ලෝක කුසලානය දිනා ගන්නේ කවුද කියලා ලාරාගෙන් අහමුද ?

ලෝකයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් පුලපුලා බලාසිටින ලෝක කුසලානය තරග ආරම්භ වීමට ඇත්තේ තව හරියටම සතියයි. දින 07යි. ලබන සතියේ හරියම අද වැනි බ‍්‍රහස්පතින්දා දිනයක මේ අසිරිමත් මංගල්‍යය ආරම්භ වේවි. මේ ඒ ගැන අලූත් ම තොරතුරු.
අනාවැකි නම් ඕනෑ තරම්

අපි කවුරුත් අනාවැකි ගැන අහන්න බොහොම කැමතියි. ඒකට පෙරදිග – අපරදිග, දුප්පත් – පොහොසත් කියලා භේදයක් නැහැ. ඒ නිසා අපි අපේ පුද්ගලික ජීවිතයේ දී වාගේම සමාජයීය ජීවිතයේදීත් අනාවැකි ගැන අහන්න බොහොම කැමැතියි.

ක‍්‍රීඩාවේදීත් බොහෝ විට නොවෙයි අනිවාර්යයෙන්ම අනාවැකි කියනවා. ඒ අනාවැකි නිසා ඇතැම් බුකිකරුවෝ, ඔට්ටු අල්ලන්නෝ, සූදු අන්තුවෝ ඇතැම් විට මිලියනපතියෝ වෙන්නත් ඉඩ තියෙනවා.

කොහොම වුණත් ක‍්‍රීඩාවේ අනාවැකි කීම ගැන පසුගිය කාලේ ප‍්‍රසිද්ධියට පත් වුණේ ‘‘පෝල්’’ කියන බූවල්ලා. ඒ ලෝක පාපන්දු තරගාවලියේදී. ඒත් පසුගිය කාලේ මෙවැනි මාධ්‍ය විජ්ඡුා සිදු වුණත් ඒ ගැන වැඩි අවධානයක් යොමු වුණේ නැහැ.

දැන් ලෝක කුසලානය ගැන අනාවැකි කියන්නේ ප‍්‍රවීන ක‍්‍රීඩකයෝ, ක‍්‍රීඩා විචාරකයෝ. විචාරකයෝ කියන කතා කොහොම වෙතත් සුපිරි ක‍්‍රීඩකයෝ කියන කතාවලට නම් ලොකු වටිනාකමක් තිබෙනවා.

සුපිරි පිතිකුරු බ‍්‍රයන් ලාරා කියන අනාවැකි

මේ බ‍්‍රයන් ලාරා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙක්. සුපිරිම සුපිරි පිතිකරුවෙක්. කාලයක් ක‍්‍රිකට් ලෝලීන්ගේ සුපිරි වීරයා බවට ලාරා පත් වෙලා හිටියා. ඒත දැන් ලාරා ක‍්‍රිකට් පිත්ත අරගෙන පිටියට බහින්නේ නැහැ. ඒ ඔහු දැන් 50 වියැති නිසා. ඒත් ලාරා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිිටිය වටේ හැමදාම රවුම් ගහනවා. ඒ ගැන අධ්‍යයනය කරනවා. ඒ නිසා ම ලාරා කියන අනාවැකිවලට වැඩි වටිනාකමක් හිමි වෙනවා.

සත්කාරක එංගලන්තය ගැන

මෙවර ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරන්නේ එංගලන්තය. ඒ නිසා එංගලන්ත කණ්ඩායමට මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ සත්කාරකත්වය දරන නිසාම නොවෙයි. එංගලන්ත පිල මේ වන විට ක‍්‍රිකට් ලෝකයේ සුපිරිම කණ්ඩායම බවට පත්වෙලා එක් දින ශ්‍රේණිගත කිරීම් අතර පළමු තැන ඉන්න නිසා. පසුගිය දා අවසන් වූ පාකිස්ථාන – එංගලන්තය එක්දින තරගාවලිය 4-0ක් ලෙස අපරාජිතව ජයග‍්‍රහණය කරමින් ජයග‍්‍රාහී මානසිකත්වයක ඉන්න නිසා.

මේ තත්ත්වය තුළ ලාරා එංගලන්ත කණ්ඩායම ගැන කියන්නේ මෙවැනි අනාවැකියක්.

‘‘මෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී පෙරළියක් කළ හැකි කණ්ඩායම් අතර එංගලන්තය ද සිටිනවා. මම දන්නේ එංගලන්තය මෙවර අනිවාර්යයෙන්ම ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම ද කියලා. ඒත් ඔවුන්ට වාසි කිහිපයක් තිබෙනවා. මෙවර සත්කාරකත්වය දරන්නේ. ඔවුන්. ඒ නිසා හැමදාම සිදු වුණ විදිහට සත්කාරක රට විදිහට ඔවුන් තමන්ගේ උපරිමය කරාවි. ඒ වගේම තමයි එංගලන්ත කණ්ඩායම කියන්නේ හොඳ තරගයක් ලබාදිය හැකි කණ්ඩායමක්’’ ලාරා එංගලන්ත කණ්ඩායම ගැන තම අදහස කියනවා.

‘‘ලෝකයට ක‍්‍රිකට් හඳුන්වලා දුන්නේ එංගලන්තය වුණාට, ඔවුන්ට 1975දී ආරම්භ වූ එක්දින ලෝක කුසලානය එක්වරක්වත් තම රටට ගෙන යන්න නොහැකි වුණා. ඒත් ඒ සෑම තරගයකදීම එංගලන්තය ඉතාම හොඳින් ක‍්‍රීඩා කළා. ඒත් මං දකින ආකාරයට මෙවර ලෝක කුසලානයට ඉදිරිපත් වන එංගලන්ත කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගෙන් මීට පෙර දැකගත නොහැකි වූ තරගකාරීත්වයක් වගේම දක්ෂතා මෙවර දැකබලා ගන්න හැකිවේවි කියලා මම හිතනවා’’

කොදෙව් කණ්ඩායම ගැන

ලාරාට තම මවුබිම, එනම් බටහිර ඉන්දිය කොදෙව් ගැන තිබෙන්නේ මෙවැනි අදහසක්.

‘‘ලෝක කුසලානය දිනා ගන්නවා කියන්නේ දැඩි කැපවීමක් වගේම සුපිරි දක්ෂතාත් අවශ්‍යම අවස්ථාවක්. මමත් අපේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නායකත්වය දුන්නා. ක‍්‍රීඩා කළා. ඒත් අපිට 1975 දී පැවැති මුල්ම ලෝක කුසලානයට පමණයි මේ දක්වා හිමිකම් කියන්න හැකියාව ලැබුණේ. ඒත් අපේ කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන නම් මට සෑහීමට පත් වෙන්න බැහැ. ඔවුන් හොඳ ශක්තිමත් කණ්ඩායමක් නොවෙයි. ඒත් ඔවුනුත් උත්සාහ කරයි, උපරිමයෙන් එය සිදු කරයි’’ ලාරා කියනවා.

ඕස්ටේ‍්‍රලියාව ගැනත් විශ්වාසයක්

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම එක්දින කණ්ඩායම් අතර කලක් සුපිරිම කණ්ඩාම බවට පත්ව සිටියා. පසුගිය ලෝක කුසලානය දිනා ගත්තෙත් ඔවුන්ම තමයි. ඒ හැර තවත් කිහිප අවස්ථාවක දීම ලෝක කුසලානයේ පහසත් විඳ තිබෙනවා. ඒත් ලාරා කියන්නේ 1999, 2003 වර්ෂවල තිබුණු සුපිරි තත්ත්වය අද ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සතුව නැති බවයි.

‘‘ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පසුගිය කාලයේදී යම් යම් අවස්ථාවල අපකීර්තියට පත් වුණා. ඒත් ඔවුන් ගැන කිසිසේත් අවතක්සේරු කළ නොහැකියි. 1999, 2003, 2015 ලෝක කුසලාන සඳහා එක් වූ සුපිරි කණ්ඩායම අද දැකිය නොහැකි වුවත් ඬේවිඞ් වෝනර්, හිටපු නායක ස්ටීවන් ස්මිත් නැවත කණ්ඩායමට එක්වීම තුළ ඔවුන්ට ශක්තිමත්භාවයක් ලැබී තිබෙන බවක් දැකිය හැකියි. අපි අමතක නොකළ යුතු වැදගත්ම දේ තමයි ඔවුනුයි පසුගිය ලෝක ශූරයින් වුණේ. ඒ නිසා ඔවුන් මෙවරත් තම උපරිමය කරන බව නම් පැහැදිලියි’’

ඉන්දියාව තමයි ලාරාගේ තේරීම

ඉන්දීයාවට ක‍්‍රිකට් කියන්නේ දෙවියන්ගේ තෑග්ගක්. පසුගිය අයි.පී.එල් තරගාවලියෙන් උන්මාදයට පත්ව සිටින ඉන්දීය ක‍්‍රිකට් ලෝලීන්ගේ ඒකායන බලාපොරොත්තුව ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම තවත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමක් වෙනවා දකින එක.

ඒත් ලාරා ඒ ගැන කියන්නේ මොකක්ද ?

‘‘ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග‍්‍රහණය කරන බව කීවොත් එය පුදුමයට කරුණක් නොවෙයි. ඒකට හේතුව තමයි ඔවුන් ඉන්දියාව තුළදී වගේම වෙනත් රටවලදීත් ඒ පරිසර තත්ත්වයන්ට මනාව ගැළපෙන ලෙස ක‍්‍රීඩා කළ හැකි කණ්ඩායමක් වීම’’

මෙහිදී ලාරා කියන්නේ ඉන්දීය කණ්ඩායමේ ශක්තිය ගැන තමාට සැකයක් නැති බවයි.

‘‘ඉන්දීය කණ්ඩායම ඉතා සමබර කණ්ඩායමක්. ඒ වගේම ඔවුන්ට ලෝකයේ ඕනෑම තැනක ඉතාම හොඳින් ක‍්‍රීඩා කළ හැකියි. ඒ නිසා අපි කිසිසේත්ම ඉන්දියාව ලෝක කුසලානය රැුගෙන ගියොත් ඒ ගැන පුදුම විය යුතු නැහැ. මොකද ඉන්දීය කණ්ඩායමේ ශක්තිය ගැන නම් කිසිම සැකයක් නැහැ’’

මේ ලාරා ලෝක කුසලානය ගැන කියන අනාවැකි.

සටහන – කුසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor