වන්ධ්‍යාකරණයට ලක්වූ මව්වරුන් ගැන සොයන්න ස්වාධීන පර්යේෂණ කමිටුවක් ඕනෑ – GMOA

ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් සිදුකර තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මුලින්ම පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අවධාරණය කරයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකදී නවින්ද සොයිසා මහතා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නවින්ද සොයිසා මහතා,

පොලීසියට අදාළ පැමිණිලි භාරගැනීමට හැකියාව තිබුණද විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට පොලීසියට හැකියාවක් නැහැ. විද්‍යාත්මක පරීක්ෂාවකට පෙර ස්වාධීන පර්යේෂණ කමිටුවක් පත්කළ යුතුයි. මවුවරුන් වඳභාවයට ලක්ව තිබේද යන්න සොයා බැලීමට ලංකාව තුළ පහසුකම් තිබෙනවා. එහෙත් එම පරීක්ෂාව සිදුකළ යුත්තේ මවුවරුන් අගතියට පත්නොවන ආකාරයටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප සංගමය පත්කළ කමිටුවටත් රෝහල හරහා මවුවරුන්ගේ පැමිණිලි ලබාගෙන ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකරනවා. වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් 600කට ආසන්න ප්‍රමාණයක් පැමිණිලි කර තිබෙන බවට වාර්තා වෙනවා. එය සැලකිය යුතු පැමිණිලි ප්‍රමාණයක්.

පැමිණිලි සිදුකර ඇති මවුවරුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමේදී ඔවුන් අගතියට පත් වුවහොත් එය මවුවරුන්ට සිදුකරන අසාධාරණයක්.ඒ නිසා ප්‍රථමයෙන් ස්වාධීන පරීක්ෂණ කමිටුවකට අදාළ ගැටලු යොමුකර අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බවයි අප සංගමයේ ස්ථාවරය වන්නේ ’’ යැයි ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.

Recommended For You

About the Author: Editor