච ගන්න’’ ජනතාව අතර කාලයක් තිස්සේ ප‍්‍රචලිතව තිබූ මේ කියමනට දේශපාලන වටිනාකමක් ලැබුණේ 2015 ජනපතිවරණයෙන් ‘‘හංසයා’’ ජයග‍්‍රහණය කළ විටයි. මේ කතාව කිවුවේ පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව සිංහල බෞද්ධ සමාජය වෙතින් ලක්ෂ 20ක් පමණ වන සමස්ත ශ‍්‍රී ලාංකික මුස්ලිම් සමාජයට එල්ල වන දැඩි සහ නිර්දය පීඩනය සැලකිය හැකි වන්නේ ‘‘තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමක්’’ නැතිනම් අවස්ථාවාදී ‘‘කල දුටු කල වළ ඉහ ගැනීමක්’’ වශයෙනුයි.

‘‘මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම’’
‘‘ෂරියා විශ්වවිද්‍යාලයට රජයට පවරා ගැනීම’’
‘‘මද්‍රසා පාසල් වසා දැමීම’’
‘‘බුර්කාව ඇතුළු ඇඳුම් හා පැළඳුම් තහනම් කිරීම’’
‘‘මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොකිරීම’’
‘‘මුස්ලිම් සමාජය අතර පවතින බාල වයස්කාර විවාහා තහනම් කිරීම’’
‘‘මුස්ලිම් විවාහ ක‍්‍රමය අදිය තහනම් කිරීම’’
‘‘හලාල් සහතිකය තහනම් කිරීම’’
‘‘ජාතීන් වශයෙන් දේශපාලන පක්ෂ බිහි කිරීම තහනම් කිරීම’’ මේ අතර ප‍්‍රමුඛයි.

එයටම අදාළ යැයි කිව හැකි ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය (2005 සිට 2015 දක්වා ඔහු සමග එකට කැබිනට් මණ්ඩලයේ සිටියත්* ද මේ ප‍්‍රකාශනයේම දිගුවක් ලෙස සැලකිය හැකියි.

ඇත්ත තත්ත්වය කුමක් ද?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළේ ලංකාවේ ආර්ථිකය බිඳ දැමීමට හෝ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන අඩපණ කිරීමට යන ඊනියා තර්ක හා සමානවම ඉහත සඳහන් ඉල්ලීම් ද අවස්ථාවාදියි.
මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ ‘ෂරියා විශ්වවිද්‍යාලය’’ පිළිබඳ ඊනියා විරෝධයයි. මාළමේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වගේම රාජපක්ෂ කාත්තන්කුඩි ඊනියා ෂරියා විශ්වවිද්‍යාලයත් රාජපක්ෂ ආණ්ඩුවේ දායාදයක් බව බව අපි අමතක නොකළ යුතුයි. අද ඒ මරාලයට කර ගැසීමට සිදුව ඇත්තෙත් වත්මන් ආණ්ඩුවටයි.

ඒත් මෙහිදී අවධානයට යොමු කළ යුතු ප‍්‍රශ්නය වන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල කළ කිසිවෙක් මේ ඊනියා ෂරියා විශ්වවිද්‍යාලයේ පස් පෑගූවන් හෝ නොවීමයි. මහා බි‍්‍රතාන්‍ය සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු කීර්තිමත් විශ්වවිද්‍යාලවල ඔවුන් ඉගෙන ගත් බවයි ආරක්ෂක අංශ කියන්නේ.

තහනම් කරන ලද ඇඳුම් සම්බන්ධ තත්ත්වය ද එයම බවයි පැහැදිලිව පෙනී යන්නේ. මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා පැමිණි සියලූම පිරිමින් පැමිණියේ තරුණයින් අතර අතිෂය ජනප‍්‍රිය ඩෙනිම් කලිසම සහ විශාල බෑගය කරේ එල්ලා ගෙන බව ඉතාම පැහැදිලිව හඳුනා ගත හැකියි. ඒත් ‘‘මුවා පැනගිය පසු මුව හමට තබි බාන්නා සේ’’ ජාතික ආරක්ෂාවේ නාමයෙන් පහසු ගොදුර බවට පත් වුණේ හිජාබය ද ඇතුළත් වන බුර්කාව (එය ගැටලූ සහගත බව මධ්‍යස්ථ මතවාදීන්ගේ ද අදහසයි) වැනි ඇඳුම් කාණ්ඩයයි.

ඒ සමග මද්‍රසා පාසල් ගැන ද ඇති විවේචනය ගැන මධ්‍යස්ථ මතවාදීන් පවසන්නේ ආණ්ඩුව මෙකී මද්‍රසා පාසල් පමණක් නොව හතු පිපෙන්නා සේ බිහිවන ජාත්‍යන්තර පාසල් පවා කිසි විටක අධීක්ෂණය නොකරන බවයි. එවැනි යාන්ත‍්‍රණයක් හෝ දැක්මක් ආණ්ඩුවට නොමැති බවයි.
මේ සියලූ තත්ත්වයන් තුළ පැහැදිලිව පෙනී යන්නේ තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ නොනිමි ආසාවෙන් සිංහල බෞද්ධ සමාජය පෙළෙන බවයි.

‘‘දැන් මුස්ලිම් සමාජය වැරදිකරුවෝ වෙලා ඉවරයි. ඔවුන් පරාජිතයෝ වෙලා ඉවරයි. ඒ නිසා ජයග‍්‍රාහකයාට ඔවුන් මත ඕනෑම පීඩනයක් යෙදෙවිය හැකියි. එය හරියට කොටි ත‍්‍රස්තවාදීන් පරාජයට පත් කළ විට දෙමළ සමාජයට එල්ල කළ පීඩනය වාගේ. ඔවුන්ට කිසිවක් නොදී ආධිපත්‍ය පමණක් පැටවිය හැකියි. දැන් දැන් සිදුවන්නේ එයයි. සිංහල සමාජයට අනපේක්ෂිත ලෙස සමස්ත මුස්ලිම් සමාජය මතත් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න හැකියාව ලැබී තිබෙනවා. මෙය ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තත්ත්වයක්. ඒ නිසා ඔවුන් තමන්ට හැකි සියල්ල කරන බව සහතිකයි. එදා දමිළ සමාජයටත් වඩා අද මුස්ලිම් සමාජය අසරණයි’’

මේ ලියුම්කරු සමග මහින්ද රාජපක්ෂ යුගයේ සිට ජාතික ගැටලූව දෙස බොහෝම මධ්‍යස්ථව බලන මුස්ලිම් බුද්ධිමතෙක් කියා සිටියා.

මෙතැනින් කොතැනටද ?

ප‍්‍රශ්නයට පිළිතුර ඉතාම පැහැදිලියි. මෙම ලියුම්කරුගේ අදහස වන්නේ අති තියුණු මැතිවරණයක් වීමට තිබූ ඉදිරි ජනාධිපතිවරණය 2010 ජනාධිපතිවරණ පැවැති සමාජ – දේශපාලන වාතාවරණයටම ලඝු වුණ බවයි. ඒ වගේම මෙකී මැතිවරණයේදී දැවැන්ත ප‍්‍රචණ්ඩත්වයක් ද අත්විඳීමට සමස්ත සමාජයටම සිදුවන බවයි. පසුගිය මැයි 13 වැනිදා පැමිණියේ එහි කසකරුවන් පමණක් බව අප සියලූ දෙනාම අවබෝධ කරගත යුතුයි.

ජාතිවාදය හා අවස්ථාවාදය හෝද හෝද මඬේ දමන මෙවැනි අවස්ථාවාදී සමාජයකින් තවත් කුමක් බලාපොරොත්තු වන්නද ? අපි නැවත 2010ට නැතිනම් 2015 ජනවාරි 07 වැනිදාට ගමන් කර ඇති බව සක්සුඳක් සේ පැහැදිලියි.

තැටිය රත් වූ විට රොටිය පුච්චා නොගත් විපාක තමයි මේ අපේ සෝහිත හාමුදුරුවනේ.

සටහන – රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor