වඳ සැත්කම්වලට ලක් වූ බවට සැක කාන්තාවනි, වහාම පැමිණ තොරතුරු ලබා දෙන්න – කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ

මහත් ආන්දෝලනයට ලක්ව ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම්වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටී නම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව දැනුම් දුන්නේය.

සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය.

(එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ද සඳහන් වේ)

මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් කෙරෙමින් පවතින බව ද මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එ⁣රෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේ වන විට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටී නම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද සරත්  වීරබණ්ඩාර මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම්වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී  ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවයි.

පසුසටහන – පසුගිය බ‍්‍රහස්පතින් ජාතික පුවත්පතක ප‍්‍රධාන පුවත ලෙස මෙම වෛද්‍යවරයාට අදාළ පුවත පළ වූ අතර එදින සවස පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අදාළ පුවත සාවද්‍ය එකක් බව ප‍්‍රකාශ කරනු ලැබීය. අප විසින් ද මේ අවස්ථාවේ අදාළ සිද්ධියේ බරපතළ ස්වභාවය සලකා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශයට පුළුල් ඉඩක් වෙන් කළේය. එහෙත් මාධ්‍ය ආචාරධර්මයක් ලෙස සලකා අදාළ වෛද්‍යවරයාගේ නම හෝ ජාතිකත්වය හෙළි නොකිරීමට අප තීරණය කරන ලදි. මන්ද ඔහු තවම සැකකරුවෙක් මිස වැරදිකරුවෙක් නොවන නිසාය.

Recommended For You

About the Author: Editor