ඉන්දීය මැතිවරණ කොමිෂම ගැන ඇමෙරිකාවට විශ්වාසයි – රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා

ඇමෙරිකා එක්සත් ජනපදයට ඉන්දීය මැතිවරණ කොමිෂම ගැන විශ්වාසයක් තිබෙන නිසා ඇමෙරිකාව ඉන්දීය මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා අනෙක් රටවල් මෙන් නිරීක්ෂකයින් එවීමට පියවර නොගන්නා බවත් කුමන් ආණ්ඩුවක් බලයට පත් වුව ද ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා මෝගන් ඕසේගස් මහත්මිය පවසයි.

මෝගන් ඕසේගස් මහත්මිය ඉන්දියාවේ ප‍්‍රකට පුවත්පතක් වන ‘ද හින්දු’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළාය.

තව දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද ප‍්‍රකාශ කළාය.

“ඉන්දීය මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් අපි ඔවුන් සමඟ වැඩ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් මම කියන්න කැමැතියි. ඡන්දය ගණන් කිරීම, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සාමකාමීව සහ සාධාරණ ලෙස අවසන් වනු ඇතැයි අප විශ්වාස කරනවා. ඉන්දීය මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය නිසා අනෙක් රටවල් වගේ අපි ඉන්දියාවට මැතිවරණ නිරීක්ෂකයන් යවන්නේ නැහැ” 

“විවිධ අංශවලින් අපි ඉන්දියාවත් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. ඉන්දියාව සමඟ අපට ඉතා ශක්තිමත් සබඳතාවක් තිබෙනවා. ඉන්දියාවේ අපේ අවංක සහ ශක්තිමත් උපායමාර්ගික පාර්ශවකරුවෙක්. ඒ බව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ද කිහිපවරක්ම පවසා තිබෙනවා”

“ඉන්දීය මහ මැතිවරණය මානව ඉතිහාසයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය බව කෙනෙක් මට අද මතක් කළා. ලෝකයේ හැමතැනම වෙන දේවල් ගැන බලද්දි එවැනි අති විශාලම මහ මැතිවරණයක් සාමකාමීව අවසන් කිරීම ගැන අපි ඉන්දීය ජනතාවට කෘතඥ වෙන්න ඕනේ” රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා මෝගන් ඕසේගස් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Recommended For You

About the Author: Editor