පොදු සමාවෙන් ජනපතිට නඩු වැටේ ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සදහන් කළාය.

ජනාධිපති සිරිසේන මහතා   විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් ඇය එහිදී සඳහන් කළාය.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

මේ අතර මැයි 26 වැනිදා ‘අනිද්දා’ පුවත්පතට (පිටුව 03) ‘‘ඥානසාර හිමිට සමාව දීමෙන් ජනාධිපති, අධිකරණයට අපහාස කරයි, මුස්ලිම් ජනතාව බියපත් කරයි’’ මැයියෙන් ලිපියක් සම්පාදනය කරන අනිද්දා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ, කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා සඳහන් කරන්නේ, පෙබරවාරි 04 වැනිදා ඥානසාර හිමිට සමාව දීමට ජනපතිවරයා සූදානම් වන බව ආරංචි වූ විට ඊට එරෙහිව නඩු පැවරීමට සූදානම් වූ රටේ ප‍්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායම දැන් ඒ සඳහා සූදානම් වෙමින් සිටිති’’ යනුවෙනි.

මේ අතර ඥානසාර හිමියන්ට ජනාධිති පොදු සමාජ දීමට විරෝධය පළ කරමින් දමිළ ජාතික සන්ධානය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී දැන්වෙන්නේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීමට ජනපතිවරයා ගත් තීරණය හරහා රටට වැරදි පණිවුඩයක් ලබාදී ඇති බවයි.

Recommended For You

About the Author: Editor