IS ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් මාතලේ සංඝමිත්තා විදුහලේ ඊයේ (01) දින පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අයි.එස්. ත්‍රස්තවාදයේ පදනම ජාතිවාදය බවයි. ඒ බව අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා අනන්‍යතාවය පදනම් කොට ගත් ප්‍රතිත්‍රස්ත වැඩසටහන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ සැලසුම් සකස් කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රට මේවන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එසේ නම් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුයි. රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබාදීම අපි ඉදිරියටම කරගෙන යා යුතුයි. එම වැඩකටයුතු අතරමඟ නතර නොකළ යුතුයි.

සහාරාන්ගේ ත්‍රස්තවාදය, අයි.එස්. ත්‍රස්තවාදය, එන්.ටී.ජේ. සංවිධානය නැති වූ පමණින් ත්‍රස්තවාද සම්පූර්ණයෙන් අවසන් වූවා යැයි සිතිය නොහැකියි. මෙය එක් සංවිධානයක් පමණක් නොවෙයි. එහි එක් විෂබීජයක් අවසන් කළ විට තවත් විෂබීජයක් පැමිණෙන්නට පුළුවන්. සමාජයට අයහපත් මතවාදයක් වුණත්, අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙක් එය වැළැඳගැනීමට පෙළඹෙනවා. මම කාලයක් බොස්ටන් නගරයේ ජීවත් වුණා. ඒ කාලයේ එම නගරයේ සිටි සහෝදරයන් දෙදෙනෙක් කිසිම අයි.එස්. ත්‍රස්තවාදියෙක් මුණනොගැසී අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදය ඉගෙන ගත්තා. අන්තර්ජාලයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කරන ආකාරය ඉගෙන ගෙන ඔවුන් දෙදෙනා බොස්ටන් නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.

අපි මෙය සිහිතබා ගත යුතුයි. අනාගතයේදී මේ මතවාදය ස්වල්ප දෙනෙක් විසින් නැවතත් ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා අපේ අවශ්‍යතාවය වන්නේ අයි.එස්. ත්‍රස්තවාදය නැවතත් මේ රටට පැමිණීම වළක්වන දීර්ඝකාලීන උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි.  ප්‍රතිත්‍රස්ත වැඩසටහනක් අවශ්‍යයි. එවැනි වැඩසටහනක් නොමැති නම් අපට අනාගතය ගැන විශ්වාසයක් ඇති වන්නේ නැහැ. ඒ වගකීම කැබිනට් මණ්ඩලය ලෙස අපි භාරගෙන තිබෙනවා. මීට පෙර එම වගකීම කැබිනට් මණ්ඩලයට ලබානොදීම පිළිබඳව කමිටුවක් සහ කොමිෂමක් මගින් කරුණු විමසමින් තිබෙනවා.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට ජනතාව එකතුවීම නැවැත්වීම, අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාර නතර කිරීම, ප්‍රහාරයක් සිදුවූ විට ඊට මුහුණදිය හැකි වැඩසටහනක් සකස් කිරීම එම අරමුණු තුනයි. අද අපි අමාත්‍ය මණ්ඩලය ලෙස රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නේ මෙම අරමුණු තුන පදනම් කරගෙනයි. ඉන්පසුව අපි ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරනවා. රටේ ජාතික ආරක්‍ෂාව අපේ වගකීමක්.

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අප ඉදිරියේදී පියවර ගණනාවක් ගත යුතුයි. නව නීති සඳහා අවධානය යොමු කළ යුතුයි. එංගලන්තය වැනි රටවල් සිරියාව වැනි ත්‍රස්තවාදය තිබෙන රටවල්වලට යාම නතර කර තිබෙනවා. අන්තවාදය, ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන පුද්ගලයන් වරදකරුවන් ලෙස සැලකිය යුතුයි. අන්තර්ජාලය පාලනය කළ යුතුයි. අයි.එස්. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ සියල්ල එකට එක්වී ක්‍රියා කළ යුතුයි. තනි තනිව තොරතුරු එක්රැස් කිරීමේදී ප්‍රයෝජනයක් නොමැති බවත් පැවසිය යුතුයි.

මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේදී විදේශීය බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට සිදු වෙනවා. ඒවගේම රටේ රේගු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඉන්දියාව, අන්තර් ජාතික පොලිසිය, එෆ්.බී.අයි. සංවිධානය ආදී සියලූ ආයතනවල තොරතුරු ලබාගෙන යම් පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙක් බවට පත් වනවා ද අනාගතයේ සංවිධානයක් ගොඩනගනවා ද යන්න පිළිබඳව සොයා බැලීමට හැකියාව තිබෙනවා.

Recommended For You

About the Author: Editor