පොසොන් උත්සව සමයේ ජනතාව භේද බින්න කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුයි – අගමැති

පොසොන් පෝය සමයේ ජනතාව භේද බින්න කිරීමට උත්සාහ කරන කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් සියලූ දෙනාම එකමුතු කරන ලෙස වැඩකටයුතු කිරීම අප සියලූ දෙනාගේ වගකීම යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

පොසොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත‍්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (7) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මහා සංඝරත්නය, අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසා ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

අද මේ රැස්වීමට අපි ගරුතර සංඝරත්නයත් ප‍්‍රධාන ලේකම්වරුත් කැඳවලා තියෙන්නේ රටේ තිබෙන ප‍්‍රධාන කාරණා කිහිපයක් ගැන සාකච්ඡුා කිරීම සඳහායි.

පළමුවෙන්ම අපේ වැඩකටයුතු පසුගිය අපේ‍්‍රල් මාසේ 21 වැනිදා පාස්කු බෝම්බේ නිසා නැවතුණා. ඒවා දැන් ආරම්භ කරගෙන ගියත් සමහර තැන්වල ඒ වැඩකටයුතු තවම ආරම්භ වෙලා නැහැ. ඉතිං මං කියන්න කැමතියි රට සාමාන්‍ය තත්ත්වයකට ගේන්න නම් මේ සංවර්ධන කටයුතු නිසි පරිදි ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම පරිපාලන කටයුතුත් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ කටයුතු සිදු නොවෙනවා නම් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා, දියුණු තත්ත්වයට පැමිණිලා කියලා අපට ප‍්‍රකාශ කරන්න අමාරුයි.

මට රාජ්‍ය ඇමැතිතුමා දුන්න වාර්තා අනුව සමහර දිස්ත‍්‍රික්කවල මේ කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. විශේෂයෙන් ‘‘ගම්පෙරළියෙත්’’ වැඩකටයුතු ගණනාවක් කරලා තියෙනවා. මේ කටයුතු මේ වසර අවසන් වීමට පෙර අවසන් කරලා ඒවා විවෘත කිරීම් කරන්න අප අවධානය යොමු කරන්න ඕනෑ. මම හිතන්නේ සමහර වැඩකටයුතු ඉතා සීග‍්‍රයෙන් කරන්න තිබෙනවා.
ඒ වගේම ‘‘ගමට කෝටිය’’ වාගේ තවත් වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඊට අදාළ මුදල් ලැබුණ විට කිසිම ප‍්‍රමාදයක් සිදු නොවී ඒ මුදල් වියදම් කරමින් අදාළ වැඩකටයුතු අවසන් කිරීම කළ යුතුව තිබෙනවා. ඒ මුදල් වියදම් කරන එකත් වැදගත් කාරණයක්.

මට ලැබිලා තිබෙන ආරංචි අනුව නම් විවිධ ගැටලූ නිසා සමහර ව්‍යාපෘති මේ දක්වා ආරම්භ කිරීම පවා කරලා නැහැ. ගැටලූ තිබෙනවා නම් ඇමතිතුමාට කියන්න ඒ මට්ටමේ විසඳන්න පුළුවන් ඒවා අපි විසඳන්නම්. නැතිනම් මේ මට්ටමින් අපි සාකච්ඡුා කළ යුතුයි.

මම ඇමැතිතුමාට කියලා තියෙන්නේ අපිට මාසෙන් මාසේ ප‍්‍රගතිය වුවමනායි. ඇමැතිවරුන්ටත් මාස කිහිපයකින් මේ ප‍්‍රගතිය ලබාදිය යුතුව තිබෙනවා.

ඉතිං මං විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ කටයුතු සාර්ථකව ඉටු වෙයි කියලා.
ඒ වගේම අපේ ආර්ථිකයේ ප‍්‍රධාන අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා රටවල් ගණනාවකින් ම ලංකාවට ආව සංචාරකයෝ ආපසු පිටවෙලා තිබෙනවා. ඇතැම් හෝටල්වල එක කාමරයක් වත් පිරිලා නැහැ.

අපි දැන් ක‍්‍රියාකරන්නේ විදේශ සංචාරකයින් සඳහා ඇතැම් රටවල් විසින් නිකුත් කර තිබෙන උපදේශක ඉවත් කරන්න. ඇතැම් රටවල් මේ වන විටත් තමන් විසින් නිකුත් කළ උපදේශන ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් කිහිපයක් අද හෙටම එම උපදේශන ඉවත් කිරීමට සූදානමින් සිටිනවා.

විශේෂයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලබන ඉරිදා ලංකාවට පැමිණීමත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාස තැබීමක් වශයෙන් සැලකිය හැකියි.

ඉතිං දැන් මේ කටයුතු කරගෙන යාමට දිස්ත‍්‍රික් මට්ටමින් රැකුලක් ලබාදිය යුතුව තිබෙනවා. මම තානාපතිවරුන් කිහිප දෙනකුට කතා කළා. ඒ අය කියන්නේ එදා, පාස්කු ඉරිදා අපි සූදානම්ව නොසිටියත් දැන් අපි ක්ෂණිකව ක‍්‍රියාත්මක වූ නිසා අයි.එස්.අයි.එස් තර්ජන දැන් නැහැ කියලා. ඒ ගොල්ලෝ පිළිගන්නවා අයි.එස්.අයි.එස් තර්ජන ඉවත් කරලා තියෙනවා කියලා.

නමුත් ඔවුන්ට එක ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජාතිවාදී ගැටුම් ඇතිවෙයි ද කියලා. මේ ඇතිවන සිද්ධි විශාල ප‍්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මම දිසා ලේකම්වරුන්ට විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි, තමන්ගේ ප‍්‍රදේශය තුළ ජාතිවාදී ප‍්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඒ සඳහා ගම් මට්ටමින් තිබෙන විවිධ කොමිටි රැුස්කරවන්න. ඒ අය එක්ක සාකච්ඡා කරන්න. මොකද එක සිද්ධියක් ඇති වුණොත් ආපසු සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන්.

සමහර අය කෙටි කාලීන දේශපාලන වාසියට ජාතිවාදය ඇද ගන්න බලනවා. එත් අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් වැඳීම පමණයි. ඒ නිසා විශේෂයෙන්ම ඔබට යුතුකමක් තිබෙනවා මේ කාලසීමාව තුළ දී ජාතිවාදී ප‍්‍රශ්න මතුවෙන්න ඉඩ නොදී සංහිඳියාව ගොඩනැගීම සඳහා බිම් මට්ටමේ ආගමික නායකයින් ඇතුළු අනෙක් ප‍්‍රජා නායකයින් සමග සාකච්ඡුා කරන්න. ඒක වැදගත්.

ඒ වගේම අපේ තව අංශයක් වෙලා තිබෙන්නේ පොසොන් උත්සවය. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පවත්වන්නේ සමහර ප‍්‍රදේශවල පමණයි. ඒත් මේ අවස්ථාවේදී රටේ හැම බෞද්ධ ප‍්‍රදේශයකම පොසොන් උත්සවය පවත්වන්න අපි තීරණය කළා.

විශේෂයෙන්ම වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා. සමහර අයට බයක් තිබුණා. අද ඒ බයයි සැකයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය හොඳින් පවත්වන්න.

හැම දිස්ත‍්‍රික්කයේම මේ වැඩසටහන් කරන්න, විශේෂයෙන්ම පන්සල්වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන සහ පිංකම් පවත්වන්න අපි ප‍්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සැරසිලි, දාන, ශීල, භාවනා වැඩසටහන් අපි රට පුරා ක‍්‍රියාත්මක කරනවා.

ඒ වගේම හැම කොට්ඨාශයේම ජාතික පාසලක ශීල ව්‍යාපාරයක් පවත්වන්න. මෙවැනි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා. අපි මේවා දියත් කරන්න ඕනෑ. අපි පෙන්නන් ඕනෑ අපි මෙවැනි වැඩකටයුතු කරන්න බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. විශේෂයෙන්ම මේ පොහොන් පොහොය තමයි සිංහල අපිට තිබෙන වැදගත්ම උත්සවය.

ඒ වගේම තමයි පොසොන් පෝය සමයේ අපිව බෙදන්න බෙදුම්වාදී කටයුතු ඇති කිරීමට අපි කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. සියලූ දෙනාම එකමුතු කරන ලෙස වැඩකටයුතු කළ යුතුයි. ඒ නිසා පොසොන් පෝයට මුල්තැන දීලා ඒක ඉතාම හොඳින් සංවිධානය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්න, ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාර්යවසම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ දිසා ලේකම්වරුන් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor