‘පැත්ත ගියත් ඇත්ත කියන මංගල’ තමාට එරෙහි චෝදනාවලට යළි පිළිතුරු දෙයි

නීතිය ඉදිරියේදී වැරදිකරුවකු බවට තීන්දුවක් ලබාදෙන තෙක් කිසිවෙකුට වැරදිකරුවකු යැයි කීමට දේශපාලනඥයින්ට, පූජක පක්ෂයට හෝ මාධ්‍යයට හැකියාවක් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ආගමික නායකයන් අතර ගැටුම් ඇති කරලීමට මුල්වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි තමා වෙත එල්ල වී ඇති චෝදනාවන්ට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

තමාට එල්ල වී ඇති චෝදනා සහ විචේචන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මංගල සමරවීර මහතා මෙසේ ද සඳහන් කරයි.

දේශපාලනඥයින් ඉස්මතු කිරීමට හෝ රැකීමට හෝ හැකි නොවන අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇති මහජන ඡන්දයෙන් තේරීපත් වූ මහජන නියෝජිතයින්, ර‍ජයේ නිලධාරින් අධිකරණයෙන් වැරදිකරුවකු වන තෙක් වැරදිකරුවකු යැයි චෝදනා නැඟීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාව ප්‍රෞඪ අධිකරණ ඉතිහාසයක් සහිත රටක්ර. ටේ සියලු පුරවැසියන් නීතියෙන් වරදකරුවකු කරනතුරු වරදකරුවකු නොවන පුද්ගලයකු ලෙස සැලකුම් ලබන වාතාවරණයක් සහිත රටක්. එවැනි වාතාවරණයක් පැවැති රටේ අද වනවිට කිසිදු සාක්ෂියක් නොමැතිව කෙනෙකු වරදකරුවකු බවට පූර්වයෙන් කීමට ඇතැමුන් ඉදිරිපත් වී සිටිනවා. ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු වන රිෂාඩ් බදුර්දීන් මහතාද වරදකරුවකු කරනවා. තවත් එවැනි හතරදෙනකු සිටිනවා.

මේ අන්දමට තැන තැන චෝදනා නොකොට යම් පුද්ගලයකු වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව වන චෝදනා හා තොරතුරු මෑතකදී ඇරඹි විශේෂ ඒකකයන්ට ලබාදෙන්න කියලා මම පොලිසිය සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව පොලිසිය විසින් යම් පුද්ගලයකුට එරෙහිව දැනට ලැබී ඇති සාක්ෂි අනුව නිසි පරීක්ෂණ සාධාරණ ලෙස නිමකොට අධිකරණ ක්‍රියාදාමයට අනුව ඉදිරි පියවර ගත යුතුයි. එහිදී මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිසුරුවන්ට ඉතා ගෞරවනීය පූජනීය රාජකාරියක් ඉටුකිරීමට සිදු වෙනවා.

නීතිය ඉදිරියේ කිසිවෙකු වැරදිකරුවකු වූයේ නම් ඔහුට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතුයි. එසේ නොකොට මේ වනවිට රටේ තැන තැන ගෙන යන චෝදනා රැල්ල පදනම් විරහිතයි.

දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් පිළිබඳ පරීක්ෂණ සිදුකරගෙන යනවා. එහිදී සුළු වශයෙන් හෝ ඒවාට සම්බන්ධ වූවන්ට දඬුවම් කිරීමට වාතාවරණය සලසා දී තිබෙනවා.

මෙරට ඉතිහාසයේ කවරදාකවත් කිසිවෙකු නීතිය ඉදිරියේ වරදකරුවකු වීමට ප්‍රථම මාධ්‍යයෙන් හෝ පාර්ලිමේන්තුවේදී හෝ වරදකරුවකු ලෙස ප්‍රකාශ කොට නැහැ. එවැනි ප්‍රකාශවලින් පසු පොලිස් පරීක්ෂණ සිදුකොට නැහැ. පොලිසියට අද වනවිට සිදුව තිබෙනුයේ කෙනෙකු චෝදනා කළ පසු පරීක්ෂණ සිදුකිරීමටයි.

අද වනවිට මෙරට මුස්ලිම් නායකත්වයට ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමේ අයහපත් වැඩපිළිවෙළක් පවතින බව පෙනෙන්නට තිබෙනවා. අද ඔවුන්ට එරෙහිව එල්ල වන හා ඔවුන් ඉලක්ක කර ක්‍රියාත්මක දේ හෙට කාට එල්ල‍වේදැයි කියන්න බැහැ.

නීතිය ඉදිරියේදී වරදකරුවකු වීමට ප්‍රථම කිසිවෙකු හට නඩු නැතිව දඬුවම් ලැබෙන්නට හැකියාවක් මතුවී තිබීම යහපත් දෙයක් නොවෙයි. ඒ අන්දමට ජනතාව ක්‍රියා කරනුයේ දේශපාලඥයන්ගේ උසිගැන්වීම මතයි. එවැනි දේ සිදුකරමින් කුපිත වී ක්‍රියාකරන පිරිස් වෙත අප අනුකම්පා කළ යුතු’යැයි මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

Recommended For You

About the Author: Editor