ඇමතිකම්වලින් ඉල්ලා අස්වී මුස්ලිම් ඇමැතිවරු තම පාරිශුද්ධ බව පෙන්වා දුන්නා – ඇමැති නවීන් දිසානායක

මුස්ලිම් ඇමැතිවරුන් සිය පදවිවලින් ඉල්ලා අස්වුණේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නැති බව පෙනී ගිය නිසා බවත් ඒ සමග ඔවුන් තම පාරිශුද්ධභාවය පෙන්වා ඇති බවත් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා කියයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ රජයේ සංවර්ධන කටයුතු සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ කාලීන අභියෝග පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

රජය ජාතීන් අතර සංහිඳියාව සහ අනෝන්‍ය විශ්වාසය වර්ධනය කරන්න හදන අවස්ථාවක නොයෙකුත් දේශපාලන හස්තයන් ක‍්‍රියාත්මක වෙලා ජන ජීවිතය කඩාකප්පල් කරන්න, විශේෂයෙන් අපේ රටේ තිබෙන සංහිඳියාව නැති කරන්න උත්සාහ දැරීමක් අපට පේනවා. කළු කොඩි එසවීම, කඩවල් වැසීම වැනි දේවල් සිදුවන බව අපට පේනවා. මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ රට අස්ථාවර කිරීමට දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වන බවයි. අපි මේ තත්ත්වය හඳුනා ගෙන එයට මුහුණ දීමට අවශ්‍යයි. ඒ වගේම තමයි මේ දේශපාලන අවස්ථාවාදයට මුහුණ දීමට රජයක් ලෙස අපිට ශක්තිය තිබෙන බව පැහැදිලිව කිව යුතුයි.

අපේ රට මේ වන විට තීරණත්මක තැනකට යළි පැමිණ තිබෙනවා. මට හිතෙන ලෙස 1983ට අපි යළි පැමිණ තිබෙනවා. එවකට පැවැති රජය තීන්දුවක් ගත්තා විපක්ෂ නායක අමිර්තලිංගම් මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. මගේ තාත්තත් ඒ ආණ්ඩුවේ බලවත් ඇමැතිවරයෙක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වුණ දේශපාලන නායකයෙක්ව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න අපි වාතාවරණය හැදුවා. එතැන විශාල හිඩැසක් ඇති වුණා. ඒ හිඩැස තමයි එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් පිරෙව්වේ. අපි නැවතත් එවැනි තත්ත්වයක් ඇති නොකළ යුතුයි.

දැන් අපිට පේනවා සමාජය තුළ ජීවත් වෙන මධ්‍යස්ථ මතධාරීන්ව කොන් කිරීමේ උත්සාහයක්. අද ඒ මධ්‍යස්ථ මතයට එළියට එන්න නොහැකි වන ලෙස විශාල තර්ජනයක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් සිදුවෙමින් තිබෙන්නේ බලය පිටුපස හඹා යාම. ඒක තව මාස පහකින් ජනාධිපතිවරණය එනවා. එදාට අපිට පුළුවන් ඒකට මුහුණ දෙන්න. ඒත් මං කරුණාකරලා ඉල්ලා සිටින්නේ ජාතිවාදී ස්වරූප ගනිමින් රට අස්ථාවර නොකරන ලෙසයි. ඒ නිසා මම පැහැදිලිව ඉල්ලා සිටින්නේ මධ්‍යස්ථ දේශපාලනයකට, මතවාදයකට ගමන් කිරීම පියවර ගන්නා ලෙසයි.

අපිට වගකීමක් තිබෙනවා, විශේෂයෙන් ආරක්ෂක තත්ත්වය ලබන ජනාධිපතිවරණය දක්වා සුරක්ෂිතව ඉදිරියට ගෙන යාමට. ඒ වගේම තමයි මේක සිංහල බෞද්ධ රටක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ රටේ ජීවත් වන සිංහල බෞද්ධ ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. නමුත් සිංහල බෞද්ධ නොවන ජනතාවටත් අපි ඒ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි. එම නිසා එම වගකීම ඉටු කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටින බව පැහැදිලිව ප‍්‍රකාශ කරනවා.

මාධ්‍ය : අලූතින් සමෘද්ධිය ලබා දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් බවට විපක්ෂය චෝදනා කරනවා නේද ?

නවීන් : නැහැ, ඒ චෝදනාව සාවද්‍යයි. සමෘද්ධිය ලබාදීමේදී කිසිදු ආකාරයක දේශපාලන බැඳීමක් නැහැ. එය සිදුවන්නේ දිස්ත‍්‍රික් ලේකම්තුමා ඇතුළු කමිටු මාර්ගයෙන්. ඒ අනුව සුදුසුම පුද්ගලයින්ට පමණක් අපි සමෘද්ධිය ලබාදෙනවා.

මාධ්‍ය : ප‍්‍රහාරයෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගන්න මුස්ලිම් ජනතාව සහාය දුන් බව ඔබතුමා ප‍්‍රකාශ කළා. ඒත් ඇතැම් මුස්ලිම් ඇමැතිවරු එවැනි සහායක් දුන් බවක් පේන්න තිබුණේ නැහැ නේද ?

නවීන් : රටේ නීතියක් තිබෙනවා. හුදු චෝදනා මගින් පමණක් කිසිවෙක් වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා වන විධිමත් ක‍්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුවයි කිසියම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් කරන්නේ. ඒ අනුව මුස්ලිම් ඇමැතිවරුන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ කරන ගෙන යනවා. අපි ඒවාට කිසිදු ආකාරයකින් මැදිහත් වෙන්නේ නැහැ. අපිත් බලාගෙන ඉන්නේ ඒ වාර්තා එනකම්. අපිටත් ඕනෑ ඇත්ත නැත්ත දැන ගන්න. දැන් සියලූම මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබෙනවා. දැන් පරීක්ෂණ වඩාත් පහසුවෙයි. ඒ වගේම ඔවුනුත් ඉල්ලන්නේ මාසයක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කර සත්‍ය තත්ත්වය රටට කිව යුතුයි කියලා. මාත් කියන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිධභාවයක් තිබිය යුතුයි. රටට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි.

මාධ්‍ය : ඒ කියන්නේ ඔවුන් අතින් යම්කිසි බලපෑමක් වුණා කියන එකනේද ?

නවීන් : නැහැ, ඔවුන් ඔවුන්ගේ පාරිශුද්ධභාවය ප‍්‍රදර්ශනය කරලා තිබෙනවා.

මාධ්‍ය : චෝදනා එල්ල වුණේ එක් අයෙකුට පමණයි. ඒත් සියලූ දෙනාම ඉල්ලා අස් වුණා නේද ?

නවීන් : නැහැ, මට ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡව අහන්න ලැබුණේ නැහැ. ඒත් මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නැති බවට ඒ සමාජය තුළ චෝදනාවක් තිබෙනවා. ඒ නිසයි ඔවුන් ඉල්ලා අස් වුණේ.ඒ වගේම තමයි චෝදනා ඔප්පු වුණොත් ඔවුන් සමග එකම කැබිනට් එකේ ඉද ගන්න අපිටත් බැහැ. ඒත් ඔවුන් ඉල්ලා අස් වුණේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව නැත යන චෝදනාව සහ ඔවුන්ගේ පාරිශූද්ධභාවය ඔප්පු කර මේ පරීක්ෂණවලට අපෙන් බලපෑමක් නැහැ කියලා ඔප්පු කරන්නයි. දැන් තියෙන්නේ මාසයක් තුළ මේ පරීක්ෂණ අවසන් කරලා ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමයි.

මාධ්‍ය : ඉල්ලා අස්වූ ඇමැතිවරුන්ගේ ඇමතිකම්වලට අලූතින් පත් කරනවාද ?

නවීන්: මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. ඔබට ඒ ගැන ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

මාධ්‍ය : මංගල සමරවීර ඇමැතිතුමා කාදිනල්තුමා ගැන දරන ස්ථාවරය ගැන ඔබගේ අදහස කුමක් ද ?

නවීන් : ඒක එතුමගේ පුද්ගලික මතය. මම කැමැති නැහැ ඒ ගැන කිසිවක් ප‍්‍රකාශ කරන්න. ඒක මට අදාළ දෙයක් නොවෙයි. ඔබතුමාට තියෙන්නේ එතුමගේ මාධ්‍ය සාකච්ඡුාවකට ගිහින් ඒක එතුමගෙන්ම අහන්න.

මාධ්‍ය : මුස්ලිම් ඇමැතිවරුන් ඉවත්වීම ආණ්ඩුවට ධනාත්මක තත්ත්වයක් ද ?

නවීන්: නැහැ, මම හිතන්නේ නැහැ ඒක ධනාත්මක තත්ත්වයක් කියලා. මම හිතන්නේ ඒක ජාත්‍යන්තර ප‍්‍රජාවට ඍණාත්මක පණිවුඩයක් ගෙන යනවා කියලයි.

මාධ්‍ය : මේ සමග ආණ්ඩුව දුර්වල වෙනවාද ?

නවීන්: කිසිසේත්ම නැහැ. අපිට සහාය දෙන්න අවශ්‍ය තරම් මන්ත‍්‍රීවරු ඉන්නවා.

Recommended For You

About the Author: Editor