– භාතියගේ සතිඅග විපරම- බුද්ධි අංශ දඩයමේ ඇත්ත කතාව

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වී එහි ලේ පැල්ලම් වියළී යාමටත් පෙර පොහොට්ටු කල්ලිය ප‍්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඉදිරියට පැමිණියා. ඒ අතර පසුගිය කාලය පුරාම රාජපක්ෂ කල්ලිය සම කල්ලි ගැසී සිටි භික්ෂූ බලවේග ද කරට කර සිට ගත්තා.

මෙහිදී එක්වරම සමාජගත වූ ප‍්‍රචාදය වුණේ ‘‘බුද්ධි අංශ දඩයම් කළ නිසයි මේ අපරාධය සිදු වුණේ ’’ සහ ‘‘අපි බලයේ හිටියා නම් මේ දේ වෙන්නේ නැහැ’’ කියන සාම්ප‍්‍රදායික ප‍්‍රවාද දෙකයි.

ප‍්‍රහාරය සිදු වූ දාම විශේෂ ප‍්‍රකාශයක් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පුන පුනා ප‍්‍රකාශ කළේ බුද්ධි අංශ සාමාජිකයින්ගෙන් භාගයක්ම සිරගත කරලා තිබෙන වාතාවරණයක් තුළ මෙවැනි දෙයක් සිදුවීම පුුදුමයට කරුණක් නොවන බවයි. ඒ සමග සභාවට පැමිණි අස්ගිරි පාර්ශ්වය ප‍්‍රමුඛ භික්ෂූ කණ්ඩායම් ද විශේෂ නිවේදන නිකුත් කරමින් අත්අඩංගුවේ සිටින සියලූම බුද්ධි අංශ සාමාජිකයින් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට ආණ්ඩුවට යෝජනා කළා.
මහින්ද සහ අස්ගිරිය මේ ආකාරයෙන් අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ සාමාජිකයින් ගැන සාවද්‍ය ප‍්‍රචාර අඛණ්ඩව නිකුත් කරද්දී සුපුරුදු ලෙසම ආණ්ඩුව දැක්වූයේ උදාසීන ආකල්පයක්. මහින්ද හෝ අස්ගිරිය නිවැරදි කිරීමට ආණ්ඩුව ප‍්‍රබල ලෙස මැදිහත් වුණේ නැහැ. ඒත් යම් ප‍්‍රමාදයක් සහිතව හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් තොරතුරු එළියට ආවා.

‘‘සිද්ධ වුණේ බුද්ධි අංශ දුර්වල වීම හෝ බුද්ධි අංශවලට අදාළ තොරතුරු වාර්තා නොවීම නොව බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු අනුව අදාළ බලධාරීන් ක‍්‍රියාත්මක නොවීමයි’’ යන කතාව සමාජගත වන විට රාජපක්ෂ කල්ලිය අඩියක් පසුපසට ගත්තා. ඒ සමග ආණ්ඩුව පැත්තෙන් තවත් කතාවක් එළියට ආවා. ඒ අත්අඩංගුවේ හෝ ඇප පිට සිටින බුද්ධි අංශ සාමාජිකයින් සංඛ්‍යාව ගැන විස්තරයයි.

‘‘පසුගිය යුගයේ සිදු වුණ විවිධ ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ පහරදීම් ආදියට සැකපිට අත්අඩංගුවට ගෙන හෝ ඇප පිට සිටින්නේ බුද්ධි අංශ සාමාජිකයින් 12 දෙනෙක් පමණයි’’ කියලා ආණ්ඩුව උත්තර බැන්ඳා. ඒත් ආණ්ඩුවේ ඒ ප‍්‍රකාශයට රෙජිම මාධ්‍යවලින් කිසිදු ඉඩක් නොලැබුණා පමණක් නොව පාස්කු ඉරිදා සමාජගත කළ ප‍්‍රවාදය ඔවුන් විසින් දිගින් දිගටම නඩත්තු කළා. පුදුමයට කරුණ වන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය බුද්ධි අංශවල දුර්වලතාවක් නොව ඒ අනුව ක‍්‍රියාත්මක වීම භාරව සිටි ඉහළ නිලධාරීන්ගේ දුර්වලතාව හෝ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව දිගින් දිගටම තහවුරු වෙමින් තිබියදී (පොලිස්පති සහ ආරක්ෂ ලේකම් ඉවත් කිරීමට සිදු වුණේ මේ නිසා බව අමතක නොකරන්න) අදත් මේ බුද්ධි අංශ දඩයම ගැන ඊනියා රෙජිම මාධ්‍ය හා රාජපක්ෂ රෙජිමය විලාප දීමයි.

බුද්ධි අංශ දඩයමේ ඇත්ත කතාව

ඊනියා බුද්ධි අංශ දඩයම ගැන විපක්ෂය ඝෝෂා කරන විට පැහැදිලිව පෙනී යන්නේ මේ ඝෝෂාව හුදු බුද්ධි අංශ රැුක ගැනීමට හෝ බුද්ධි අංශවල ගරුත්වය රැුක ගැනීමට කරන අවංකව කරන ඉල්ලීමක් නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම රෙජිමයේ ප‍්‍රබලයින්ගේ පුද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් අනීතිකව දඩයමේ ගිය දඩබල්ලන් කිහිප දෙනකු රැුක ගැනීමට ස්වාමියා විසින් ගන්නා උත්සාහයක් වශයෙන් සඳහන් කළ හැකියි.

මේ බව මනාව පැහැදිලි වන්නේ ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සංඛ්‍යාව සහ ඇත්තටම අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින හෝ බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් සංඛ්‍යාව ගැන තොරතුරු විමසන විටයි.

පසුගිය හිටපු යුද්ධ හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලින් හෙළි වුණ ආකාරයට ලංකාවේ බුද්ධි අංශවලට ඍජුව සම්බන්ධ නිලධාරීන් 12,000ක් පමණ ද පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් වැටුප් /දීමනා ගෙවන ඔත්තුකරුවන් විශාල පිරිසක් ද සිටිනවා. උදාහරණයක් ලෙස ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් ගැන කියමින් රට ගිනි තියපු නාමල් කුමාර නැමැත්තාත් අයත් වන්නේ බුද්ධි අංශ නිලධාරීන් අතරට. ඔහු පොලිස් ඔත්තුකරවෙක් ලෙස සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ. ඒ සමග පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග එළියට පැමිණි නිල වාර්තා කියන්නේ ජාතික තවුහික් ජමාත් ඇතුළු මුස්ලීම් අන්තවාදී කල්ලිවල විශාල පිරිසක් ද පසුගිය රජය කාලේ ආණ්ඩුවෙන් වැටුප් හෝ දීමනා ලබා ඇති බවයි.

ඒ අනුව ලංකාවේ බුද්ධි අංශ ගැන හා ඒවායේ හැසිරීම ගැන අවබෝධයක් ලබාගත හැකියි.

දඩ බල්ලෝ

මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ ආරක්ෂක අංශවලට හා පොලිස් බුද්ධි අංශවලට සම්බන්ධ ප‍්‍රබලයින් කිහිප දෙනකුම අවධාරණය කළේ පසුගිය 2015 ජනවාරිි 09 වැනිදා සිදු වූ ආණ්ඩු මාරුවේ සිට කාලයක් ගත වන තෙක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ බුද්ධි අංශ සාමාජිකයින්ගේ සංඛ්‍යාව අතලොස්සක් බවයි. එය සමස්ත බුද්ධි අංශ සමග සසඳා බලන විට නොසැලකිය යුතු තරම් අල්ප සංඛ්‍යාවක් බව ද ඔවුන් සඳහන් කළා.

‘‘පසුගිය කාලේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළේ ඇත්තටම සීමිත සිදුවීම් ගණනක් සඳහා පමණයි. අවශ්‍යතාව තිබුණා නම් ඊටත් වඩා සිදුවීම් තිබුණා. ඒත් ඇත්තටම ප‍්‍රශ්න කළේ ජාතික හා ජාත්‍යන්තරව අවධානය යොමු වුණ සිදුවීම් කිහිපයක් ගැන පමණයි. ඒවායින් වැඩි සංඛ්‍යාව ජනමාධ්‍යවේදීන් පහරදීම්, ඝාතනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ පරීක්ෂණ. ඒ අතර තරුණ ළමුන් 11 දෙනෙක් අතුරුදන් කිරීම හා සම්බන්ධ පරීක්ෂණයත් තිබුණා. මේ සියල්ලටම වාගේ නම ගෑවිලා හිටියේ බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනකු හෝ එක් කල්ලියක් පමණයි. ඔවුන් හිටපු පාලකයින්ගේ පුද්ගලික අවශ්‍යතා මත ක‍්‍රියාත්මක වුණ කල්ලි බව පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකියි. මොකද මේ කිසිදු සිදුවීමක් ජාතික ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ඒවා’’

මේ තමන් ද ඇතුළුව තම සේවාවේ ගරුත්වය හා කීර්තිය වෙනුවෙන් උන්නදු වෙන ආරක්ෂක අංශ නිලධාරීන් වේදනාවෙන් හා අපේක්ෂාභංගත්වයෙන් යුතුව කියන කතා.

මේ ඊනියා බුද්ධි අංශ දඩයම ගැන විලාප තබන රෙජිම පාලකයින්ගෙන් හෝ රෙජිමය යළි ඔසවා තැබීමට තැත් කරන කල්ලිවලින් අපට ඇසීමට ඇති ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ පසුගිය අවුරුදු හතරට ආසන්න කාලය තුළ ඇත්තටම බුද්ධි අංශ සාමාජිකයින් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද ? ඔවුන්ගෙන් කී දෙනෙක් වැරදිකරුවන් බන්ධනාගාරගත කරලා තිබෙනවාද ? විමර්ශන සඳහා අත්අඩංගුවට ගැනීම නිසා රැුකියාව අහිමි වූ බුද්ධි අංශ සාමාජිකයින් සංඛ්‍යාව කොපමණ ද ?

මේ ප‍්‍රශ්නවලට කිසිමදාක මේ කිසිදු පාර්ශ්වයකින් පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි යහපාලනයේ ඇති වූ උපන් ගෙයි දෝෂ නිසා ආරම්භ කළ කිසිම පරීක්ෂණයක් අවසානය දක්වා ගමන් කර නැහැ. උදාහරණයක් වශයෙන් බුද්ධි අංශ නිලධාරීන් විසින් ඝාතනය කළ බවට පැහැදිලි සාක්ෂි ඇති ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මේ දක්වා අවසන් වී නැහැ. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වසීම් තාජුඞීන් ඝාතනය, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් හා නාමල් පෙරේරාට පහරදීම ආදී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් කිසිවෙක් මේ දක්වා වැරදිකරුවන් කර බන්ධනාගාර ගත කර නැති බවයි වාර්තා වන්නේ.

එසේ නම් පැන නගින ප‍්‍රශ්නය වන්නේ රාජපක්ෂ රෙජිමය හා රෙජිම මාධ්‍ය කියන මේ බුද්ධි අංශ දඩයම කුමක්ද යන්නයි.

‘‘මේ සියලූ ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන්වීම් සහ පහරදීම් සිදු වුණේ සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතා මත. යුද්ධය අවසන් වූ පසු. එහෙම නැතිකම් යුද කලාපයෙන් බැහැරව. මේවා පිටුපස දේශපාලන හා පුද්ගලික වුවමනා එපාකම් තිබුණ බව ඉතාම පැහැදිලිව සඳහන් කළ හැකියි. උදාහරණයක් ලෙස කොළඹ දී තරුණ ළමුන් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළේ කප්පම් ගැනීම සඳහායි. මෙවැනි දේවල් පසුගිය කාලේ ඕනෑ තරම් සිදු වුණ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ සිදුවීමේදී පමණක් නොවෙයි පසුගිය කාලය පුරාම රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධ සිදුවීමේදී වුණත් පැහැදිලිව පෙනී යනවා. මේවා පුද්ගලික හෝ ඍජුව දේශපාලන වුමනාමත සිදු වුණ ඝාතන. ඒ නිසා ඒවා සිදුකළ පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අණ දුන් පුද්ගලයින් පෙනී සිටීම ගැන අපි පුදුම විය යුතු නැහැ’’

මේ ලියුම්කරු සමග මෙම සිදුවීම් හා සම්බන්ධ අධිකරණ ක‍්‍රියාවලියට දායකත්වය දුන් ප‍්‍රවීන නීතිවේදියෙක් පවසා සිටියා.

මේ අනුවත් අපිට පැහැදිලි පෙනී යන්නේ රාජපක්ෂ රෙජිමය හෝ භික්ෂූ කල්ලි කියන ආකාරයට ජාතික ආරක්ෂාව බිඳ වැටෙන ආකාරයට බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවයි. යම් කිසි ආකාරයක අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා නම් ඒ දීර්ඝව සිදුවූ පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් බවයි.

බුද්ධි අංශවලට මුක්තියක් තිබෙනවාද ?

මේ සමග තවත් ප‍්‍රශ්නයක් සිවිල් පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙනවා. ඒ යුද්ධය වෙනුවෙන් බුද්ධි අංශ මෙහෙයුම් කළ පළියට එකී නිලධාරීන්ට හෝ ඔවුන්ට නායකත්වය, නියෝග දුන් පුද්ගලයින්ට නීතියෙන් ගැළවී සිටීමේ හෝ නඩුවලින් තොරවීමේ මුක්තියක් තිබෙනවාද ? යන්නයි.

මෙය කිසිසේත්ම නීතියේ ආධිපත්‍ය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට සුදුසු තත්ත්වයක් නොවෙයි. ඊට හේතුව වන්නේ ‘‘නායකත්වය නිතරම සුපිරිසිදුයි’ යන අදහසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට නොගැළපෙන නිසයි.

ඒ අනුව අපරාධමය වැරදිවලට චෝදනා ලබන පුද්ගලයින් බුද්ධි අංශ වේවා, වෙනත් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙක් වේවා නීතිය ඉදිරියට පැමිණවීමට අවස්ථාව තිබිය යුතුයි. එසේ නැති තැනක අනිවාර්යයෙන් සිදුවන්නේ තව තවත් වාස් ගුණවර්ධනලා බිහිවීම හා මොහොමඞ් ෂීයාම්ලාට ජීවිතය අහිමි වීමයි.

රෙජිම මාධ්‍ය යුද්ධය

මේ සමග තවත් කරුණක් තෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ ‘තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ න්‍යාය’ අනුගමනය කරමින් ඊනියා රෙජිම මාධ්‍ය දිගින් දිගටම ගෙන යන ‘‘ආණ්ඩුව ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කළා’’ යන ප‍්‍රවාදයයි.

මේ ඊනියා රෙජිම මාධ්‍යවලට මෙවැනි ප‍්‍රකාශ යළි යළිත් කිරීමට ස්වර්ණමය අවස්ථාව නිර්මාණය වුණේ අනපේක්ෂිත පාස්කු ඉරිද ප‍්‍රහාරය නිසා බව පැහැදිලියි. ඉතාම පැහැදිලිව බුද්ධි අංශ විසින් අනතුරු ඇගයීම්කර තිබියදීත් ඒ කෙරෙහි නිිසි බලධාරීන්ගේ අවධානය යොමු නොවුණේ කුමන කරුණක් නිසා ද යන්න මේ රටේ හෘදය සාක්ෂියක් ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකි දෙයක්. ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වී පැය 48ක් ගත වන විට එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පමණක් නොව ජාතික ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශවලට හැකි වූ බව අපි සියලූ දෙනාම දන්නා සත්‍යයක්. පැය 72ක් ගත වන විට අන්තවාදීන්ගේ සියලූ සංවිධාන හා ජාලගත වීම් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් විනාශ කළ බව ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගන්නා සත්‍යක්.

ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සති තුනක් ගත වන විට (13දා) මුළු රටම යළි අකර්මණ්‍ය කළේ රාජපක්ෂ රෙජිමය හා රෙජිම මාධ්‍ය බව නොරහසක්. අද හෝ හෙට ජනපති සමාවක් ලැබෙන බව කියන බොදුබල සේනා සංවිධානයේ නායක, ඥානසාර හිමියෝ උසාවියේ සිට ප‍්‍රකාශ කළේ ‘‘වෙසක් පෝය දාට පන්සල් 50ට ප‍්‍රහාර එල්ල වන බවත්, තොරතුරු අවශ්‍ය නම් වැලිකඩට පැමිණ තමා හමුවන ලෙසයි’’ ඒ සමග කනගාටුවෙන් හෝ කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ මැයි 06 වැනිදා සිදුවන ප‍්‍රහාරයක් ගැන නිකුත් කළ මාධ්‍ය නිවේදනය දත් රට යථාතත්ත්වයට පත්වීමට බාධා කළ බව අපි විසින් අමතක නොකළ යුතුයි. මේ ආකාරයෙන් ආරක්ෂක අංශ විසින් සහතික කළ ජාතික ආරක්ෂාව හෑල්ලූවට ලක් කළේ ආණ්ඩුව නොව විපක්ෂය හා විපක්ෂ හිතවාදී කල්ලි විසින් බව පැහැදිලියි.

සටහන – භාතිය බරුකන්ද

Recommended For You

About the Author: Editor