පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ අක්මුල් හෙළිකර ගැනීම වරදක් ද ? – එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

‘‘ජාතික ආරක්ෂාව’’ කියන පාඨය පාවිච්චි කර විවිධ නිලධාරීන් සහ බලධාරීන් විසින් අවශ්‍ය පියවර නොගැනීම ගැන හෙළිදරව් වීම වැළැක්වීමට පියවර ගන්නවා නම් එවැනි උත්සාහයන් වහාම නතර කළ යුතු බවත් ජනතාව එම තොරතුරු ගැන දැන ගැනීම ජාතික ආරක්ෂාවට අගතියක් නොව අනාගතයේදී ඒවා වැළැක්වීමට ශක්තියක් වන බවත්’ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න මහතා කියයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය මැයි 31 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡුාවේදීය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විමසා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡුාව කැඳවා තිබුණි. මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද මේ සාකච්ඡවට එක්ව සිටියේය.

මේ පුද්ගලික මත ඉදිරිපත් කිරීමක් පමණයි

මම සහ මා සමග සිටින මහාචාර්ය ආශු මාරසිංහ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කමිටු සාමාජිකයින්. නමුත් අපි අද මෙතැන ඉන්නේ එහි සාමාජිකයින් හැටියට නොවෙයි. ඒ කියන්නේ එම කමිටුවේ තීරණයක් අනුව නොවෙයි අපි පැමිණ සිටින්නේ. ඊළඟට එම කමිටුව රැුස්වන්නේ ලබන අඟහරුවාදාට. ඒත් අඟහරුවාදාට පෙර යම් යම් කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි කියලා අපි හිතුවා. ඒත් අපිට කමිටුව කැඳවලා සාකච්ඡ කිරීමට වේලාවක් තිබුණේ නැහැ. ඒ නිසා අප දෙදෙනා පෙනී සිටින්නේ පුද්ගලයින් හැටියටයි.

පසුගිය සතියේ මෙම කමිටුවේ තිබුණ රැස්වීම් පිළිබඳව සහ එය මාධ්‍යයට විවෘත කිරීම පිළිබඳව රටේ නොයෙකුත් ප‍්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා අපි හිතුවා ක්ෂණිකව පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා.
කතානායකතුමාගේ තීරණයක් අනුව පාර්ලිමේන්තුව හිතුවා එක එක කමිටු මාධ්‍යයට විවෘත කරන්න හැකියාවක් තිබෙන බව. ඒ අනුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාව, කමිටුවත් හිතුවා එය මාධ්‍යයට විවෘත කරන්න. අවශ්‍ය නම් රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලික මගින් සජීවී විකාශනයන් කිරීමට. දැන් එය හොඳ අවස්ථාවක් වගේම බරපතළ අභියෝගයක්. ඒක අභියෝගයක් වන්නේ අපිට එහෙම පාර්ලිමේන්තු කමිටු මාධ්‍යයට විවෘත කිරීම පිළිබඳ අත්දැකීම් නැහැ. නමුත් වර්තමානය වන විට ලෝකයේ හැම තැනම ඒක කෙරෙනවා.

මාධ්‍යයට ඇති වගකීම ගැන දැනුවත් කළා

අපි මුලින්ම කමිටුව ආරම්භ වන අවස්ථාවේදීම මාධ්‍යයට දැනුම්දී සිටියා එහි තිබෙන වගකීම. ඒ නිසාම අපි ඉල්ලා සිටියා පුළුවන් තරම් වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා. අපේ කටයුතු සඳහා අපි නිර්ණායකයක් ලෙස ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තොරතුරු ලබාගැනීම මූලික අයිතිවාසිකමක් ලෙස ප‍්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ අනුව 2016 අංක 06 තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම් පනත නීතියක් බවට පත්වෙලා තිබෙනවා. ඒ අනුව පුරවැසියන්ට යම් යම් තොරතුරු ලබාගැනීම මූලික අයිතියක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම මෙම තේරීම් කාරක සභාවට විෂය වී තිබෙන සමහර කාරණා ඉතාමත්ම සංවේදී බව ද අපි දන්නවා. ඒ නිසා එක්තරා ආකාරයක තුලනයක් සහිතව මේ වැඬේ කරන්න අපි ප‍්‍රවේශම් විය යුතුයි.
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත කෙරෙහි අවධානය යොමුකරලා මම පළමු දවසෙම කිව්වා, මෙම පනතේ 5වන වගන්තියේ තිබෙනවා, ‘‘තොරතුරු හෙළිදරව් වීම රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවට හෝ බරපතළ ලෙස අගතිදායක වන අවස්ථාවක තොරතුරු ලබා නොදී සිටිය හැකිය’’ කියලා.

ජාතික ආරක්ෂාවට අගතිදායක ප‍්‍රශ්න ඇහුවේ නැහැ

අපි මෙය නිර්ණායකයක් හැටියට සඳහන් කරලා, ඇත්ත වශයෙන්ම ප‍්‍රායෝගිකව අපි ඊටත් වැඩිය මට්ටමක් හදා ගත්තා. මෙම පනත අනුව ‘‘බරපතළ ලෙස අගතිදායක වන අවස්ථාවක’’ පමණයි තොරතුරු නොදී ඉන්න පුළුවන්. අපි මෙහිදී ‘‘බරපතළ ලෙස’’ කියන එක පාවිච්චි කළේ නැහැ, අපි කිව්වා ‘‘ජාතික ආරක්ෂාවට අගතිදායක’’ වනවා නම් කමිටුව හමුවේ දෙන සාක්ෂි එම අවස්ථාවේ දී ප‍්‍රසිද්ධියට පත්කරන්නේ නැහැ කියලා. නමුත් ඒවා වාර්තාවට ඇතුළත් වෙනවා. ඒ අනුව අපි දැඩිලෙස ප‍්‍රවේශයම් වුණා.

එදා, පසුගිය බ‍්‍රහස්පතින්දා කාරක සභාව හමුවේ සාක්ෂි දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව හොඳට දන්න, බොහොම පළපුරුදු සාක්ෂිකරුවන් දෙදෙනෙක්. ඒ වර්තමාන ආරක්ෂක ලේකම්වරයා, එතුමා හිටපු යුද්ධ හමුදාපති. සිසිර මෙන්ඩිස් මහතා රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. අද ජාතික බුද්ධි ප‍්‍රධානියා.

ඔවුන්ටත් අපි බොහොම පැහැදිලිව කියා සිටියා, යම් දෙයක් ජාතික ආරක්ෂාවට අගතියක් කියලා හිතෙනවා නම් ඒක ප‍්‍රකාශ කරන්න එපා කියලා. අපිට කියන්න, එතකොට අපි තීරණය කරන්නම් මොකද කරන්නේ කියලා. එතකොට අපිට පුළුවන් එය මාධ්‍ය නොමැතිව වාර්තාවට යන්න.

මාධ්‍යට නොදිය යුතු දේ අපි දැනගෙන සිටියා

ඒ වගේම ඔබට මතක ඇති ආරක්ෂක ලේකම්වරයා කිව්වා ‘‘මම වෙනම කියන්නම්’’ කියලා. ඒ වෙනම කියන්නම් කියලා කිව්ව කරුණු ගැන අපි ඒ වේලාවේ ප‍්‍රශ්න කෙරුවෙත් නැහැ. අපිට අවශ්‍ය නම් අපි පසුව තීරණය කරනවා ඒ ගැන මාධ්‍ය නැතිව ප‍්‍රශ්න කිරීමක් කරන්න.

සිසිර මෙන්ඩිස් මහතාටත් මුලින්ම මේ කාරණා පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. (මම එදා මුලාසනයේ හිටියේ) ඉන් පසුව පස්වරු 01ට පමණ අපට දැන ගන්නට ලැබුණා ‘‘පියෝ ටීවී ආයාතනය හරහා විකාශනය වන සජීවී විකාශනය හදිසියේ නතර කරලා කියලා. ඉන් පසුව අපි දිවා ආහාරය ගත්තා. අපි නිල වශයෙන් තාම දන්නේ නැහැ පියෝ ටීවී සජීවි විකාශනය කොහොමද නතර වුණේ කියලා.

දිවා ආහාරයෙන් පසු නැවතත් සිසිර මෙන්ඩිස් මහතා සක්ෂි දෙනවිට මම එතුමාට නැවතත් පැහැදිලි කරලා දුන්නා ජාතික ආරක්ෂවට අගතිගාමී දෙයක් තිබෙනවා නම් එය කියන්න එපා, අපිට අවශ්‍ය නම් ජනමාධ්‍ය නැතිව ඒ ගැන විමසලා වාර්තාගත කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහු සාක්ෂි දෙමින් යන විට මට මතකයි මම එක්වරක් ඔහුට නැවතත් දන්වා සිටියා.

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට වන චෝදනා සාවද්‍යයි

ඉතාමත්ම වගකීමකින් තමයි අපි කටයුතු කළේ. ඒ වගේම එදා මුලාසනයේ හිටිය මන්ත‍්‍රීවරයා ලෙස අවශ්‍ය නම් ජාතික රූපවාහිනිය හරහා සිදු වූ සජීවි විකාශනය නතර කිරීමට මම සූදානමින් හිටියා. ඒත් එවැනි අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. මොකද මේ දෙදෙනාම ජාතික ආරක්ෂාව ගැන ඉතා හොඳින් දන්න වැදගත් නිලධාරීන්.

මෙසේ ජාතික ආරක්ෂාව පිළිබඳව යම් අධීක්ෂණයක් කිරීම අලූත් දෙයක් නොවෙයි. මහා බි‍්‍රතාන්‍යයේ තිබෙනවා ‘‘යුක්තිය සහ ආරක්ෂාව’’ කියලා පනතක්. එහි දෙවැනි වගන්තියේ තිබෙනවා තිබෙනවා මේ කමිටුවේ අයිතිවාසිකම්. එහි පැහැදිලිව තිබෙනවා ජාතික ආරක්ෂාවට, බුද්ධි කටයුතුවලට බාධා නොවන පරිදි කටයුතු කරන්නේ කොහොමද කියලා එම පනතේ තිබෙනවා. ඒ වගේම තමයි ඇමෙරිකාව, කැනඩාව ආදි රටවල්වලත් ජාතික ආරක්ෂාව, බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ආදිය යම් පමණකට පාර්ලිමේන්තුවේ අධීක්ෂණයකට ලක්කරලා තිබෙනවා. ඒ වගේම අවශ්‍ය ‘‘ආරක්ෂක විධිවිධානත්’’ පනවලා තිබෙනවා.

එම නිසා අපි, තේරීම් කාරක සභාව ජාතික ආරක්ෂාවට අගතිගාමී වන ලෙස කටයුතු කළා කියන කතාව සම්පූර්ණ බොරුවක්. සාක්ෂිකරුවන් කමිටුව හමුවේ දුන් එකම එක පිළිතුරක්වත් ජාතික ආරක්ෂාවට අගතිගාමී වන තැනක කිට්ටුවෙන්වත් ගියේ නැහැ.

ඇතැම් තොරතුරු රටම දන්නා ඒවා

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ බුද්ධි අංශයේ ප‍්‍රධාන නිලධාරීන් කවුද ? ආදිය මුළු රටම දන්නවා. නමුත් බිම් මට්ටමේ සිට අතිවිශාල මෙහෙවරක් කරන බුද්ධි නිලධාරීන් දහස් ගණනක් ඉන්නවා. ඔවුන් කවුද ? ඔවුන් ඉන්නේ කොහෙද ? ආදි තොරතුරු රටට දැන ගැනීමට අවශ්‍ය නැහැ. උදාහරණයක් ලෙස කාත්තන්කුඩි ප‍්‍රදේශයේ බුද්ධි අංශ භාරව ඉන්නේ කවුද ? යන ප‍්‍රශ්නය මතු වුණොත් අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. ඒක දැන ගන්න රටට අවශ්‍ය නැහැ. ඒක ජාතික ආරක්ෂාවට අගතියක් වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා.

විපක්ෂය කටයුතු කළේ දේශපාලන න්‍යාය පත‍්‍රයකට

මේ කමිටුව කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ නියෝගයක් අනුව. මෙම තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුත් 64ක් අත්සන් කරලා. විපක්ෂයේ මන්ත‍්‍රීවරු මෙයට සහභාගී නොවන්නේ මීට සම්පූර්ණයෙන් වෙනස් හේතුවක් නිසා. ඔවුන් හිතනවා බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව තිබෙන කාරණා මෙහි සාකච්ඡුා වෙයි කියලා. ඒ කාරණය උඩ පමණයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් තේරීම් කාරක සභාවට එන්නේ නැත්තේ.

ඒත් අපි තාම බදුර්දීන් ඇමැතිවරයාගේ ප‍්‍රශ්නය ගැන තාම අවධානය යොමුකරලවත් නැහැ. අපිට පාර්ලිමේන්තුවෙන් කියා තිබෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අදාළ බලධාරීන් වෙත ලැබී තිබුණාද ? ප‍්‍රහාරය වැළැක්වීමට හෝ එය පාලනය කිරීමට අදාළ බලධාරීන් ප‍්‍රමාණවත් පියවර ගත්තාද ? එය වැළැක්වීමට නොහැකි වූ රාජ්‍ය යාන්ත‍්‍රණයේ අඩුපාඩු තිබෙනවාද ? මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලට දායක වූ වෙනත් කරුණු තිබෙනවාද ? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හෝ ආණ්ඩුකාරවරයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට එරෙහිව චෝදනා තිබෙනවාද ? එවැනි ප‍්‍රහාරයක් සඳහා අනුබල දුන් අය කවරේද ? සහ එවැනි ප‍්‍රහාරයන් අනාගතයේදී වළක්වා ගන්නේ කෙසේද ? යන්න ගැන සොයා බලා වාර්තා කිරීමයි.

බුද්ධි තොරතුරු පැහැදිලිව ලැබිලා තිබියදීත්, රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලන බලධාරීන් ඒ පිළිබඳව තමන් කළ යුතු දේ නොකර තිබුණා නම් ඒ පිළිබඳව මේ කමිටුව හමුවේ සාක්ෂි විමසීම ජාතික ආරක්ෂාවට අගතියක් වෙන්නේ නැහැ. ඒ සාකච්ඡුාව තුළින් අගතියක් වන යම් ප‍්‍රශ්නයක් මතුවෙනවා නම් ඒක ප‍්‍රසිද්ධියේ ප‍්‍රචාරය වෙන්න අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරට හේතු සැබෑ කරුණු ජනතාව දැනගත යුතුයි

ඉතිං, ‘‘ජාතික ආරක්ෂාව’’ කියන පාඨය පාවිච්චි කරලා විවිධ නිලධාරීන් සහ බලධාරීන් විසින් අවශ්‍ය පියවර නොගැනීම ගැන හෙළිදරව් වීම වැළැක්වීමට පියවර ගන්නවා නම් එය නතර කළ යුතුයි. ඒවා ජනතාව විසින් දැනගත යුතුයි. ඔවුන්ගේ නොසැලකිලිමත්භාවය, අකාර්යක්ෂමභාවය ගැන දැන ගැනීමට රටට අයිතියක් තිබෙනවා. රට ඒවා දැනගත යුතුයි. ජනතාව ඒවා ගැන දැන ගැනීමට ජාතික ආරක්ෂාවට අගතියක් නොවෙයි. අනාගතයේදී ඒවා වැළැක්වීමට ශක්තියක් වෙනවා.
ඒ නිසා ඉතාම පැහැදිලියි, මේ පිළිබඳව අපි ඉතාම වගකීමෙන් කටයුතු කරන්නේ. ජූනි 04 වැනිදායි අපි යළිත් රැුස් වෙන්නේ. අපි එදාට මේ කාරණා යළිත් අවධාරණය කරනවා. විශේෂයෙන් නිලධාරීන් නොවන සාක්ෂිකරුවන් එනකොට අපි තවත් ප‍්‍රවේශම් වෙනවා.

මොකද මේ වන විටත් යම් පිරිසක් අප හමුවේ සාක්ෂි දෙන්නට කැමැතියි කියලා සන්දේශ එවලා තිබෙනවා. අපි දන්නවා ඒ සංදේශ අනුව ඔවුන් දෙන්න ඉන්න සාක්ෂි මොනවද කියලා.

ඒ වගේම තමයි මම එදා මාධ්‍යයෙන් ඉල්ලා සිටියා විකාශනය සජීවීව දෙනවිට එය යම් ප‍්‍රමාදයක් ඇතිව විකාශනය කළ හැකි තාක්ෂණය තිබෙනවා නම් එය ක‍්‍රියාත්මක කරන්න කියලා. මොකද අනපේක්ෂිත ලෙස යම් ප‍්‍රකාශයක් කියවුණොත් අපිට එය වළක්වා ගත හැකියි.

මේක දිහා විවිධාකාරයෙන් බලන කණ්ඩායම් ඉන්නවා

මේ කාරණය පිළිබඳව ප‍්‍රකාශ නිකුත් කරන වර්ග දෙකක් ඉන්නවා. සමහරු ඉතා අවංකව ජාතික ආරක්ෂාවට යම් අගතියක් වෙයි කියලා කියන අය. ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි අභියෝගයක් ජයගත හැකි ආකාරය ගැන ඔවුන්ට යම් යම් යෝජනා තිබෙනවා නම් අපි කැමැතියි ඒවත් සලකා බලන්න.

තව කොටසක් ඉන්නවා මේක සම්පූර්ණයෙන් දේශපාලනිකව ප‍්‍රචාරය කරන්න. ජාතික ආරක්ෂාව ගැන කතා කිරීමට තමන්ට පමණක් හිමි අයිතියක් කියලා හිතන අයත් ඉන්නවා. ඒක ඔවුන්ගේ නිදහස. ඒ වගේම තමයි මේ නිලධාරීන්ගේ, දේශපාලන බලාධිකාරියේ නොසැලකිල්ල, අකාරක්ෂමතාවය හෙළිදරව් වෙනවාට අකමැති අයත් ඉන්නවා. ඒත් අවංකව කටයුතු කරන අයට අපි ස්තුතිවන්ත වෙනවා.

මාධ්‍ය ගැන කතා කළොත්, මේ අභියෝගාත්මක කාර්යය වඩාත් හොඳින් කරන්නේ කොහොමද කියලා තමුන්නාන්සෙලා සමගත් කතා කරන්න අපි සූදානම්.

නැවතත් කියන්නේ අපි කතා කරන්නේ පුද්ගලයින් හැටියට. ඒත් අපේ කමිටුවත් මේ ගැන අවධානය යොමු කරයි කියලා අපිට විශ්වාසයි.

Recommended For You

About the Author: Editor