හදිසි කැබිනට් හමුවේදී ජනපති ඇමති මණ්ඩලයට දෙහි කපයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) රාත‍්‍රි -7.00ට කැඳවන ලද විශේෂ කැබිනට් රැස්වීමේ දී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ජනපතිවරයා තම දැඩි විරෝධය පළ කළ බව වෙත වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් රැස්වීමට කතානායක කරු ජයසූරිය මහතා ද කැඳවා ඇති අතර මෙම තේරීම් කාරක සභාව හරහා ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු නිරාවරණය වීමෙන් ඇති විය හැකි අනිටු විපාක පිළිබඳව කතානායකවරයාගේ අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා ලෙස ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට සහ කතානායකවරයාට අවධාරණය කර ඇත.

අද සවස පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා දැඩි ආවේගයකින් මෙහිදී කතා කළ බව ද වාර්තා වෙයි.

විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ (6) ජනපතිවරයාට යොමු කළ ලිපිය ද මෙම අවස්ථාවේ දී ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරයා ‘‘රටක් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි පවසා සිටි බව වාර්තාවෙයි.

මේ අතර අද සවස ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡවේදී සේවයේ නිරතව සිටින කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයෙක් තේරීම් කාරක සභාව හමුවට නොයවන බවත් එහි වගකීම තමන් විසින් භාර ගන්නා බවත් ජනපතිවරයා පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ පේ‍්‍රස් කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමැතිවරයෙක් සඳහන් කළේ තේරීම් කාරක සභාව හරහා හෙළි වන සත්‍ය කරුණු මත ජනපතිවරයා මේ ආකාරයෙන් ක‍්‍රියා කිරීම ගැන පුදුම නොවන බවයි. එහෙත් මේ වන විට ජනතාව දැනගත යුතු සියලූ දේ තේරීම් කාරක සභාව හරහා නිරාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor