අනුරාධපුරයේ ළමුන් 10,000කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන ‘සහල් සබලකරණ ව්‍යාපෘතිය’ ක්‍රියාවට නැංවේ

‘සබලකරණය’ හෙවත් නිසි පෝෂක එක් කරන ලද ආහාර පාසල් දරුවන් වෙත ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්  කෘෂිකර්ම අමාත්‍යංශයත්, ලෝක ආහාර සංවිධානයත් එක්ව ආරම්භ කර තිබේ. මෙහිදී නිසි  පෝෂක එක්කර සැකසූ සහල් වලින් පිසින බත්, පාසල් දරුවන්ගේ ආහාරයට එක් කිරීමට නියමිතය.

ප්‍රධාන ආහාරයක් ලෙස බත් පරිභෝජනය කරන නිසා එය සාර්ථක ක්‍රමයක් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ අදහස වී තිබේ. උතුරු මැද පලාතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂ හඳුන්වාදීමේ වැඩසටහනක් අද (24) අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවැත්වුණේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව  අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 102 කට අයත් ළමුන් දස දහසකට  අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන මෙම සහල් සබලකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වේ.

උතුරු මැද පළාතේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්ෂණ වල දී හෙලි වී ඇත. මෙම වැඩසටහනට සහභාගී වූ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සමන් බන්දුලසේන මහතා සඳහන් කළේ ළමුන්ගේ ඌණ පෝෂණ තත්ත්වය සෘජුවම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ යාමට බලපාන බවයි. එම නිසා මෙම සබලකරණය කරන ලද සහල්වලින් සැකසූ ආහාර පාසල් දරුවන්ට පමණක් නොව, උතුරු මැද පළාතේ සිටින හතලිස් පන්දහසක් පමණ වන පෙර පාසල් දරුවන්ට ද ලබා දීම යෝග්‍ය බව පලාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

මෙම  පෝෂ්‍ය ආහාර වැඩසටහන සඳහා මුල්‍ය හා තාක්ෂණික සහය ලබාදෙන්නේ ලෝක ආහාර සංවිධානය යි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයත් , පෝෂණ ලේකම් කාර්යාලයත් , ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයත් මේ සඳහා අනගි සහයක් ලබාදීම අගය කරන බව සභාව ඇමතූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Recommended For You

About the Author: Editor