සුළු අපනයන බෝග වගාකරුවා අනතුරේ

සුළු අපනයන බෝගවල ගැනුම් මිල සීඝ්‍රයෙන් පහත බැස තිබීම හේතුවෙන් එම වගාවන්වල නිරත ගොවි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(09) දඹුල්ලේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මේ වනවිට දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ ද ගම්මිරිස් ඇතුළු බෝගවල දැඩි හිඟයක් පවතින නමුත් එහි වාසිය ගොවි ජනතාව වෙත ලැබී නොමැත.

විශේෂයෙන් ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝගවල ඉල්ලුම වැඩිවී තිබුණ ද වියලි ගම්මිරිස් කිලෝ එකක මිල රුපියල් 550 – 600 අතර මුදගකට විකිණීමට සිදුව ඇතැයි ගොවීහු චෝදනා කරති. එම මිල වියලි ගම්මිරිස් කිලෝ එකක නිෂ්පාදන මිලට ද වඩා අඩු බව ගොවි ජනතාව පවසයි.

මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුවෙ ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝගවල ප්‍රති අපනයනය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වාදෙයි. මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකළ ද ගැටළුවට විසඳුම් ලැබී නැත.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සුළු අපනයන බෝග ගැනුම්කරුවෙකු වන ඉන්දියාව සමඟ සාකච්ඡා කර මෙරට සුළු අපනයන බෝග වගාකරුවා ආරක්ෂා කිරීමට කටයුතු යොදන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දේශීය සුළු අපනයන බෝග වගාකරුවා ආරක්ෂා කර ගැනීමට මෙරට ගැනුම්කාර රටවල් සමඟ සාකච්ඡාකර නිසි විසඳුම් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදිය යුතු බවය.

මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී. සරත් සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් එක්ව සිටිය හ.

Recommended For You

About the Author: Editor