ඇෆ්ගන් වහසි බස්වලට සිංහයන්ගෙන් පිළිතුරු

මුල්පෙළ පිතිකරුවන් ගොඩනැඟූ ශ‍්‍රී ලංකා ඉනිම මැදපෙළ පිතිකරුවෝ යළිත් වනසති

‘‘අපි ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණකින් පරාජය කරනවා’’ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමටත් පෙර සිටම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වහසි බස් දෙඩුවා. ඒ විතරක් නෙමෙයි මහේල ජයවර්ධන ඇතුළු ප‍්‍රවීනයින් පවා කිව්වේ ‘‘ඇෆ්ගනිස්ථානය ගැන සුළුවෙන් හිතන්න එපා’’ කියලා.

ඇත්ත තමයි, නායක දිමුත්ට වුණත් එතරම් විශ්වාසයක් තිබුණ බවක් පෙනුණේ නැහැ. ඒ නිසාමදෝ ඔහු පිතිකරුවන්ට යම් පමණකට චෝදනා කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (4) ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03.00ට ‘කාඩිෆ්’හිදී තරගය ආරම්භ වුණේ මෙවැනි වාතාවරණයක් මැද.

කාසියේ වාසිය දිනා ගත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් නායකයා. ඔහු ආරාධනා කළා ශ‍්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්න කියලා. ඔහුගේ යටි සිතේ තිබුණ අරමුණ පැහැදිලියි. ඒ තම පන්දු යවන්නන් මගින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම. ඊට පසු පහසු ඉලක්කයක් හඹා යාම.

ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරු යුවල, නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියා. ඒ වන විටත් අඳුරු වැහි වළාකුළු ඈතින් මෝදු වෙමින් තිබුණා. ඒත් කිසිවෙක් ඒ ගැන තැකීමක් කළ බවක් පෙනුනේ නැහැ.

දිමුත් – කුසල් පෙරේරා කාලයකට පසු හොඳ ආරම්භක සබඳතාවක් වාර්තා කරමින් සිටියා. ඒ පන්දු 79කට ලකුණු 92ක්. එය සැලකිය යුතු හොඳ ලකුණු වේගයක් වගේම අගනා ආරම්භයක්.

ඒත් මීට ඉහත නවසීලන්ත තරයේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් හුදකලා සටනක නිරත වූ දිමුත් අවාසනාවන්ත ලෙස ‘‘මොහොමඞ් නාබී’’ගේ පන්දුවකට ගොදුරු වුණා. ඒ පන්දු 45කදී ලකුණු 30ක් ලබා සිටියදී. දිමුත්ගේ ඒ ලකුණු 30 තුළ 4 පහර 3ක් තිබුණා.

දිමුත්ගේ දැවී යාමත් සමග තුන්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ ‘ළහිරු තිරිමාන්න. ළහිරු – කුසල් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක අගනා සබඳතාවක් වාර්තා කළා.

නැවත අවාසනාව ශ‍්‍රී ලංකාව වෙත බැල්ම හෙළුවා. ඒ වන විට පන්දු 34කට 4 පහර 4ක් සමගින් ලකුණු 25ක් වාර්තා කර සිටි ළහිරු නබීගේ පන්දුවකට ‘‘අලස’’ පහරක් එල්ල කළා. ළහිරු දැවී යන විට ශ‍්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 144ක් /2ක් ලෙස සටහන් වෙලා තිබුණා.
ක‍්‍රීඩා විචාරකයෝ කිව්වේ එය හොඳ ලකුණු සංඛ්‍යාවක් කියලා.

නබීගේ මාරක පන්දු ඕවරය

ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් 22 වැනි පන්දු වාරය. පන්දු යවමින් සිටියේ නබී. ඔහු ඒ වන විටත් කඩුළු 02ක් දඩයම්කර තිබුණා.
නබීගේ මාරක පන්දුවට මුලින්ම ගොදුරු වුණේ ඒ වන විට ලකුණු 25ක් රැස් කරගෙන සිටි ළහිරු තිරිමාන්න.

තිරිමාන්න දැවී ගිය පසු පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස්. ඔහු මුහුණ දුන් පළමු පන්දුව ද මාරක පන්දුවක් බවයි ක‍්‍රීඩා විචාරකයෝ කිව්වේ. ඒ නබීගේ පන්දුව ස්ලිප් ක‍්‍රීඩකයා ආසන්නයෙන් ම ඇදී ගිය නිසයි. ඒත් එයින් ලකුණු 02ක් ලබා ගැනීමට කුසල් සමත් වුණා.

යළිත් කුසල්ටමයි නබීගේ ඊළඟ මාරක පන්දුව. කුසල් මෙන්ඩිස් බොහොම පහසුවෙන් පහරක් එල්ල කළා. උඩ පන්දුවක් ලෙස ස්ලිප් ක‍්‍රීඩකයා අතටම එය ගියා. ලකුණු 02කට කුසල් මෙන්ඩිස් දැවී ගියා.

කුසල් මෙන්ඩිස්ගෙන් පසු පිටියට පිවිසියේ ඇන්ජිලෝ මැතිව්ස්. ඔහු ද මුහුණ දුන්නේ පන්දු 02කට පමණයි. ලකුණු නොලබාම මැතිව්ස් පිටියෙන් ඉවත් වුණා.

අපි ඔක්කොම ගස් – රසල් ආනෝල්ඞ්

මේ අතර ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන් පමණක් නොවයි හිටපු ක‍්‍රීඩකයින් පවා පිටිය දෙස නෙත් අයා බලා සිටියා. නැවත නැවත නවසීලන්ත ඉණිම සිහි වුණා.

ඒ අතර රසල් ආනෝල්ඞ් තමන්ගේ ‘ට්වීටර් ගිනුමේ’ සටහනක් තැබුණා. ‘‘අපි ඔක්කොම ගස්’’ ඔහු දුකින් පවසා තිබුණා.

නැවත නැවත අවාසනාව

තව දුරටත් ලංකාවට විශ්වාසය තැබිය හැකි වුණේ පිතිකරුවන් කිහිප දෙනෙක් ගැන පමණයි. ඒත් ඔවුන් පසුගිය තරගවලදී ‘‘ගැරන්ටියක්’’ ලබාදී තිබුණේ නැහැ.

ධනංජල ද සිල්වාත් පිටියට පිවිසියා. ඔහු යළිත් තමා කොතරම් නුසුදුසු ‘‘නීරස’’ ක‍්‍රීඩකයෙකු ද යැයි මනාව පැහැදිලි කරමින් ලකුණු නොලබාම දැවී ගියා.

යමක් කළ හැකි යැයි විශ්වාසය තැබිය හැකි අවසාන පිතිකරුවා වුණේ ‘‘තිසර පෙරේරා’’.

තිසර පෙරේරා ලකුණු 02ක් ලබා ගත්තා. මේ වන විට කුසල් පෙරේරා ස්ථාවර වෙමින් සිටියා. ඒ අතරේ තිසර ‘‘ෂොට් මිට් ඕෆ්’ හි සිටි පන්දු රකින්නා අතටම පන්දුව ‘තල්ලූ’ කරමින් නොතිබූ ලකුණක් සොයා යන්න හැදුවා. අනෙක් අන්තයේ සිටි කුසල් පෙරේරා තිසරව නතර කිරීමට වෑයම් කළත් ඒ වන විටත් තිසරගේ අවාසනාවන්ත ඉරණම ලියැවී තිබුණා. ඔහු දුවද්දී දැවී ගියා. ඔහු කඩුල්ල පූජා කළා යැයි කිව හැක්කේ නොතිබූ ලකුණක් වෙනුවෙන් අනුවණ තීන්දුවක් ගත් නිසයි.

වර්ෂාවෙන් සිදු වූ බාධාව

ලෝක කුසලාන තරග රැසකට වර්ෂාවෙන් දැඩි බාධා සිදුවීම මෙවර සුලභ තත්ත්වයක් ඊයේ ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයටත් වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා පන්දු ඕවර් සංඛ්‍යාව 41කට සීමා කිරීමට තීරණය කර තිබුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සිටියේ ශක්තිමත් තැනක නොවන බව ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකියි.

මේ වන විට ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පිවිස සිටි කුසල් පෙරේරා පන්දු 81කට ලකුණු 78ක් ලබා ගෙන නොදැවී සිටියා. ඊට 4 පහර 08ක් ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ අතර රෂීඞ් ඛාන්ගේ පන්දුවකට ‘‘රිවර් ස්විප්’’ පහරක් එල්ල කිරීමට ගිය කුසල් පෙරේරා ලකුණු 78කට දැවී ගියා. ඒ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කට ලකුණු 180/8ක් වාර්තා කර තිබුණා. ශ‍්‍රී ලංකා පිලේ 09 වන කඩුල්ල ලකුණු 199දී ද 10 වන කඩුල්ල 201දී ද බිඳ වැටුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 41 පවා අවසන් කිරීමට නොහැකි වීම විශේෂත්වයක්. ඔවුන් සියලූ දෙනාම දැවී ගියේ පන්දු වාර 36.5කදීයි.

කඩුළු බිඳ වැටීම
1/92, 2/144, 3/146, 4/146, 5/149, 6/159, 7/178, 8/180, 9/199, 10/201

පන්දු යැවීම

මොහොමඞ් නබී : 9-0-30-4
රෂීඞ් ඛාන් : 7.5-1-17.2
දවලට් : 6-0-34-2
හමීඞ් : 7-0-53-1

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 36.5කදී සියලූ දෙනාම දැවී ලබා ගත් ලකුණු 201 කිසිසේත්ම ජයග‍්‍රහණය සඳහා ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවන බව ක‍්‍රීකට් ප‍්‍රවීණයෝ පුනපුනා සඳහන් කළා.

‘‘ශ‍්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවෝ ගොඩනැඟූ ඉනිම මැදපෙළ පිතිකරුවෝ විනාශ කළා’’ යැයි ඔවුන් සඳහන් කළා.

කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, ධනංජය සිරිවර්ධන, තිසර පෙරේරා සහ ඉසුරු උදාන ක‍්‍රීඩා කළේ පන්දු 12කට පමණයි. ලබා ගත්තෙත් ලකුණු 12ක් පමණයි’’ ඔහුන් සඳහන් කළා.

ඇෆ්ගනිස්ථාන ඉනිම

ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකාවට එරෙහිව වහසි බස් කියමින් සිටි ඇෆ්ගනිස්ථානයට ලැබුණේ පහසු ඉලක්කයක් බව පැහැදිලිව සඳහන් කිරීමේ හැකියාවක් තිබුණා හෝ නොතිබුණා ඔවුන්ට පන්ද වාර 41කදී ලකුණු 202ක් හඹා යා යුතුව තිබුණා.

එහෙත් ඔවුන්ට පන්දු වාර 32.2කදී සියලූම දෙනා දැවී රැුස්කර ගත හැකි වුණේ ලකුණු 152ක් පමණයි. ඔවුන්ගෙන් යම් හෝ සාර්ථකත්වයක් ලබා ගත්තේ ලකුණු 43ක් ලබාගත් එන්. සද්‍රාන් පමණයි.

කඩුළු බිඳ වැටීම :
1/34/, 2/42, 3/44/ 4/57, 5/57, 6/121,7/123, 8/136,9/145.

පන්දු යැවීම
ලසිත් මාලිංග : 6.4-0-39-3
සුරංග ලක්මාල් : 6-0-27-0
ඉසුරු උදාන : 6-0-28-1
නුවන් ප‍්‍රදීප් : 9-1-31-4
තිසර පෙරේරා : 4-0-19-1
ධනංජය සිල්වා : 1-0-7-0

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව වාර්තා කළ ජයග‍්‍රහණය සමග ප‍්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානය දක්වා ඉහළට යාමට හැකියාව ලැබී තිබෙනවා. ඒ ප‍්‍රසාද ලකුණු 02ක් ලබාගනිමින්. එහෙත් ශ‍්‍රී ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය තවමත් පවතින්නේ (ඍණ) – 1.517ක් වැනි පහළ ස්ථානයක.

ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සිටින අතර පහළින්ම සිටින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor