මේ රටට කෙළින් වැඩ කරන නායකයින් අවශ්‍යයි – අමාත්‍ය නවීන් දිසානායක

“ මේ රටට කෙළින් වැඩ කරන නායකයින් අවශ්‍යයි. මොකද අපේ බුද්ධි අංශ දැන ගෙන හිටියා මේ සහරාන් සම්බන්ධව. අපිට තේරෙනවා බහුතර ජනතාවගේ හැගීම් වේදනාකාරී කියලා. මොකද ඒ සාමාන්‍ය ජනතාව. මමත් අහනවා ඇයි මේ ඒ ගැන දැනුමක් තිබ්බා නම් මේ විනාශය නතර නොකළේ කියලා. ඒක සාධාරණ ප්‍රශ්නයක්. එතන අඩුපාඩුවක් පැහැදිලිව තිබුණා. ඒකෙන් මුළු සමස්ත මුස්ලිම් ජනතාවටය චෝදනා කරන්න බෑ.”

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) දා  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ හිදී පැවති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ NIPM) වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර පිරිනැමීමේ ප්‍රධානොත්සවයට සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,

විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපේ තරුණ පරපුරට මේ රට භාරයි. මම තරුණයෙක් නෙවෙයි. මම මධ්‍ය වයසේ ඉන්න පුද්ගලයෙක්. මම හිතන්නේ අපේ පරම්පරාවත් අසාර්ථක වුණා මේ රට හදන්න. මගේ තාත්තාගේ පරම්පරාවටත් බැරි වුණා. එහෙනම් අපි මේ රට තරුණ පරම්පරාවට භාර දෙන්න අවශ්‍යයි. මොකද අපිට බැරි වෙලා තියෙනවා අපේ සුන්දර මාතෘ භූමිය හරියට ස්ථාන ගත කරන්න.

මට මතකයි මගේ පියා අවුරුදු 38 තරුණයෙක් විදිහට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහතාව පිළිගත්තා. එතුමා කීවා ගාමිණී අපි ලංකාව දිහා බලලා තමයි සිංගප්පූරුව නිර්මාණය කළේ කියලා. මහාතීර් මොහොමඩ් මැතිතුමාව පිළි ගත්තේ මගේ පුංචි මල්ලී. එතුමා කියලා තියෙනවා මගේ පියාට ගාමිණී ඇයි ලංකාවට බැරි වුණේ අපි වගේ වෙන්න කියලා. අද බලන්න ඒ රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙන හැටි. අදත් මහාතීර් මොහොමඩ් අගමැති අවුරුදු 92යි. රට හදලා බය නැතුව කතා කරලා දැඩි ස්ථාවර අරගෙන, ප්‍රතිපත්ති හදලා කෙළින් වැඩ කරපු නායකයෙක්.  

මම ඉතාමත් සීමිත කොටසක් සමඟ කටයුතු කරන්නේ. එක මාධ්‍ය ජාලයක් තිබෙනවා නිරන්තරයෙන්ම ඒ අය පරීක්ෂණ කරනවා ජනතාවගේ මතය මොකක් ද කියලා. ඒක ජනතාවගෙන් අහනවා. ඒ නාළිකාව ජනතාව ඉල්ලන දේ තමයි දෙන්නේ. එම නිසා මට ඒ ආයතනයේ ප්‍රධානියා කීවා ත්‍රීවිලර් රියදුරන්, සාමාන්‍ය කම්කරුවෝ මේ අය ඉල්ලන දේවල් තමයි අපි දෙන්නේ කියලා. එහෙනම් ඒ අයත් ක්‍රියා කරන්නේ මාර්කට් එක අනුව තමයි. ඉතිං අපිට තියෙන්නේ වෙළඳපල ආර්ථිකයක්. නමුත් මේ අවස්ථාවේ මිනිසුන් අතර තියෙන සම්බන්ධතා අපි පළුදු කරන්න හොඳ නෑ. 

මගේ දිස්ත්‍රික්කයේ 35% සිංහල 55% දමිල 10% මුස්ලිම්. ඉතිං මේ සියලු ජන කොට්ඨාසත් සමඟ මම ජීවත් වෙන්න අවශ්‍යයි. මගේ නුවරඑළිය නගරයේ 30% ඉන්නේ මුස්ලිම් වෙළෙන්දෝ. ඉතිං මට වගකීමක් තියෙනවා ඔවුන්ගේ කඩවල් ආරක්ෂා කරන්න. මට වගකීමක් තියෙනවා කඳපොල මීපිලිමාන සිංහල ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්න. මට වගකීමක් තියෙනවා මගේ වතුකරයේ ඉන්න දමිල කම්කරුවන් සහෝදරයන් ආරක්ෂා කරන්න. ඉතිං මේක අපි පූර්වාදර්ශයක් හැටියට ගත යුතුයි.

අපිට කොතරම් හැගීම් තිබ්බත් අපි ඒවා අපේ බුද්ධියෙන් පාලනය කළ යුතුයි. රට තුළ මත ගොඩ නැගෙනවා මුළු 225 ම එල්වන්න ඕනේ කියලා. කිසිම ගැටලුවක් නෑ. හැබැයි ඒ 225 වෙනුවට තවත් 225ක් එයි. එහෙනම් ඒ අයට යම්කිසි ක්‍රමවේදයක් දාන්න වෙයි හොඳට රට පාලනය කරන්න. මොකද දැන් අවඅරුදු 70ක් තුළ විශාල අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකින්ම. ඉතිං අපි කොහෙට ද යන්නේ. අපේ ජයග්‍රහණ ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

මේ රටේ අවුරුදු 30ක යුද්ධය කාටත් දැන් අමතකයි. ඒ ත්‍රස්තවාදය නිසා අහිමි වූ දේවල් ගැන අමතකයි. මට නම් කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ. මොකද ඒ ත්‍රස්තවාදය තිබුණේ නැත්නම් මගේ ශ්‍රේෂ්ඨ පියාණන් අදත් ජීවතුන් අතර ඉන්නවා. මට වැදගත් වෙන්නේ එතුමාගේ පිය සෙනෙහස. මට එය අහිමි වුණා. අදත් මට තාත්තා කෙනෙක් නෑ. ඉතිං ආයෙත් අපි මෙවැනි දේවල් වලට ඉඩ දෙනවා ද නැද්ද කියන එක මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. මේ යන විදිහට ත්‍රස්තවාදය ආයෙත් ඇවිළෙන්න පුළුවන්. අනිත් කරුණ තමයි මේ මුස්ලිම් අන්තවාදය අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දුනීසියාව, ඉන්දියාවට ,පැරිසියට, ඇමෙරිකාවට ලන්ඩන් වලටත් මේ ත්‍රස්තවාදය හරහා ප්‍රහාර එල්ල කළා. ඉතිං මේ අන්ත ඉස්ලාම් වාදය වහබ් වාදය අපි නැවැත්විය යුතුයි. ඒ සඳහා අපි සෞදි අරාබිය කටාරය සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ රටවල් වලින් තමයි මේක එන්නේ.

ඉතාමත් ආදරයෙන් කියන්නේ මුස්ලිම් සහෝදරයන්ට කියන්න බෑ මේ ප්‍රශ්නය ඒ අයගේ ආගමේ නෑ කියලා. ඒක තියෙනවා. එහෙම නම් අපි ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. වහබ් වාදයට නම් ඉඩ දෙන්න බෑ. මද්‍රාසා වලට ඉඩ දෙන්න බෑ. මද්‍රාසා වලින් එන අන්ත පණිවිඩයට අපිට ඉඩ දෙන්න බෑ. එම නිසා අපේ රජය මද්‍රාසා පනතක් අපි අලුතෙන් ගේනවා. ඒක අපි කළ යුතුයි. ඊට සියලුම මුස්ලිම් නායකයින් එකඟ වෙලා තියෙනවා. මුහුණු වසා ගෙන යන මුහුණු ආවරණ පැළදීම අපි සම්පූර්ණයෙන්ම නතර කළා. ඉතිං කාටවත් කියන්න බෑ අපි ක්‍රියා මාර්ග අරගෙන නෑ කියලා.  ඉතිං අද සහතික ගත්ත සියලු දෙනාට මගේ සුබ පැතුම් එක් කරනවා. ඔබ සැම රට ඉදිරියට ගෙන යන්න නිවැරදි තීරණ ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

Recommended For You

About the Author: Editor