මවුකිරි වඩන – විස නසන අපේ දේශීය ආහාර

අදට (ජූනි 01) යෙදෙන ‘‘ලෝක කිරි දිනය’’ වෙනුවෙනි

අලූත උපන් බිළිඳාගේ ආරක්ෂාකාරී වර්ධනය සඳහා ස්වභාව ධර්මයෙන් ලැබූ අපූර්වතම නිර්මාණය මවුකිරි වේ. නිසි ලෙස මවුකිරි දීම තුළින් ලොව ළදරු මරණ අනුපාතය අඩු වෙනවා සේම කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ද අඩු කරයි.

මෙය දරුවෙකුගේ ප‍්‍රථම ආහාරයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම දරුවෙකුම ඉපදී මුල් හයමස (06) තුළ මවුකිරෙන් පමණක් පෝෂණය විය යුතු අතර ඉන් පසුව ද වෙනත් ආහාර හුරුකරන අතරතුර මවුකිරි ලබාදීම කළ යුතුවේ.

කිරි නිෂ්පාදනය කාන්තාවකගේ උපතින්ම ලැබුණු හැකියාවකි. මෙහි ප‍්‍රමාණය අඩු වැඩිවීම කලාතුරකින් වාර්තා වුව ද තම දරුවාට ප‍්‍රමාණවත් තරම් කිරි ලබාදීමට සෑම මවකටම හැකියාව පවතී.

කෙසේ වුවද මවුුකිරි ප‍්‍රමාණාත්මකව වර්ධනය කරන හා එහි ගුණාත්මක බව වඩවන ස්වභාවික පිළියම් කෙරෙහි අවධානය යොමු කිරීම සෑම අලූත උපන් දරුවෙකු සිටින මවකගේ අවශ්‍යතාවයි. ස්වභාවිකත්වය හා බැඳුණු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මවුකිරිවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක බව වැඩි කිරීමට බොහෝ උපදෙස් ලබාදී ඇත.

කිරි වඩන දේශීය ආහාර පාන

නෙළුම් අල, අල වෑංජනය සේම නෙළුම් අල කැඳ කිරි වැඞීමට අතීතයේ සිට භාවිත කළ අතිශය ගුණදායක ආහාර වේ.

වට්ටක්කා ඉතා ලාබදායී එළවළුවක් වුව ද කිරි එරවීමේ මහඟු ගුණයක් පවතී. වෑංජනයක් සේම තම්බාගත් වට්ටක්කා පොල් සමග උදෑසන ආහාරයට ද භාවිත වේ.

කොටදිඹුලා ගෙඩි – අත්තික්කා ගෙඩියට සමාන වූ ඉඳුණු කොටදිඹුලා ගෙඩි දරුවන් ලැබූ අලූත ආහාරයට ගැනීමෙන් මවුකිරි වඩවයි.

රාජඅල – උදෑසන ආහාරයක් ලෙස යොදා ගන්නා තද දම්පැහැ මෙම අල විශේෂය දේශීය අල වර්ගයකි.

බලතල – බතල අතුරින් රතු පැහැ පොත්ත සහිත බතල කිරි වැඞීමට කදිමය.

තල – එළතල හෙවත් ලා පැහැති තල ඇටවලට කිරි වැඞීමේ විශ්මිත හැකියාවක් ඇත.

දේශීය කුළුබඩු වර්ග

සුදුළුෑනු, රතුළුෑනු, උළුහාල්, සූදුරු, මහදුරු, කුරුඳු, කොත්තමල්ලි, ඉඟුරු, කිරි එරවනවා පමණක් නොව කිරි පිරිිසිදු කිරීමේ හැකියායෙන් යුක්තය.
අඟුණකොළ – කිරිඅඟුණ/ තිත්ත අඟුණ කිරි එරෙන කෑමක් සේම, කිරි පිරිසිදු කරවන ගුණයෙන් ද යුක්ත වේ. එහි පවතින තිත්ත රසය ඊට හේතුවයි.

කිරිහැන්ද – නමින්ම කිරි වඩවන ගුණයක් ඇති පළා වර්ගයක් බව අවබෝධ වේ. දළු පරිප්පු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් සමග වෑංජනයක් ලෙස ද මැල්ලූමට ද යොදා ගත හැකිය.

ජපන්බටු කොළ – කිරි දෙන මවකට ඉතා ගුණවත් මෙම පළා වර්ගය ‘‘සිංගප්පූරු කොළ’’ ලෙස ද හැඳින්වේ.

කොස් – කොස් මැල්ලූම්, පොළොස්, කිරිකොස්, තැම්බූ කොස්, ලෙස විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. ‘ගස යටින් ගියත් කිරි එරෙන බව’ට ජනප‍්‍රවාදයක් පවතී.

මුරුංගා – මුරුංගා කරල් සේම මුරුංගා කොළ මැල්ලූම ද මෙම කාලයට ඉතා ගුණවත්ය.

කරවිල – කරවිල, තුඹ කරවිල, කිරි පිරිසිදු කිරීමේ ගුණයෙන් අනූනන එළවළුවක් ලෙස හැඳින්විය හැකිය.

දේශීය පැරණි සහල් වර්ග – රතු කැකුළු වැනි සහල් ද කිරි වැඞීමේ ගුණය සහිතය. කුරක්කන්, කොල්ලූ, හබලපෙති, බාර්ලි වැනි ධාන්‍ය ද මේ අතරෙහි වේ.

තෝර, කිරිමෝර, ගම්බිත්තර, කාරල්ලන්, හාල්මැස්සන්, හුරල්ලන්, මඩු කරවල, ගං කුකුළු මස්, එළුමස්, වැනි මාංශමය මස් වර්ග ද ආහාරයට ගැනීම ඉතා යෝග්‍යයවේ.

කිරි වැඞීමට අනුගමනය කළ යුතු වෙනත් කරුණු

දරුවාට කිරිදීම නොකඩවා සිදුකළ යුතුය.

මද උණුදියෙන් ස්නානය හෝ බෙලිකොළ, නිකකොළ, වැනිවැල්ගැට තැම්බූ වතුරෙන් ස්නානය කිරීම යෝග්‍ය වේ.
මානසික පීඩාවලින් තොරව සතුටින් සිටීම ඉතා වැදගත් වේ.
කනගාටුව දනවන සිතුවිලි, කෝපය කිරි නිපදවීම අඩුකරන බව පිළිගැනීමය.
අධික වෙහෙස දනවන ක‍්‍රියාකාරකම්වලට යොමුවීම නුසුදුසුය.
දිනපතා ප‍්‍රමාණවත් දියර පානය කළ යුතුය. මෙහිදී සුප්, එළකිරි, කැඳ, ඖෂධීය පාන වැනි උණුසුම් පාන ඉතා වැදගත්ය.
පෝෂණය ගැන ද සැලකිලිමත් වීම අතිෂය වැදගත්වේ.

කෞනිදි කරුණාගොඩ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උපදේශක, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය.

Recommended For You

About the Author: Editor