Voice of දියවන්නා: SLPP – බැසිල් කියන සප්ත මහා බලවේගය මොකක්ද ?

වසර අවසානයට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට දිනෙන් දින ළංවෙමින් පවතින පසුබිමක ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් පවතින බවක් දක්නට ඇත.

දේශපාලනඥයන්ට අමතරව ව්‍යාපාරිකයන් සහ වෙනත් ක්ෂේත්‍රවල පිරිස් සම්බන්ධයෙන් ද මේ දිනවල සමාජයේ කතාවට ලක්ව තිබේ. අපේක්ෂකත්ව කතාබහ පසුගිය සතියේ නව මානයකට හැරුණේ රාජ්‍ය මාධ්‍යයක පළව තිබුණු පුවතක් නිසාවෙනි. එහි සඳහන්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු පොදු අපේක්ෂකයා වීම සඳහා ඔහුගේ නුගේගොඩ පිහිටි නිවසේදී සාකච්ඡාවක් පත්වා ඇති බවකි. අපේක්ෂකයා කවුරුද යන්න ප්‍රවෘත්තිය කියවූ බොහෝ දෙනකුට අමුත්තක් වූයේ නැත.

”මම ඉතින් මහින්ද මහත්තයා එක්ක මුල ඉඳන් දේශපාලනය කළේ එක එක වෙලාවල්වලට පීල්ල මාරු කරන අදහසින් නෙමෙයිනේ” – ප්‍රසන්න රණතුංග

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසන්නට සිකුරාදා පාර්ලිමේන්තුවේ දී මුණගැසුණේ මේ අතරය.

“අර්ජුන රණතුංග ඇමැතිතුමා පොදු අපේක්ෂකයා වෙනවලු නේද? මන්ත්‍රීවරුන් ප්‍රසන්නගෙන් විමසා සිටියේය.

“කවුද කියන්නේ? ප්‍රසන්න ඇසුවේය.

“ඔය පත්තරවලත් තියෙන්නේ. මොකද කරන්නේ එහෙම වුණොත් ඔබතුමා උදව් කරනවද? මන්ත්‍රීවරු ඇසූහ.

“මම ඉතින් මහින්ද මහත්තයා එක්ක මුල ඉඳන් දේශපාලනය කළේ එක එක වෙලාවල්වලට පීල්ල මාරු කරන අදහසින් නෙමෙයිනේ.  මේ පාර එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු අපේක්ෂකයා වුණත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ හදගැස්ම හදුනන කෙනෙක් කවදාවත් යූ.එන්. පී එකෙන් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අනික මේ වතාවේ දිනන්නේ මහින්ද මහත්තයාගේ ආශිර්වාදය ලබන අපේක්ෂකයයි. කවුරු ඉල්ලුවත් ඉතින් මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ” ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.

”ආණ්ඩුව වැඩ කරන්නේ කිසිම සැලැස්මක් නැති ඒකයි මේ හැමදේකටම මුල”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය දැවැන්ත අර්බුදයකට මුහුණ පා තිබේ. මේ දිනවල සංචාරකයන්ගේ පැමිණීම අවම මට්ටමක පැවැතීම නිසා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටා ඇති සංචාරක කවුළු 6ක සේවය කරන මාර්ගෝපදේශක රියදුරන් 400 දෙනකු ද අසරණ වී සිටිති.

එම සංචාරක මාර්ගෝපදේශක රියදුරන් විසින් පිහිටුවාගෙන තිබෙන ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරන්ගේ සංගමය පසුගිය 25 වැනි දා ප්‍රසන්න හමුවූයේ තමන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් කරුණු කියන්නටය. ඒ වන විටත් ආණ්ඩුවේ කිසිවකු මෙම පිරිසගේ දුක්ගැනවිල්ලට කන්‍ නොදීම නිසා ඔවුන්ට සිදුව තිබුණේ විපක්ෂයේ පිහිට පැතීමටය.

“පාස්කු ප්‍රහාරය එල්ල වෙලා දැන් මාසයකටත් වැඩියි. සංචාරකයන් පැමිණීම හොඳටම පහත වැටිලා. අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ වාහන විකුණලා දාන්නයි. තවදුරටත් මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්කමක් නැහැ” එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක පැවසීය.

“අද වෙන කොට මුළු රටම අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. ආණ්ඩුව වැඩ කරන්නේ කිසිම සැලැස්මක් නැතුවයි. ඒකයි මේ හැමදේකටම මුල. තමුන්නාන්සේලා මේ රටට ලොකු ආදායමක් ගේන පිරිසක්. අපි විපක්ෂ නායකතුමත් හමුවෙලා සාකච්ඡා කරලා බලමු මොනවද කරන්න පුළුවන් කියලා” ප්‍රසන්න පැවසීය.

ඒ අනුව 27 වැනි සඳුදා සවස 4.00ට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ සාමාජික පිරිසක් මහින්ද මුණගැසුණාහ. ප්‍රසන්න සමඟ ලොකුගේ, පියංකර සහ සිසිර ජ‍යකොඩි ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිවරයා මහින්දට කීවේ සංචාරකයන් පැමිණීම අවම වී තිබීම නිසා ගුවන්තොටුපොළෙහි මාසික වාරිකය මෙන්ම ලීසිං වාරික ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට තම සාමාජිකයන් පත්ව සිටින බවය. බෝම්බ ප්‍රහාරයෙන් පසුව තමන්ට ගුවන්තොටුපොළට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ‍හෙතෙම පැවසීය.

” ඇත්තටම සර් හරියට බැලුවොත් බෝම්බ වැදිලා තියෙන්නේ අපිට”

“ඇත්තටම සර් හරියට බැලුවොත් බෝම්බ වැදිලා තියෙන්නේ අපිට. ගුවන්තොටුපොළේ වාරික ගෙවා ගන්න විදියක් නැහැ. ලීසි වාරික ගෙවන්න බැහැ. තවදුරටත් මේ වාහන ධාවනය කරන්න  අපට පුළුවන්කමක් නැහැ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ වාහන විකුණලා වෙන රස්සාවකට යන එක විතරයි” සංගමයේ ලේකම් අසංක පැවසීය.

“සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේ සැලැස්මක් නැතිකම නිසා රටම කඩා වැටිලයි තියෙන්නේ. දැනට තමුන්නාන්සේලාට තියෙන ප්‍රධාන ඉල්ලීම් මට දෙන්න. මම රජය එක්ක සාකච්ඡා කරලා බලන්නම්” මහින්ද කීවේය.

“සර් මේ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්වා. ලක්ෂ ගණන් දීලා වාහන අරගෙන ගුවන්තොටුපොළට එන සංචාරකයන්ට සේවය සලසන මේ අය ගැන බලන්න කවුරුත් නැහැ” ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“ගුවන්තොටුපොළේ සංචාරක මාර්ගෝපදේශක සේවාවේ යෙදෙන අපි ගැන බැලුවේ සර්ගේ ආණ්ඩුවෙන් විතරයි. මේ ආණ්ඩුව සහන දෙන්නේ ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට. අපි ගැන බලන්න කවුරුත් නැහැ” කී ලේකම්වරයා සිය සංගමයේ ගැටලු සහ ඒවාට විසැඳුම් අඩංගු යෝජනාවලියක් මහින්දට භාර දුන්නේය.

ඒවා භාර ගත් මහින්ද ඉදිරියේදී ස්ථාපිත කෙරෙන රජයක් යටතේ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔවුන්ගේ යෝජනා එම රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී සලකා බලන බවටත් ප්‍රකාශ කළේය. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පිරිස මහින්ද සමඟ කතාබහ කරමින් සිටියේ රට වැටී ඇති ආගාධය ගැනය.

“ඉස්සර අපිව හම්බ වෙන්න එන්නේ සීමිත ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයන් විතරයි. හැබැයි දැන් හැම ක්ෂේත්‍රයකම නියෝජිතයෝ අපිව හම්බ වෙන්න එනවා දුක කියන්න. ඒකෙන් පේන්නේ මේ ආණ්ඩුවේ පාලනයේ තියෙන අසාර්ථකම” ප්‍රසන්න පැවසීය.

” මිනිස්සු වැඩියෙන්ම දුක කියන්න යන්නේ ආණ්ඩුවේ අය ළඟට නෙමෙයි විපක්ෂයේ අපි ළඟටයි – පියංකර ජයරත්න

“ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීතුමා දැන් මිනිස්සු වැඩියෙන්ම දුක කියන්න යන්නේ ආණ්ඩුවේ අය ළඟට නෙමෙයි විපක්ෂයේ අපි ළඟටයි. මහින්ද මහත්තයා හම්බ වෙන්න එන පිරිස දැන් දහ ‍පහළොස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා” පියංකර ප්‍රකාශ කළේය.

“මිනිස්සු දන්නවා තව මාස හතර පහකින් ගෙදර යන ආණ්ඩුවකට දුක කියලා වැඩක් නැහැ කියලා. ඒකයි මහින්ද මහත්තයා ඇතුළු විපක්ෂයේ පිරිස හොයාගෙන එන්නේ” සිසිර කීවේය.

“ඒක නම් ඇත්ත තමයි. අනික් අතට මිනිස්සු ඉතින් දුකක් කියන්න යන්නේ තමන්ගේ දුක වැටහෙන කෙනෙක් ළඟටනේ. අහසින් පාත් වෙච්ච හාමුලාට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නැති බව මිනිස්සු දන්නවා” ප්‍රසන්න පැවසීය.

”අපි පුළුවන් තරම් ඉක්මණට මේ ආණ්ඩුව එළවලා දාලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕනේ” මහින්ද

“කොහොම වුණත් අපි ළඟට එන මේ මිනිස්සු සතුටෙන් ආපහු යනවා දකින එක තරම් සතුටක් මට තවත් නැහැ. මම හැමෝටම කියන්නේ ඉවසගෙන ඉන්න කියලයි. අපි පුළුවන් තරම් ඉක්මණට මේ ආණ්ඩුව එළවලා දාලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕනේ” මහින්ද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී අඟහරුවාදා පැවැත්විණි. දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු, මහින්දානන්ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පිරිසගේ අවධානය යොමු කෙරුණේ රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි කරුණු ගැනය.

එසේම ආණ්ඩුවට එරෙහිව රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන උද්ඝෝෂණ මාලාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

“කුරුණෑගල කාන්තාවන් වඳ කළා කියලා චෝදනා එල්ල වෙලා තියෙන වෛද්‍යවරයා බේරගන්න එක්සත් ජාතික පක්ෂයටත් වඩා ඕනේ වෙලා තියෙන්නේ අනුර කුමාරටනේ. දැක්කනේ පාර්ලිමේන්තුවේ දී දිවයින පත්තරේට විරුද්ධව කතා කරපු හැටි. රිෂාඩ් බේරගන්නත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කඩේ යන හැටියට මට හිතෙන්නේ රිෂා‍ඩ් ලොකු සල්ලි මල්ලක් හොල්ලලා තියෙනවා වගෙයි ” මහින්දානන්ද පැවසීය.

”තේරීම් කාරක සභාවට රිෂාඩ් ගැන තීන්දුවක් ගන්න බැහැ” වාසු

“රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව යටගහන්න තමයි ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ. ඒ නිසයි බොරු තේරීම් කාරක සභාවක් ගෙනාවේ. තේරීම් කාරක සභාවට රිෂාඩ් ගැන තීන්දුවක් ගන්න බැහැ” වාසු පෙන්වා දුන්නේය.

“දැන් රටේ ජනතාවට දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් අඳනා ගන්න ලේසියි. රිෂාඩ්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ආවම ඒක තවත් ලේසි වෙනවා. ඒක තමයි හැම නගරයකම බැනර් ගහලම මන්ත්‍රිවරුන්ට දැනුම් දීලා තියෙන්නේ රිෂාඩ්ට විරුද්ධව ඡන්දය නොදී ගමට එන්න එපා කියාල” ගම්මන්පිල පැවසීය.

“අන්තවාදයට උදව් උපකාර කරන කාට වුණත් අපේ සහයෝගයක් නැහැ. ජනතාවගේ ඉල්ලීම ඒ වගේ පිරිස් ගෙදර යවන එක නම් අපි   වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. හැබැයි අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ජනතාවගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න හදනකොට ආණ්ඩුව තේරීම් කාරක සභාවක් ගෙනල්ලා ඒ වගේ අය රැකගන්න හදනවා නම් අපිට ඒකට ඉඩතියන්න බැහැ. ඒ නිසා කොහොම හරි රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනත් ජනතාවගේ ඉලලීම ඉෂ්ඨ කරන්න ඕනේ” මහින්ද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරමින් සිටියි. එය ඕනෑම මැතිවරණයක දී ජනතාව හමුවේ තැබිය හැකි අයුරින් සකස් කෙරේ. ප්‍රතිපත්ති  මාලාව සකස් කිරීමේ දී මුලිකත්වය ගෙන කටයුතු කරන ජනමූල නායකයන් සහ මහින්ද, බැසිල් අතර විශේෂ සාකච්ඡාවක් බදාදා නෙළුම් මාවතේ දී පැවැත්විණි.

”රටටම වැරැදුණේ ග්‍රාමසේවකලාගේ වැඩ නිසා ”

මෙම අවස්ථාවට එක්ව සිටි එක් ග්‍රාමසේවකවරයකු ඉල්ලා සිටියේ ග්‍රාමසේවකවරුන් රට පුරා විසිරී සිටින කොට්ඨාසයක් බැවින් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී තමන්ට විශේෂ අවධානයක් යොමු කරන ලෙසටය.

ඒ අතර සිටි තවත් නියෝජිතයකු ඊට පිළිතුරු දෙමින් කීවේ ඇතැම් මැතිවරණවලදී රටටම වැරැදුණේ ග්‍රාමසේවකලාගේ වැඩ නිසා බවය.

“එහෙම කතා කරන්න එපා. අපි ග්‍රාම සේවා වසම් 14,000ක් නියෝජනය කරන පිරිසක්. අපට ඉදිරි මැතිවරණවලදී ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. වැරැදි වෙන්න ඇති. හැබැයි අමතක කරන්න එපා ග්‍රාම සේවා ඉතිහාසයෙම අපේ සාමාජිකයන් මුලින්ම පාරට බැස්සේ මේ ආණ්ඩුවට එරෙහිව කියලා” එතැන සිටි තවත් ග්‍රාම නිලධාරියකු පැවසීය.

“ඔව් ඒක ඇත්ත. ග්‍රාම ‍නිලධාරීන් කියන්නේ වැදගත් කොට්ඨාසයක්. අපට ඒ අයගේ ශක්තිය අවශ්‍යයි. අපි හැමදාමත් හැදුවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්ම කියන ප්‍රතිපත්ති මාලා අපි ඉදිරිපත් කළේ දැක්මක් ඇතිවයි. ඒ අනුව අපි ඒ පාලන කාල තුළ ඒවා ක්‍රියාත්මක කළා. මේ වතාවෙත් අපි හදන්නේ ඒ වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්” මහින්ද පැවසීය.

“රණවිරුවන් සියලුදෙනා සටන් වැදුණේ රට වෙනුවෙන්. ඒ නිසා මේ වගේ ප්‍රතිපත්ති හදන කොට අපිටත් සාධාරණයක් ඉෂ්ට කරන්න” රණවිරු නියෝජිතයකු ඉල්ලා සිටියේය.

“එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණේ පංච මහා බලවේගය. මේ ආණ්ඩුව ඒ පංච මහා බලවේගය විනාශ කලා ඒ අයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ රැකවරණයක් තිබුනේ නැහැ ඒ අය අපිට එකත වුනා.  පංච මහා බලවේගයට අපි රණවිරු සහ ශිෂ්‍ය කියන කොටස් දෙකත් එකතු කළා. එතකොට අපිට ඉන්නේ සප්ත මහා බලවේගයක් අපි ඉදිරියේදී සියලු දේ කරන්නේ මේ සප්ත මහා බලවේගයත් එක්කයි” බැසිල් පැහැදිලි කළේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor