යළිත් කළු ජූලියකට ඉඩ දෙන්න එපා – මුදල් ඇමැති මංගල සමරවීර

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට පිටිවහලක් වූ 1983 සිද්ධ වූ දේ යළි මෙරට තුළ සිදුවීමට ඉඩ නොදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම ඉල්ලීම කළේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පීඩාවට පත් විවිධ ආර්ථික ක්ෂේත‍්‍ර යළි නගාසිටුවීම සඳහා රජය විසින් හඳුන්වා දුන් ‘‘රජයේ සහන පැකේජය’’පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද සවස මුදල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. මේ සාකච්ඡව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

‘‘එල්.ටී.ටී,ඊ ත‍්‍රස්තවාදය සහ අවශ්‍ය පිරිස් බලය සහ ජනමතය නිර්මාණය කළේ 1983 ජූලි මාසයේදී සිදු වූ කලූ ජූලියයි. අපි සියලූ දෙනාම ඒ ගැන අවධියෙන් සිටිය යුතුයි. මේ සිදුවීම් මේ ආකාරයෙන් සිද්ධ වුණොත් මේ රටේ මුස්ලිම් ජනතාවත් අන්තවාදයට යොමු වෙයි. අපි දකිනවා මේ වන විට විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන්ට නොයෙකුත් ආකාරයේ පීඩනයන් එල්ල වෙනවා. ඔවුන් බුර්කාව නොපැළඳ ගියත් ඔවුන්ව ප‍්‍රතික්ෂේප කිරීම්, පීඩාවට පත් කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම අහිංසක මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව චෝදනා කඩිනමින් විමර්ශනය කර ඔවුන් නිදොස් නම් ඔවුන්ව නිදහස් කළ යුතුයි. හිරගෙවල් පුරවාගෙන සිටීමෙන් සිදුවන යහපතක් නැහැ’’

මෙහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින විවිධ ආර්ථික ක්ෂේත‍්‍ර සඳහා හැකි උපරිම සහන ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටි කුඩා /ගෘහ සංචාරක නවාතැන්පොළ හිමියන්, සංගීත කණ්ඩායම් සහ පුද්ගලික බස්රථ හිමියන් සඳහා රජය විසින් විශේෂ සහන පැකේජ හඳුන්වා දී ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අතර පසුගිය වෙසක් සමයේ වෙසක් උත්සවය නොපැවැත්වීම නිසා පීඩාවට පත්ව සිටින වෙසක් තොරණ් නිර්මාණ ශිල්පීන් සඳහා සහන ලබාදීම පිළිබඳ ඔවුන් සමග ලබන බදාදා විශේෂ සාකච්ඡවක් පවත්වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේ අගෝස්තු මාසය වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

Recommended For You

About the Author: Editor