ජාතීවාදීන් වෙලා ‘පොර’ වෙන්න පුළුවන් උපන් රටේදී විතරයි: එළියට ගිය ගමන් වෙන දේ මෙන්න..

මානවයා පැවැත එන්නේ එකම ආදී / පූර්වජ මුතුන්මිත්තෙකුගෙන් බව ඉතාම පැහැදිලි කරුණක් වුවත් තම ජාතිය උසස් යැයි සිතන ‘‘ස්වෝත්තමවාදය’’ මානව සංහතිය පුරාම මිනිසාව පීඩාවටත් වේදනාවටත් පත් කළා.

ඇතැම් විට අති දැවැන්ත ජනවාර්ගික, වාර්ගික සංහාර දක්වා එය ව්‍යාප්ත වුණා. මානව විද්‍යාඥයින්ට අනුව මානව පරිණාමයේ ආරම්භයේ සිට මේ ස්වෝත්තමවාදය තිබුණත් එය වඩාත් බිහිසුණු අවධියට පත් වුණේ පසුගිය සියවසේ. හිට්ලර්ගේ ‘‘ජර්මන් ආර්යවාදය’’ හරහා යුදෙව්වන් ඇතුළු යුරෝපීය ජාතීනුත්, ජපන් අධිරාජ්‍යවාදය හමුවේ අග්නිදිග ආසියානුවන් ඇතුළු ආසියාවත් මේ ආකාරයෙන් මානව සංහතියේ ගෙවිය යුතු විශාලතම වන්දිය ගෙව්වා.

අද, වර්තමානය වන විට ස්වෝත්තමවාදය අලූත් වටයකින් ඉදිරියට පැමිණ ඇතැයි බවයි මේ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන විද්වතුන් ඇතුළු පාර්ශ්ව සඳහන් කරන්නේ. ඒකට හොඳම නිදසුනක් වර්තමාන ශ‍්‍රී ලංකාව තුළින් ද ලබාගත හැකි බවයි ඔවුන්ගේ අදහස වන්නේ. දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් අප‍්‍රමාණව බැට කෑ ශ‍්‍රී ලංකාව යළිත් ජනවාර්ගික වෛරය වපුරන තෝතැන්නක් වී ඇති බව ඔවුන් පෙන්නවා දෙනවා.

මහා බි‍්‍රතාන්‍යයේ තත්ත්වය නරක අතට

18 වැනි සියවසේදී යටත් විජිතවාදයට පිවිසි එංගලන්තය ආරම්භක යුගයේදී ‘‘ස්වෝත්තමවාදය’’ ඉහළින්ම පිළිගත් ජාතියක් වශයෙන් අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. ඔවුන් තම යටත් විජිතවල හැසිරුණු හා කටයුතු කළ අධිපතිවාදී ආකාරය එයට හොඳ නිදසුනක්. 1815 සිට දීර්ඝ කාලයක් බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදයට නතුව සිටි ශ‍්‍රී ලංකික අපි බි‍්‍රතාන්‍යයන්ගේ ස්වෝත්තමවාදයෙන් හොඳ හැටි බැට කෑවා.

ඒත් පසුගි අඩ සියවස තුළ බි‍්‍රතාන්‍ය ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෝකයේ ජාතිවාදය, වර්ගවාදය ආදී සියලූ දේ සැලකුණේ ඍණාත්මක දේවල් විදිහටයි. ඒකට දෙවන ලෝක සංග‍්‍රාමයේදී අත්විඳි නීරස අත්දැකීම් ප‍්‍රමුඛ හේතුවක් වූ බව පැහැදිලියි. ඒ නිසාම බි‍්‍රතාන්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප‍්‍රංශය සහ රුසියාව නායකත්වය දුන් එක්සත් ජාතීන් තම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය තුළින් ම මානව ගරුත්වයට සහ අභිමානයට හානිකරන සියලූ දේ දැඩිව ප‍්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය දශක කිහිපය තුළ ශිෂ්ඨ ලෝකයේ ස්වෝත්තමවාදය, වර්ගවාදය, වර්ණභේදවාදය පමණක් නොව සමලිංගිකයින්ට අවමන් කිරීම පවා පිළිකෙව් කළා.

මේ ආකාරයට වර්ණභේදවාදී, සමලිංගික විරෝධී ආදී වශයෙන් විවිධ ප‍්‍රකාශ කළ වර්ණවත් චරිත රැුසක් එම වරද නිසාම මහා බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියාව ආදි රටවලදී දඬුවමට ලක් වුණා.

මේ සඳහා ආසන්නතම උදාහරණය මහා බි‍්‍රතාන්‍යයෙන්ම දැක්විය හැකියි.
බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයෙක් වන හැරී – මේගන් විවාහය දෙස ශිෂ්ඨ ලෝකය බලන්නේ ආශිර්වාදාත්මකවයි. ඒත් ස්වෝත්තමවාදය කරට ගත් අන්තවාදීන් මේගන්ගේ සම්භවය ගැන දක්වන්නේ ඍණාත්මක ආකල්පයක්. ඔවුන් ඒ ගැන හැකි සෑම විටම තම ඍණාත්මක හැඟීම් ප‍්‍රකාශ කිරීමට සූදානමින් ඉන්නේ.

මේගන් කුමරියට සහ බිළිඳු කුමරුත් අපහාස

මේ අතර හැරී – මේගන් යුවළට දරුවකු ලැබීම ලෝ ප‍්‍රකට පුවතක් වුණා. ඒත් බි‍්‍රතාන්‍යයේ ස්වෝත්තමවාදීන් මේ අසිරිමත් උපත දැක්කේ නුහුරට. ඔවුන් යළි යළිත් මේගන්ගේ වාර්ගික සම්භවය ගැන ඍණාත්මක ප‍්‍රකාශ නිකුත් කළා. මේ අතර ලෝ ප‍්‍රකට, කීර්තිමත් බී.බී.සී ආයතනයේ සේවය කළ ‘‘ඩැනී බේකර්’’ නැමැත්තා හැරී – මේගන්ගේ බිළිඳු පුත් කුමරා උපන් දා කුඩා චින්පන්සි පැටවෙකු සමග සිටින යුවළකගේ ඡුායාරූපයක් සමාජ මාධ්‍යවල පළකළා. එයින් ඔහු උත්හාස කළේ මේගන්ගේ වාර්ගිකත්වය ගැන ජාතිවාදී අදහසක් ලබාදීමටයි. කොහොම වුණත් මේ ගැන වාර්තා වූ වහාම බී.බී.සී ආයතනය ඩැනී බේවර්ව සේවයෙන් පහ කළ බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ඩැනී කියන්නේ මහා බි‍්‍රතාන්‍යයේ ස්වෝත්තමවාදීන්ගෙන් එක් අයෙක් පමණයි. කනගාටුවට කරුණ වන්නේ වත්මන් බි‍්‍රතාන්‍ය ඩැනී වැන්නවුන්ගෙන් පිරී යමින් තිබීමයි. එය තම අතීත පැටිකිරිය කෙසේ වෙතත් මේ වන විට මිලියන ගණනක් වන සංක‍්‍රමණිකයින්ට සුවපහසු නවාතැනක් වී ඇති මහා බි‍්‍රතාන්‍ය සංක‍්‍රමණිකයින්ට, සුළු ජාතීන්ට අපායක් කිරීමට හේතු නිර්මාණය කරමින් තිබෙන බවයි බි‍්‍රතාන්‍ය සමාජ විද්‍යාඥයෝ කියන්නේ.

මෙහි හොඳම ප‍්‍රකාශනය වන්නේ බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදු වූ පසුගිය ජනමත විමසුමයි. මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදවලට ලක්වන බව මධ්‍යස්ථ මතවාදීන් පුනපුනා ප‍්‍රකාශ කළත් ස්වෝත්තමවාදීන් ගොඩට එක් වූ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ බහුතරය ‘‘බ්‍රෙක්ෂිට්’’ක‍්‍රියාවලියට පක්ෂව ඡුන්දය දුන්නා. ඊයේ (24) බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ අගමැතිකමෙන් පමණක් නොව පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ඇය බ්‍රෙක්ෂිට් හමුවේ පරාජයට පත් වූ නිසයි. ස්වෝත්තමවාදීන් ජයගත් නිසයි.
ඒ කියන්නේ මේ බ්‍රෙක්ෂිට් තීන්දුවෙන් පසුව මහා බි‍්‍රතාන්‍යයේ ස්වෝත්තමවාදීන්ගේ හා ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් (ඍණාත්මක) වල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් සිදුව තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ ස්වෝත්තමවාදීන් ඉහළට: අලූත්ම දත්ත මෙන්න

මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කළ මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට සමාජ පර්යේෂණ ආයතනයක් වන ‘‘ ඕපීනියුම්’’ පසුගිය කාලයේ දැවැන්ත සමාජ සමීක්ෂණයක් කළා. දැන් එහි වාර්තාව නිකුත් වී තිබෙනවා. මේ ඔවුන් ප‍්‍රකාශයට පත් කළ දත්ත.

බ්‍රෙක්සිට් අර්බුදය කරළියට පැමිණීමෙන් පසුව බි‍්‍රතාන්‍යයේ සුළුතර ජනවර්ගවලට අයත් පුද්ගලයින් අතරින් සියයට 71ක් ජාතිවාදී පීඩාවලට මුහුණ දී තිබෙනවා. ඊට පෙර මෙම අගය වාර්තා වුණේ සියයට 58ක් ලෙසයි. (මෙය ද බරපතළ තත්ත්වයක්)

2016 දී සමාජ මාධ්‍යවල ස්වෝත්තමවාදී අදහස් (ජාතිවාදී) දැක්වීම් වාර්තා වුණේ සියයට 37ක්. ඒත් බ්‍රෙක්සිට්වලින් පසු එය සියයට 50 දක්වා වර්ධනය වෙලා තිබෙනවා.

සමාජ මාධ්‍යවල ස්වෝත්තමවාදී අදහස් පළ කරන වයස් කාණ්ඩය අවුරුදු 18-34ත් අතර වෙනවා.

හාස්‍යමය වැඩසටහන්වලදී හාස්‍ය මතු කිරීම සඳහා ජාතිවාදී අදහස් පළ කිරීම් 2016 දී සියයට 30-40 අතර වාර්තා වුණත් එය වර්තමානය වන විට සියයට 50 දක්වා වර්ධනය වෙලා තිබෙනවා.

සංක‍්‍රමණිකයින් පිළිබඳ වෛරී අදහස් පළ කිරීම් සියයට 30 සිට සියයට 50 දක්වා වර්ධනය වී තිබෙනවා.

ජනමාධ්‍යවල ස්වෝත්තමවාදී අදහස් පළ කිරීම් සියයට 25 සිට සියයට 40 දක්වා වර්ධනය වී තිබෙනවා.

මහා බි‍්‍රතාන්‍යය තුළ වඩාත්ම පීඩාවට පත් වන්නේ කලූ ජාතිකයින් බවයි ‘‘ඔපීනියුම්’’ සමීක්ෂණය පවසන්නේ. එය 2016 දී සියයට 59ක් වූ අතර පසුව එය සියයට 74 දක්වා වර්ධනය වී තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ ජීවත් වන සුළුතර ජනවර්ගවලට අයත් පුද්ගලයින් 10/7ක් ම බි‍්‍රතාන්‍යයේ ජාතිවාදී අදහස් බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව විශ්වාස කරනවා.

මේ මහා බි‍්‍රතාන්‍යයේ තත්ත්වය ගැන කෙටි විමසුමක් පමණයි. ඇමෙරිකාව, ඉන්දියාව ප‍්‍රමුඛ මුළු ලෝකය පුරාම මේ ස්වෝත්තමවාදීන්ගේ බලය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එය පහසුවෙන් බැහැර කළ නොහැකි තර්ජනයක්.

අපි අප ගැනම උපමා කොට අනෙකා දෙස බලමු

මේ සමග තවත් යමක් ප‍්‍රකාශ කළ යුතුයි. අද ලංකාවේ සිංහල බෞද්ධයින් අතර සිටන අවස්ථාවාදීන් සුළු පිරිසක් මෙරට ජීවත් වන සුළු ජාතීන්ට එරෙහිව දැවැන්ත ස්වෝත්තමවාදී ආකල්ප ප‍්‍රවර්ධනය කරමින් ඉන්නවා. ඒත් ප‍්‍රශ්නය වන්නේ අපි පිළිගත්තත් නැතත් ශ‍්‍රී ලාංකිකයින්, සිංහල බෞද්ධයින් විශාල පිරිසක් මහා බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඇමෙරිකාව, කැනඩාව ආදි රටවල සංක‍්‍රමණයිකයින් ලෙස, සේවකයින් ලෙස, සිසුන් ලෙස, ව්‍යාපාරිකයින් ලෙස පමණක් නොවෙයි පූජකයින් ලෙසත් ජීවත් වෙනවා.

ලංකාවේදී මහ ජාතිය, භූමි පුත‍්‍රයින් වුවත් ඔවුන් මහා බි‍්‍රතාන්‍යයේදී සුළුජන කොටස්, සංක‍්‍රමණිකයින් බවට නිසඟයෙන්ම පත් වෙනවා. එවිට ඔවුන් ද පහසුවෙන් ඒ ඒ රටවල මහා ජාතියේ, භූමි පුත‍්‍රයින්ගේ ස්වෝත්තමවාදී බලපෑමට ලක්වෙලා පීඩනයට, මර්ධනය, පහත්කොට සැලකීමට හා ඇතැම් විට ප‍්‍රචණ්ඩත්වයට ලක් වෙනවා.

මේ වින්දිතයා ඔබ හෝ ඔබේම සමීපතමයා විය හැකියි

මේ ගැන අවශ්‍ය නම් ‘‘ගාර්ඩියන් වෙබ් අඩවිය’’ මගින් ම උපුටා දැක්විය හැකියි. ඔවුන්ට අනුව මහා බි‍්‍රතාන්‍ය තුළ ජාතිය පදනම් කොට ගත් අපරාධ ප‍්‍රමාණය 2018 දී 71,251ක් වූ බවයි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ එය 2013දී මේ අගයෙන් හරි අඩක් වීමයි. ඒ කියන්නේ වර්ෂ 5ක් තුළ මහා බි‍්‍රතාන්‍යයේ ජාතිය පදනම් කොටගත් අපරාධ ප‍්‍රමාණය සියයට 100කින් ඉහළ ගොස් තිබෙනවා.

අපේ රට, අපේ මව්බිම ආදි වශයෙන් ස්වෝත්තමවාදී අදහස් දරමින් අනෙකා පීඩනයට පත් කරන ඔබ අද හෝ හෙට මහා බි‍්‍රතාන්‍ය වැනි රටකට ගියහොත් කොතරම් අනාරක්ෂිත දැයි මේ අනුව පැහැදිලි වෙනවා. ඔබ මෙරටේදී ස්වෝත්තමවාදියෙක් වන විට තවත් රටකදී වින්දිතකයෙක් වන බව පැහැදිලිව වටහා ගත යුතුයි. ඒ වගේම ඔබ ඔබේ මවුබිම තුළ දී කරන දේ හා සමාන දේක විපාක ඔබගේ පවුලේ ඥාතියෙක්, අසල්වැසියෙක්, මිතුරෙක් හෝ ඔබේම ජනවර්ගයට අයත් අයෙක් ඇතැම් විට මේ මොහොතේ මහා බි‍්‍රතාන්‍යයේදී විඳිනවා විය හැකියි.

‘‘ලංකාව ඇතුලේ ඉන්න ළි මැඩියන්ට ඕනෑම කයිවාරුවක් ගහන්න පුළුවන්. ඒත් අපි මේ ළිඳෙන් එළියට ආපු ගමන් ඒ කතාවලට වටිනාකමක් නැහැ’’ මෙම ලියුම්කරු සමග මේ අදහස කිව්වේ මහා බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබමින් සිටින ලියුම්කරුගේ මිත‍්‍රයෙක්. අවාසනාව කියන්නේ ඔහු මීට සති කිහිපයකට පෙර ලන්ඩන්වලදී සුදු ජාතික ස්වෝත්තමවාදියෙක්ගෙන් හොඳ හැටි ගුටි කාලා ඇට කුඩුකර ගත්ත අයෙක්.

අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ අද අපේ රට අපිටම අපායක් කරවන්න දත-කට මදිමින් ඉන්න බහුතරයක් දේශපාලනඥයින්ගේ, ව්‍යාපාරිකයින්ගේ, මාධ්‍යකරුවන්ගේ සනුහරේම ඉන්නේ මේ රටින් පිටත බවයි. සුදු ආධිපත්‍ය පවතින රටවල බවයි. උන්ගේ වුන් ඒ රටවල්වලදී පූස් පැටව් වාගේ සුද්දෝ කියන කියන දේ අහගෙන, සුද්දන්ට වැඳගෙන ජීවත් වෙන කොට අත්දකින හීනමානේ ලංකාවේ අපේ සහහෝදර ජනවර්ග පිටින් යවන බවයි හොඳින් පැහැදිලි වෙන්නේ.

ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුදුන් වහන්සේම දේශනා කළ ආකාරයට ‘‘අපි කරන කියන සියලූම දේ ‘‘හේතුඵල වාදයට’’ ලක්වන බවයි. අපි අබ වැපිරුවොත් අබම නෙළා ගත යුතුයි. ඒ කියන්නේ අපි ජාතිවාදය වැපිරුවොත් අපිට නෙළා ගන්න වෙන්නේ ම ජාතිවාදයම විතරයි. ඒක අද හෝ හෙට සිදුවිය හැකියි. ලංකාවේදී හෝ මේ දේශසීමාවෙන් එහාදී සිදුවිය හැකියි. ඒක නම් සහතිකයි.

සටහන – තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor