ත‍්‍රස්තවාදයට හා අන්තවාදයට විරුද්ධව මුස්ලිම් සමාජය කළ හැකි සියලූම දේ කළා – කබීර් හෂීම්

” අපිට පුළුවන් ආකාරයෙන් ප‍්‍රධාන ධාරාවට අයත් මුස්ලිම් ජනතාව ‘‘රට පළමුවෙන්’’ කියලා හිතාගෙන වැඩකරලා තියෙනවා”

‘‘බලලෝභකමින්, දේශපාලන අරමුණුවලින් මේ රටේ ලේ විලක් ඇති කරලා මහ විනාශයක් ඇතිවීම වළක්වන්න මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලූම මැති ඇමැතිවරුන් වහාම ඉල්ලා අස්වීමට අද සවස අගමැතිවරයා සමග පැවැති සාකච්ඡවෙන් පසු තීරණය කළා’’ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

අද සවස මුස්ලිම් මැති – ඇමැතිවරුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවැත්වූ සාකච්ඡවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කබීර් හෂීම් මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුව, ත‍්‍රස්ත කල්ලියම අත්අඩංගුවට ගත පසුවත් රට පුරා කලබල ඇති කරන්න සමහරු සූදානම් වෙනවා. ඒ නිසා අනෙක් අය ඉදිරිපත් නොවුවත් ප‍්‍රජාවක් විදිහට අපි ඉදිරිපත් වෙලා අපේ යුතුකම් ඉටුකළ යුතුයි කියලා අපි තීරණය කළා.

කවුරු හරි අපිට ඇඟිල්ල දිගු කරලා චෝදනා කරනවා නම් අපිට පුළුවන් ආකාරයෙන් ප‍්‍රධාන ධාරාවට අයත් මුස්ලිම් ජනතාව ‘‘රට පළමුවෙන්’’ කියලා හිතාගෙන වැඩකරලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ ප‍්‍රශ්නය පටන් ගන්නේ මගේ ප‍්‍රදේශයෙන් (ඡයාරූප පෙන්වමින්). පළමුවෙන් වෙඩි තිබ්බේ මෙයාට. මේ තරුණයා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. මෙයාගේ නම ‘‘තස්ලිම්’’ මෙයා තාම රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් ඉන්නවා. මෙයාට වෙඩි තිබ්බේ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව බුද්ධි අංශවලට තොරතුරු දීලා, බුද්ධි අංශ එක්ක ගිහින් වැටලීම් කළ නිසා. ඒක එතනින් නැවතුණේ නැහැ.

මේ ප‍්‍රශ්නයෙන් පසුව අපි මුස්ලිම් නායකයෝ හැටියට මේ ප‍්‍රශ්නයට, මේ ත‍්‍රස්තවාදීන් බිහිවීමට හේතුවන දේවල් වෙනස් කරන්න පියවර ගත්තා. මද්‍රසා පනත සංශෝධනය කරන්න හලීම් ඇමතිතුමා පියවර අරගෙන ඒක ක‍්‍රියාත්මක කරගෙන යනවා. නිකාබය ඇඳීම සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්නයක් වුණ නිසා ඒක ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ වගේම මේ ත‍්‍රස්තවාදීන්ව ඉස්ලාම් ආගමික වතාවත් අනුව වළලන්න පවා අපේ මෞලවිවරු ඉඩ දුන්නේ නැහැ. එවැනි දෙයක් කවදාවත් වුණේ නැහැ. එල්ටීටීඊ ත‍්‍රස්තවාදී කාලේ පවා ඒක වුණේ නැහැ. ඒ වගේම තවුහික් කල්ලියට අයත් පල්ලියකට මුස්ලිම් ප‍්‍රජාවම තමයි ගිහින් පහර දෙන්නේ. අන්තවාදීන්ට විරුද්ධව එතරම් කෝපයක් තිබුණා අපේ සමාජය තුළ. වැටලීම්වලදී හමුදාවට උපරිම සහාය දුන්නා.

සමහරු මේක ජාතිවාදී යුද්ධයක් හැටියට පාවිච්චි කරනවා. ඒ නිසා මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයෝ හැටියට අපි කල්පනා කළේ පළමුවෙන්ම රට තියෙන්න ඕනෑ. ඒවගේම මේකේ ඉවරයක් තියෙන්න ඕනෑ. ඒ නිසා මේ සිදුවීම්වලට සම්බන්ධ යැයි කියන කවුරු හරි ඉන්නවා නම්, කාගෙන් හරි කට උත්තර ගන්න වුවමනා නම්, ප‍්‍රශ්න කරන්න වුවමනා නම් දැන් පුළුවන්. කවුරු හරි කියනවා නම් මේ පරීක්ෂණවලට බලපෑමක් තියෙනවා කියලා ඒ අය දැන් ඉවත් වෙලා තියෙනවා. ඒ දේශපාලන නායකයින්ට එරෙහිව චෝදනා තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා ඔවුන් ගැන පරීක්ෂණ කරන්න. මොකද ඔවුන් දැන් ඇමැතිකම්වලින් ඉවත් වෙලා ඉන්නේ.

අපි ඉල්ලා සිටිනේනේ මේ පරීක්ෂණය මාසයක් ඇතුළත අවසන් කරලා, ඊට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්න. නිසියාකාරයෙන් දඬුවම් දෙන්න කියලා අපිත් ඉල්ලා සිටිනවා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි ආවේ. අපි විශ්වාස කරනවා හමුදාව, පොලීසිය ඇතුළු සියලූ අංශවල නිලධාරීන් අදාළ පියවර අරන් මේ කටයුතු සාර්ථකව අවසන් කරාවි කියලා.

Recommended For You

About the Author: Editor