ඉන්දීය ප‍්‍රතික්ෂේප කිරීම් මැද ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්

අවුරුදු ගාණකින් ලියුමක් නොලිව්ව අය අපි අතර දැන් බොහොම සුලභයි. මේ ලේඛකයත් වසර නෙමෙයි දශක කිහිපයකින් ලියුමක් ලියලා නැහැ. පුරවැසි අපි එහෙම වුණාට දේශපාලනඥයෝ, රාජ්‍ය නායකයෝ නම් තාමත් ලියුම් ලියනවා. ලංකාවේ බැලූවත් සතියට ඒ වාගේ ලියුම් තුන හතරක් මාධ්‍ය අතටත් ලැබෙනවා.

ඒ කොහොම වුණත් අපේ අසල්වැසියෝ දෙන්නා වන ඉන්දියාව සහ පාකිස්ථානය නම් ලියුම් ලියා ගන්නවා තියා එක මේසේ වාඩි වෙන්නත් අකමැති බවයි වාර්තා වන්නේ.

ඒත් ඉන්දු – පාකිස්ථාන් අසල්වැසියන්ට එකම මේසයක වාඩි වෙලා කතා කරලා විසඳ ගන්න නම් කප්පරක් ප‍්‍රශ්න තියෙනවා. ඒත් ඊයේ ඉන්දීය රජය කිව්වේ ලබන සති සතියේ පැවැත්වෙන කලාපීය සමුළුවේදී පාකිස්ථානය අගමැතිවරයා සමග කිසිදු ආකාරයක රාජ්‍ය තාන්ත‍්‍රික කතාවකට අගමැති මෝදි සූදානම් නැති බවයි.

මේ තත්ත්වය තුළ පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන් අද ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යැවීමට පියවර ගත් බව ඉන්දීය මාධ්‍ය කියනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ කාෂ්මීරය ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. සිය ලිපිය මගින් ඉම්රාන් ඛාන් නරේන්ද්‍ර මෝදිගේ දෙවන ධුර කාලයට සුබ පැතුම් එක්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ මෙම ලිපිය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

Recommended For You

About the Author: Editor