ජනපතිට ‘‘රතු නිවේදනයක්’’

යතුරුපැදිකරුවන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි හෙල්මට් පැළඳී තහනම් කරමින් පනවා ඇති නියෝගය පිළිබඳව තම විරෝධය පළ කරමින් ‘සමස්ත ලංකා යතුපැදිකරුවන්ගේ සංගමය’’ජනපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

‘‘රතු නිවේදනය’’ යනුවෙන් එම සංගමය විසින් හඳුන්වනු ලබන එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

ඔබ විසින් නිකුත් කර ඇති අංක 2121/1 හා 2123/4 ගැසට් නිවේදන යටතේ මුහුණ ආවරණය වන හිස්වැසුම් (ෆුල්ෆේස්) තහනම් වී ඇති බවට නීතිපතිවරයා 06.06.2019 දින වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්  දී ඇත. ෆුල්ෆේස් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව හදිසි නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ 2007/39 ගැසට් නිවේදනයේ ඇති රෙගුලාසි ප්‍රකාරව ද එම හිස්වැසුම් තහනම් කර හැකි බවයි.

2007/39 ගැසට් නිවේදනය (ඇමුණුම් 5) ප්‍රකාරව යතුරුපැදිකරුවන් පැලඳ යුතු හිස්වැසුමෙන් මුහුණේ කිසිදු කොටසක් ආවරණය විය නොහැකි අතර, එම හිස්වැසුමේ එය වටා මිටියම් ඇණ (reverts), යතුරු ඇණ තිබිය නොහැක, අතර කිසිදු ආලෝක පරාවර්තනයක් සිදු විය නොහැක. නමුත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 517 ප්‍රමිතියට නිෂ්පාදිත සියලුම හිස්වැසුම්වලන් මුහුණේ කොටසක් වන නළල ආවරණය වන අතර, ඒවා සියල්ලේම අවම වශයෙන් මිටියම් ඇණ ද තිබේ, තවද, කිසිදු ආලෝක පරාවර්තනයක් සිදු නොවන හිස්වැසුමක් නම් එය ආලෝකය ගිල ගන්නා සිදුරක් (black-hole) එකක් විය යුතුය. දර්ශනය යනු ආලෝක පරාවර්තනයක් වේ. මේ අනුව 2123/4 ගැසට් නිවේදනයේ 31අ (1) වගන්තිය හා 2007/39 ගැසට් නිවේදනයේ 3(ඇ), 4, 5, 6 වගන්ති ප්‍රකාරව සියලුම වර්ගයේ යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් පැලඳීම හදිසි නීතිය යටතේ තහනම් වී ඇත.

ඒ අනුව, දැනට පවතින මෝටර් රථ පනතේ 2007/39 ගැසට් නිවේදනයට අනුකූලව හා ඔබේ 2123/4 දරණ හදිසි නීති ගැසට් නිවේදනයට අනුකූලව පැලඳිය හැකි හිස්වැසුම් මොනවා ද කියා වහාම ජනතාවට පෙන්වා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

2017.04.06 දින අප සංගමය හා ඔබ නියෝජනය කරමින් එකල නීතිය හා සාමය ඇමතිවරයා අතර අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී 2007/39 අදාළ ගැසට් නිවේදනයේ වගන්ති වැරදි බවට තහවුරු වූ අතර, එය ක්‍රියාත්මක කිරීම වහාම නවත්වන ලෙස පොලිසියට ඇමතිවරයා උපදෙස් ලබාදීමට කටයුතු කෙරූ අතර, අදාළ වගන්ති ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනා බවට පොලිසිය ඇමතිවරයාට හා සාකච්ඡාවට දැනුම් දුන්නේ ය. එම සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා ද සහභාගී විය. 

තවද,

1. යතුරුපැදි අනතුරු සම්බන්ධයෙන් අන්තර්ජාතික විද්‍යාත්මක සමීක්ෂණවලින් හෙලිදරව් වී ඇත්තේ අනතුරුවල දී යතුරුපැදිකරුවන්ගේ වැඩි වශයෙන් ගැටෙන්නේ ෆුල්ෆේස් හිස්වැසුමෙන් ආවරණය වන ප්‍රදේශය ය.

2. 2015 දී සාමාන්‍ය හිස්වැසුමක් පැලඳ සිටිය දී අනතුරට ලක්ව ජාතික රෝහලට ඇතුළත් වූ යතුරුපැදිකරුවන්ගෙන් 49% මුහුණත අස්ථි බිඳීම් සිදුවී ඇත. නමුත්, 2015 දී මුහුණ ආවරණය වන  යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැලඳ සිටිය දී අනතුරට ලක්ව ජාතික රෝහලට ඇතුළත් වූ යතුරුපැදිකරුවන්ගෙන් 1.60% කගේ පමණක් මුහුණත අස්ථි බිඳීම් සිදුවී ඇත. දත්ත මූලාශ්‍ර: ජාතික රෝහල

3. 2014 දී යතුරුපැදිකරුවන් 659 ක් සාමාන්‍ය හිස්වැසුම් පැලඳ ගොස් ඉන් 457 මිය ගියේ හිසට හානියක් වීම නිසාය. මුහුණ ආවරණය වන  යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම්  නිසියාකාරව පැලඳ ගිය කිසිවෙකුගේ හිසට හානියක් සිදුවී මියගොස් තිබුනේ නැත. ලංකාවේ යතුරුපැදිකරුවන් 74% මිය යන්නේ හිසට හානියක් සිදු වීම නිසාය. මේ අනුව 2014 දී සියලුම යතුරුපැදිකරුවන් සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන  හිස්වැසුම් පැලඳ සිටියේ නම් 2014 වසරේ දී ජීවිත 441 ක් පමණ මහමග ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට හැකියාවක් තිබුණි. දත්ත මූලාශ්‍ර: ශ්‍රී ලංකා පොලිසිය

මේ අනුව ඔබේ මෙම හදිසි නීති රෙගුලාසිය මිලියන 6 ක් ඉක්මවූ මෙරට යතුරුපැදිකරුවන්ගේ හා පසුපැදි කරුවන්ගේ ජීවිත මහමග ත්‍රස්තවාදයට බිලි දෙන බවත්, ජනතාවගේ සෞඛ්‍යයට අහිත කරව කටයුතු කිරීමක් බවත්, මෙය ක්‍රියාත්මක වූ හොත් ඔබ මිලියන ගණනාවක් වන දුප්පත් මිනිසුන් හා යතුරුපැදිකරුවන්ගේ මරණය ගෙන දුන් මිනීමරුවෙක් ලෙස පැහැදිලිව සමාජයේ ඔබ අර්ථකථනය වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් අපි ඔබට මින් දැනුම් දී සිටිමු. විධායකය ලෙස ඔබ හදිසි නීතිය හරහා මෙලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) සඳහන් හදිසි නීති නිර්ණායකය උල්ලංඝණය කිරීමක් වේ.

1994 ටත් පෙර සිට මෙරට යතුරුපැදිකරුවන් ෆුල්ෆේස් හිස්වැසුම් පැලඳීමට කටයුතු කලේ ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාර එල්ල වන කාල වකවානුවක් පවතින විටය, හදිසි නීතිය පවතින විටය. එකල රට තුල මීට වඩා බරපතළ ආරක්ෂක තත්ත්වයක් තිබුණේ ය. 1994 දී ශ්‍රී ලංකා ප්‍රමිතියට ෆුල්ෆේස් හිස්වැසුම ඇතුළත් වන්නේ ඒ නිසා ය.

බුර්කාව හා නිකාබය තහනම් කරන ලද ලෝකේ කිසිදු රටක යතුරුපැදිකරුවන්ට යතුරුපැදිය මතදී පලඳින ෆුල්ෆේස් හිස්වැසුම් තහනම් කර නොමැත. ප්‍රංශයේ නිකාබය හා බුර්කාව තහනම් කරනා ගැසට් නිවේදනයේ නිල නොවන ඉංග්‍රීසි පිටපතක් මේ සමඟ අපි අමුණා ඇත. එහි නිර්ණායක නිසියාකාරව තේරුම් ගන්නා ලෙසට අපි මින් ඉල්ලා සිටිමු.

Recommended For You

About the Author: Editor