ප‍්‍රසාද ලකුණක් සමග අපි ශ‍්‍රී ලංකාව පරාජයට පත් කරනවා – ඇෆ්ගනිස්ථානයෙන් වහසි බස්

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවක කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (03) ලංකාවේ වේලාවෙන් ප.ව 03.00ට කාඩිෆ් හි සොෆියා ගාඩින්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මේ තරගය ශ‍්‍රී ලංකාවට වාගේම ඇෆ්ගනිස්ථානයටත් වැදගත් වෙනවා. ඇෆ්ගනිස්ථානය නවක කණ්ඩායමක් වුවත් පසුගිය කාලයේ දක්ෂතා අතර සිටියා. මෙවර ලෝක කුසලානය ගත් විට වුවත් ඔවුන් සිටින්නේ ශ‍්‍රී ලංකාවට ඉහළින්. ශ‍්‍රී ලංකාවේ දළ ලකුණු වේගය – 5.754ක් වන විට ඇෆ්ගනිස්ථානයේ එය -1.860ක්.

කොහොම වුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ලෝක කුසලාන වාර්තාව යහපත් නැහැ. පෙරහුරු තරගවලිනුත් අපේක්ෂිත සාර්ථකත්වය ලැබුණේ නැහැ. ඒ වගේම පසුගිය 01 වැනිදා දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගයෙන් ද ලැබුවේ දැවැන්ත පරාජයක්. පන්දුවාර 29.2කදී කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයින් දැවී ගොස් ලබාගත්තේ ලකුණු 136ක් පමණයි. ඒ වගේම නවසීලන්තයට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරතවීමටත් නොහැකි වුණා. ඔවුන් ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ කිසිදු කඩුල්ලක් නොදැවී.

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන පුහු වර්ණනා හෝ දැඩි විවේචන නොකළ යුතුයි. මේ වන විට දැවැන්තයෝ ඇඳ වැටෙමින් නැවත නැගිටමින් සිටින ස්වභාවයක් තමයි දැකිය හැකි වන්නේ. ඊට හොඳම උදාහරණය පාකිස්ථානය. කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පාකිස්ථානය ලකුණු 105කට (පන්දුවාර 21.4) දැවී ගියා. ඒත් ඊයේ එංගලන්තය සමග පැවැති තරගයෙන් පාකිස්ථානය කඩුලූ 08කට ලකුණු 348ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළා පමණක් නොවෙයි ලකුණු 14කින් තරගය ජයග‍්‍රහණය කිරීමට ද සමත් වුණා.

ඒ නිසා මුහුණ දුන් ප‍්‍රථම තරගයෙන් නීරස අත්දැකීමක් ලැබුව පළියට ශ‍්‍රී ලංකාවට බලාපොරොත්තු අත් හැරීමට නොහැකියි.

මහේල කියන කතාව

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් පිතිකරුවෙක් සහ හිටපු නායකයෙක් වන මහේල් ජයවර්ධන කියන්නේ මෙවැනි කතාවක්.

‘‘පළමු පන්දුවාර 20 තුළදී කඩුළු ලබානොදීමට අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් විය යුතුමයි. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. පිතිකරණයෙන් තමයි ශක්තිමත් තත්ත්වයක් ගොඩනගා ගත හැකි වන්නේ. පන්දු යැවීමෙන් කළ හැකි දේ ඊට වඩා බොහෝ අඩුයි’’ නවසීලන්තය සමග පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ පසු මහේල විදෙස් මාධ්‍ය හමුවේ කිව්වා.

මෙහිදී ශ‍්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය, ඇෆ්ගනිස්ථානය සමග තරගය ගැනත් මහේල කතා කළා.

‘‘ඇෆ්ගනිස්ථානය සමග තරගය අපට දිනන්න පුළුවන්. නමුත් ඔවුන් ගැන සැහැල්ලූවෙන් සලකන්න බැහැ. ඔවුන් දැන් ප‍්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටිනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායම තමන් ගැන විශ්වාසය තැබිය යුතුයි’’

මෙහිදී ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ගැනත් මහේල තම අදහස් පළ කළා.

‘‘දිමුත් නැවත ලකුණු අතරට පැමිණ සිටීම සතුටට කරුණක්. ඔහු වගකීමෙන් කටයුතු කරන බවක් පෙනී යනවා’’

දිමුත් කියන කතාව

නවසීලන්තය සමග පැවැති තරගයේදී ශ‍්‍රී ලංකාව ලැබූ පරාජය ‘‘නීරස’’ එකක් බවට සැකයක් නැහැ. ඒ ගැන අදහස් දක්වමින් දිමුත් ප‍්‍රකාශ කළේ ‘‘තරගය සඳහා ක‍්‍රීඩකයින්ගේ ඉහළ මට්ටමක උනන්දුවක් තිබුණා නම් මීට වඩා ඉහළ ප‍්‍රතිඵලයක් ලබාගැනීමට තිබූ’’ බවයි.

‘‘පිතිකරුවන් තම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි’’ ඔහු අවධාරණයෙන් කිව්වා.

‘‘උන්නදුව ඉහළින් තිබුණා නම් මීට වඩා හොඳට ක‍්‍රීඩා කරන්න තිබුණා. නවසීලන්ත පන්දු යවන්නන් අපිව අමාරුවේ දමමින් හොඳින් පන්දු යැව්වා. නමුත් ඒ අසීරු අවස්ථාව තිබෙන්නේ පන්දුවාර කිහිපයක් පමණයි. අපි ඒ වේලාවේ ඉවසා ගෙන හිටියා නම් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් අවස්ථාවේදී ලකුණු අතරට එන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා අපි ඉදිරියේදි අපේ උපරිමයෙන් ක‍්‍රීඩා කළ යුතුයි’’

ඇෆ්ගනිස්ථානය කියන කතාව

අඛණ්ඩව පැවැති යුද්ධවලින් සහ මූලධර්මවාදීන්ගෙන් නිමක් නැති ගැහැට විඳිමින් සිටින ඇෆ්ගනිස්ථානය පසුගිය කාලය තුළදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් අපූරු ප‍්‍රගතියක් වාර්තා කළා. ඔවුන් මේ වන විට ජාත්‍යන්තර තරග 59ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර බංග්ලාදේශය, බටහිර ඉන්දිය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව එක්දින තරග ජයග‍්‍රහණය කර තිබෙනවා පමණක් නොව පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී ද ශ‍්‍රී ලංකාවට ද තියුණු තරගයක් ලබා දුන්නා. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බලාපොරොත්තුව වන ‘‘අෂීඞ් ඛාන්’’ ගේ තියුණු දඟ පන්දුව අද පිතිකරුවන්ට මාරාන්තික වී තිබෙන තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල වීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්.

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය ආරම්භ වීමට පෙර සිටම ශ‍්‍රී ලංකාව දෙස බැලූවේ අවතක්සේරුවෙන් බවයි ජාත්‍යන්තර ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ.

‘‘ප‍්‍රසාද ලකුණක් සමග අපි ශ‍්‍රී ලංකාව පරාජයට පත් කරනවා’’ ඔවුන් අවධාරණයෙන් කිව්වා.

ආධුනික ඇෆ්ගන් කණ්ඩායමේ මේ පුරාජේරු කතා සැබෑවක් නොකිරීමට දිමුත් ඇතුළු සියලූ දෙනාගේ වගකීමක් බව අපි සියලූ දෙනාගේ අදහසයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor